[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොසොන් සඳ එළියේ තුන් සිංහලයට ගලා ගිය සදහම් පණිවිඩය

පොසොන් සඳ එළියේ තුන් සිංහලයට ගලා ගිය සදහම් පණිවිඩය

පොසොන් සඳ එළියත් සමඟ තුන් සිංහලය සිසාරා ගලා ගිය සම්බුද්ධ සදහම් පණිවිඩය තුළ මුලින් ම දැක්වෙන්නේ පංච ශීලයයි.

පංච ශීලයේ දී මුලටම ඇත්තේ “පාණාතිපාතා” ලෙස අප කියවන පරපණ නැසීමෙන් වැළකී සිටීමේ සිල් පදයයි.

සටන වෙනුවට සාමය ඇති කිරීමෙන් හිතේ ඇතිවන සමාධිය ගැන සම්බුදු හිමියන් ධම්ම පදයේ දී මනා ලෙස විවරණය කර තිබේ. සටනක දී මිනිසුන් මරා දමා ජයග්‍රහණය කළත් , එය ජයග්‍රහණයක් නොවන බවත් , සැබෑ ජයග්‍රහණය වන්නේ තමා ජයගැනීම බවත් සම්බුදු හිමියන් පැහැදිලිව දක්වා ඇත.

වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති නමුත් අවෛරයෙන් වෛරය නැතිකොට, බ මෛත්‍රී චින්තනයෙන් සාමය ඇතිකර ගත හැකි ය. සියලුම දෙනා දඬුවමට ද , මරණයට ද බියවෙති. මේ යථාර්ථය තුළ පිහිටා ආත්ම දමනය ඇති කරගෙන තමා විසින්ම තමා පාලනය කරගැනීමෙන් මුළුමහත් මානව සමාජය තුළ සාමය ඇතිකර ගත හැකි ය. ලෝකයේ ඉතාමත් අමාරු දෙය වන්නේ තමා විසින්ම තමා දමනය වී අනුන් දමනය කරන්නට යාම ය. අනුන්ට අවවාද අනුශාසනා කරන්නට පෙර තමා ඒ තුළ පිහිටිය යුතු ය.

ක්‍රෝධ කරන්නා මෛත්‍රියෙන් ජයගත යුතු ය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් ජයගත යුතු ය. මසුරු මිනිසා ත්‍යාග දීමෙන් ජයගත යුතු අතර, බොරු කියන මිනිසා සත්‍යයෙන් ජයගත යුතු ය. සම්බුද්ධ ධර්මය මෙය යි.

“සක්කපඤ්ඤ” සූත්‍රයේදී සම්බුදු හිමියන් මේ යථාර්ථය පැහැදිලි කර ඇත. මිනිසා අතර සාමය හීන වී, යුද ඇතිවීමට හේතුව කුමක්දැයි ශක්‍ර දෙවියන් බුදු හිමිගෙන් විමසූ විට සියල්ලට හේතුව අධික තණ්හාව බව බුදු හිමියන් මෙහිදී දේශනා කර තිබේ. තණ්හාව චිත්ත සන්තානයෙන් උදුරා දැමිය හැකි නම් එතැන සාමය පැළවන බව උන්වහන්සේ පැහැදිලි කර තිබේ. අප නිවැරදි ව මිනිසුන් හඳුනාගෙන කටයුතු කළ යුතු ය. එවිට මතුවන පැහැදිලි සංජානනය තුළින් නිවැරදි තීරණ ගතහැකි අතර, ඒ තීරණ බොහෝ දෙනාගේ හිතසුව පිණිස වන බව “සප්ත ජටිල” සූත්‍රයේ දී බුදුහිමියන් දක්වා ඇත.

සංයුක්ත නිකායේ “වේපචිත්ති” සූත්‍රයට අනුව බලය ඇති තැනැත්තා දුබලයා කෙරෙහි ඉවසීම උතුම්ම ඉවසීම වේ. දුබලයා නිතරම බැරිකමට ඉවසති.

සංයුක්ත නිකායේ “රජ්ජ” සූත්‍රයේ සඳහන් වන අන්දමට නොනසමින්... නොනස්වමින්... පැහැර නොගනිමින්... පැහැර නොගන්වමින්... ශෝක නොකරමින්... ශෝක නොකරවමින්... ධර්මයෙන් රාජ්‍ය පාලනය කළ යුතු යැයි සම්බුදු හිමියන් දක්වා ඇත.

අධම්මික සූත්‍රයේ දැක්වෙන අන්දමට ගව රැළක ප්‍රධානියා ඇදට ගමන් කරයි නම්... පසුපසින් එන සෙසු ගවයෝද ප්‍රධානියා අනුගමනය කරති.

