[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු දහම එකම රැකවරණයයි

සම්බුදු දහම එකම රැකවරණයයි

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ එදා ලාංකේය ජනතාවට හඳුන්වා දුන් තථාගත ශ්‍රී සද්ධර්මය මේ පුණ්‍ය භූමිය සිසාරා මැනවින් ස්ථාපිත විය. උන්වහන්සේ ගේ උත්සාහය ලක් දෙරණේ සාර්ථක ව මල්ඵල ගැන්වීමට බලපෑ ප්‍රධාන සාධක කිහිපයකි.

මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කරන විට ලක් දනන් වෙත යම්කිසි ආගමික ක්‍රමවේදයක් පැවතිණි. ඒ පුද සිරිත් හා චාරිත්‍ර වාරිත්‍රවලට සම්බුදු දහමින් තදබල විවේචනයක් සිදු වූයේ නැත. ඊට අනුගත වූ ස්වභාවයක් පෙනෙන්නට තිබුණි.

එමෙන් ම, එවකට භාවිත වූ භාෂාව සහ ධර්මදූතයන් වහන්සේගේ පාලි භාෂාවත් අතර විශේෂ සමීප බවක් තිබුණි. අනෙක් අතට අපේ රට පුංචි රටකි. එකල විශාල ජනගහනයක් ද නොවී ය.

කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කළ ලක් දනන් අතර බොහෝ විට සාමකාමී බවක් පැවතුණි. ස්වයංපෝෂිත ආර්ථික රටාව නිසා ජනතාවට ආහාරයෙන් අග හිඟයක් නොවී ය. ඒ තුළ නව දහමක් ව්‍යාප්ත කිරීම වඩාත් පහසු වුණි. එවකට ජටිල, බ්‍රාහ්මණ ආදී විවිධ ආගම් හා ඇදහිලි ක්‍රම පැවතිය ද ඒවාට සම්බුදු දහමට අභියෝග කරන්නට තරම් ශක්තියක් ද නොවී ය.

මිහිඳු මහරහතන් වහන්සේ අසල්වැසි රාජ්‍යයේ බල සම්පන්න අශෝක අධිරාජයාණන් ගේ පුතණුවන් වීම ද සුවිශේෂත්වයකි. එසේ රජ පෙළපතින් නෑකම් කීම ද ආගන්තුක නායකත්වය හා ඒ දහම පිළිගැනීමට ප්‍රබල හේතුවක් වන්නට ඇත.

මිහිඳු මාහිමියන්, පළමුව තමන් වහන්සේ හඳුන්වා දුන්නේ රටේ රජතුමාට ය. ශ්‍රී සද්ධර්මයේ පණිවුඩය ගෙනහැර දැක්වූයේ රජතුමාට ය. තිසරණ සරණ ගිය රජතුමා බෞද්ධයකු බවට පත්වීම තුළ රටේ ජනතාවට තිසරණයෙහි පිහිටා බෞද්ධයන් බවට පත්වීම ද කිසිදු අභියෝගයක් නොවන්නේ ය.

මිහිඳු මා හිමියන් ලක් වැසියන්ට දේශනා කරන ලද සූත්‍ර දේශනා ඇතුළත් ශ්‍රී සද්ධර්මය පිළිබඳව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

චුල්ලහත්ථි පදෝපම සූත්‍රය, පේත වත්ථු, විමානවත්ථු, සච්චසංයුත්තය, , දේව දූත සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය, අනවතග්ගිය සූත්‍ර දේශනා, අග්ගික්ඛන්ධොපම සූත්‍රය, අප්පමාද සූත්‍රය, බාල පණ්ඩිත ආදී සූත්‍ර දේශනාවන් පිළිබඳ ව ජීවිතය පිළිබඳ ව මූලික අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව ලැබුණි. ඒ වගේ ම පවට බිය වීමේත්, පිනට නැඹුරු වීමේත් වටිනාකම ජනතාවට අවබෝධ වුණි.

පුරාතනයේ සිට පවත්වාගෙන ආ කිසියම් ඇදහිලි ක්‍රමයක් තිබුණා නම්, පුද පූජා, සිරිත් විරිත් තිබුණා නම් මේ දහම් දේශනා තුළින් ඒවාට බලවත් පහරක් එල්ල වූයේ නැත. සිදුවූයේ ඒවායෙහි නවීකරණයකි. ඒ නිසා ඊට අනුගත වීමක් සිදුවුණි.

රටක නායකත්වය අත්‍යවශ්‍යයෙන් ම ප්‍රබුද්ධ විය යුතු ය. මිහිඳු හාමුදුරුවෝ, දේවානම්පියතිස්ස රජුගෙන් ද ඒ ප්‍රබුද්ධ බව බලාපොරොත්තු වූ හ. එය විමසීමට උන්වහන්සේ කිසියම් පරීක්ෂණයක් සිදු කළහ. එය බුද්ධි පරීක්ෂණයකි . ඒ සඳහා උන්වහන්සේ භාවිත කළේ අඹ පැනය සහ ඤාති පැනයයි.