අංගුත්තර නිකායේ “නගරෝපම” සූත්‍රයේ දී නොබිඳීය හැකි බල කොටුවක තිබිය යුතු කරුණු හතක් දක්වා ඇත. රටක ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ හැකි බෞද්ධ ගුණාංග කීපයක් ම ඇත. පංචශීල ප්‍රතිපත්තිය, සප්ත අපරිහානීය ධර්ම, දස රාජ ධර්ම, දස සක්විති වත්, සතර සංග්‍රහ වස්තු, සතර බඹ විහරණ, සතර අගතියෙන් තොර වීම, මෛත්‍රී චින්තනය ආදී ගුණධර්ම රාශියක් ම ඒ අතර වෙති.

ධර්මාශෝක රජතුමාගේ “ගිරිනාර්” ලිපි අංක හයෙහි මහජනතාවට සේවය කළ යුතු ආකාරය එතුමා විසින් මෙසේ දක්වා ඇත.

මහජන ශුභසාධනය උදෙසා දිවා රෑ නොබලා වැඩ කිරීම මගේ එකම අධිශ්ඨානය යි.

මිනිසාගේ යහපත සඳහා දිවා රෑ නොබලා වැඩ කිරීම මගේ බලවත් වගකීම යයි මම සිතමි.

මිනිසාගේ යහපතට වැඩ කිරීම තරම් තවත් ශ්‍රේෂ්ඨ කෘත්‍යයක් මට නැත්තේ ය.

දිවා රෑ වෙහෙසී මා වැඩ කළත් එම සේවා ප්‍රමාණයෙන් මම සෑහීමකට පත් නොවෙමි.

මා ගන්නා හැම වීර්යයක ම අවසාන ප්‍රාර්ථනය වන්නේ ජනතාව සුවපත් කිරීම ය.

මට මගේ ස්වර්ගය සෑදී ඇත්තේ ජනතාවට සේවය කිරීම තුළින් බව මම දැන සිටිමි.

මගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද මේ ප්‍රතිපත්ති අනුගමනය කෙරෙත්වා.

කාලිංග ගිරිනාර් ලිපි අංක හතෙහි සියලු ජනතාව මගේම දරුවන් සේ සලකා කටයුතු කරන බව දැක්වේ. සම්බුදු හිමියන් රාජ්‍ය පාලකයාගේ පැවැත්ම මෙසේ විය යුතු යයි ජාතක පාලියෙහි දක්වා ඇත්තේ මේ අන්දමට ය.

“යථා පිතා වාපි මාතා
අනුකම්පකා අත්ථකාමා පජානං
ඒවමේව වො හෝතු අයංචරාජා
තුම් හේව වො හෝථ යථෙව පුත්තා”

“මව්පියන් සිය දුවා දරුවන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරන්නේ යම් සේ ද, එසේම රාජ්‍ය පාලකයා සියලුම රට වැසියන් තමාගේ ම දරුවන් සේ සලකා කටයුතු කිරීම වැදගත් වේ.”

එම ගාථාවේ අදහස මෙයයි.

බලය හෝ අන් කිසිවක් සඳහා හෝ උනුන් විනාශ කරගන්නා සුළු සටන් නැති සාමකාමී සමාජයක් ගොඩනැගීම බුද්ධ ධර්මයේ පරම පිවිතුරු ප්‍රාර්ථනාවයි. ජය පරාජයක් නැති එවන් සමාජයක් තුළ රජ වන්නේ සාමය යි. එහි දී වැඳුම් පිදුම් ලබන්නේ ධන බලයෙන්,යුද බලයෙන් මිනිසුන් හා රටවල් ජය ගන්නා අය නොව තමා විසින් තමා ම දිනාගන්නා මිනිසුන් ය. මෙහිදී වෛරය මෛත්‍රියෙන් ද, අධර්මය ධර්මයෙන් ද ජය ගනී. ආදරය, කරුණාව, මෛත්‍රිය, සාමය තේරුම් ගෙන මිනිසුන් ලෙස ජීවත් විය යුතු ය යි නිරතුරු ව බුදුන් වහන්සේ දේශනා කර තිබේ.

විවිධ කරුණු පදනම් කරගෙන අපේ රටේ විවිධ ජාතීන් අතර පැන නැගී ඇති මතභේද, අවුල් වියවුල්, අසමගිකම් බැහැර කරලීමට මෙම සම්බුද්ධ සංකල්පය අනුව කටයුතු කළ යුතු ය. සම්බුදු දහම නිසි ලෙස අනුගමනයෙන් මිනිසුන්ගේ හදවත් තුළ සැබෑ සාමය, සහජීවනය, හොඳ හිත ගොඩනැඟෙයි.

අනුරාධපුර හා මිහින්තලය ආශ්‍රිත ව පොසොන් දා මතුවන සඳ එළියෙන් තුන් සිංහලය ම මෛත්‍රියෙන්, සාමයෙන්, සහජීවනයෙන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමි.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]