රජු විසින් ලබාදුන් පිළිතුරු තමන් නායකත්වයට සුදුස්සෙකු බව ම පසක් කළේ ය. එවන් නායකත්වයක් යටතේ සිටින ජනතාව තුළ ද නිසැකයෙන් ම යම් බුද්ධිමත් බවක්, තිබිය යුතු ම ය. අනුබුදු මිහිඳු හිමි දෙසා වදහළ උතුම් දහම ලක් දෙරණ පුරා විසිරී පැතිරී යන්නට මෙරට ජනතාව තුළ වූ ඒ බුද්ධිමත් බව වෙසෙසින්ම ඉවහල් වන්නට ඇත.

ඒ අනුව රටේ නායකත්වයත්, ජනතාවත් සිරි සදහම් මගට අනුගත කරවූ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට බෞද්ධ පාලනයකට අවශ්‍ය පදනම නිර්මාණය කළහ. කෘෂිකාර්මික ජීවන රටාව තුළ රටේ ආර්ථික සංවර්ධනයට පදනම නිර්මාණය කර දුන්හ. එතැන් සිට, දුකේ දී, විපතේ දී ගස් ගල් වඳිමින්. නොපෙනෙන බලවේගයන්ගේ ආරක්ෂාව , රැකවරණය පැතු ජනතාව දාන, සීල, භාවනා දී, පින්කම්වලට යොමු වූහ. පවට බිය වූහ. ලජ්ජා වූහ. අවිහිංසාවාදී ගුණාංග වර්ධනය කළහ. පරිත්‍යාගය, සත්ත්ව කරුණාව, අන්‍ය මතවලට ඇහුම්කන් දීම, ජීවිතයේ මුහුණ දෙන්නා වූ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් උපේක්ෂාවෙන් විඳ දරා ගැනීම ආදී ගුණාංග ලක් ජන ජීවිතයට බද්ධ වුණි. ඒ ගසට පොත්ත මෙනි.

එතැන් සිට මෙරට පාලනය කළ හෙළ රජදරුවෝ බෞද්ධාගමානුකූල ව දස රාජ ධර්මයෙන් රට පාලනය කළහ. දන් පින්කම්වලට උනන්දු වූ හ. දුටුගැමුණු මහ රජතුමා පිනට දහමට මොන තරම් නැඹුරු වූයේ ද කියනවා නම් එතුමා පින් පොතක් පවා භාවිත කළේ ය. එතුමාගේ මරණ මඤ්චකයේ දී ඒ පින් පොත් කියවාගත් බව ඉතිහාසයේ සඳහන් ය.

මිහිඳු හිමි මේ පින්බිමේ ස්ථාපිත කළ සම්බුදු දහමින් සුපෝෂිත අපූර්වත ම ආචාර ධර්ම, ඇතුළත් සංස්කෘතිකාංග හෙළයාගේ ලේ, මස්, ඇට නහර දක්වාම කාවැදුණි.

අපේ රටට සොළී, මාඝ ආදී නොයෙකුත් ආක්‍රමණ ඇතිවුණි. අවසන ඉංගී‍්‍රසින්ගේ යටත් විජිතයක් බවට පත්වුණි. කවර ආක්‍රමණයක් යටතේ වුවද මිහිඳු සංස්කෘතිය මේ රටේ අදටත් ජීවමාන ය. සුරක්ෂිත ය. මිහිඳු මා හිමියන් මිනිස් හදවත් තුළ මොනතරම් ජීවමානද යත් පොසොන් පොහෝදා සිව් දිගින් පැමිණෙන ජනී ජනයාගෙන් මිහින්තලා පුදබිම පිරී ඉතිරී යාමෙන් ම එය පසක් කර ගත හැකි ය.

පසුකාලීන ව අපේ රටේ කිතුණු, හින්දු, ඉස්ලාම් ආදී ආගම් ද ව්‍යාප්ත වුණි. එහෙත් ඒ සියලු ආගම්වලට බෞද්ධ සංස්කෘතිය තුළ කිසියම් රැකවරණයක් මිස හානියක් වන්නේ නැත. එය බොහෝ විට අන්‍ය ආගමිකයන් ද පිළිගන්නකි.

මේ පොසොන් පෝදා අප අධිෂ්ඨානයක් ඇති කරගත යුතුව තිබේ. සම්බුදු දහම අපට ඇති එකම රැකවරණයයි. ඒ දහම් මග දැන ජීවිතයට ගළපා ගැනීම තුළ ප්‍රායෝගික කරගැනීම තුළ මෙලොව ජීවිතය සේ ම පරලොව ජීවිතය ද සුවපත් වන්නේ ය. අපි ඒ දහම් මග අනුගමනය කරමු. තථාගත බුදු පියාණන් වහන්සේටත්, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේටත් කරන සැබෑ ගෞරවය එයයි.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]