[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලාවේ පුරාවිද්‍යාත්මක උරුමය

මිහින්තලාවේ පුරාවිද්‍යාත්මක උරුමය

පරිසරය සමඟ ඇතිකරගත් සෞන්දර්යාත්මක නිර්මාණශීලිත්වය

අක්කර 600ක පමණ පැතිරී ඇති මිහින්තලේ පුදබිම,කනදරා ඔයේ වම් ඉවුරේ පිහිටි මුහුදු මට්ටමේ සිට මීටර් 300ක් පමණ උස ශේෂ කඳු කීපයක පැතිරි ඇත.

මිහින්තලේ යනු, එක් කන්දක් පමණක් යැයි හැඟී ගියත් මෙම ඓතිහාසික පුදබිම මිහින්තලේ (අම්බස්ථල) කන්ද,ගිරිබන්ඬ සෑය කන්ද,කණ්ඨක සෑය හා අටසැටලෙන් පිහිටි කන්ද,ඇත්පැටියා කන්ද (ආනයිකුට්ටි කන්ද) ඇත්වෙහෙර කන්ද හා රාජගිරිලෙන කන්ද යන කඳු පංතියක පැතිරි ඇත.

ථෙරවාද බුදු දහම පිළිබඳ පණිවිඩය අප රටට පළමුවෙන් ගෙනඑන ලද්දේ මිහින්තලාවට බව ඓතිහාසික මූලාශ‍‍්‍රය ගණනාවක දැක් වේ. මිහින්තලාව ම තෝරාගැනීම සඳහා එවකට ලාංකික ජනයා අතර ජන ඇදහිලි සඳහා මිහින්තලේ ප‍‍්‍රකට වී තිබීම හේතුවක් වන්නට ඇති බව මහාචාර්ය විනී විතාරණ මැතිතුමා පෙන්වා දී ඇත. අපේ රටේ හැරවුම් ලක්ෂයක් වූ මේ ඓතිහාසික සිදුවීමට පාදක වූ මිහින්තලාව මිශ්‍රක පර්වත, මිස්සක පවුව, අම්භස්ථලය, අඹතලාව හා සෑගිරිය ආදි විවිධ නම්වලින් ද හඳුන්වා ඇත.

මිහින්තලෙන් හමු වී ඇති සෙල්ලිපි ප‍‍්‍රමාණය 100කට වැඩි වේ. පැරණි ම පූර්ව බ‍‍්‍රාහ්මි සෙල්ලිපි 75ක් පමණ ඇතුළත්ව සෑම සියවසක් ම පාහේ නියෝජනය කරමින් ක‍ි‍්‍රස්තු වර්ෂ 10 වැනි සියවස දක්වා කාලයට අයත් සෙල්ලිපි මේ අතර පවතී. ලංකාවේ සෙල්ලිපි, අක්‍ෂර, භාෂාව, භාෂා පරිණාමය හා පැරණි සමාජය පිළිබඳ හදාරන විද්‍යාර්ථියෙකුට මිහින්තලේ දී ඒ සියල්ලට නිදසුන් පහසුවෙන් සපයාගත හැකි වේ. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අදහස අනුව, ලංකාවේ රජ කෙනෙකු හා සම්බන්ධ පැරණිම නැතිනම් නිශ්චිත ව කාල නියම කළ හැකි සෙල්ලිපි හමු වන්නේ මිහින්තලෙනි. ඒ දෙවානම්පියතිස්ස රජුගේ සොහොයුරෙකු වූ උත්තිය රජු හා සම්බන්ධ සෙල්ලිපියි. ලක්දිව බෙහෙවින් ප්‍රකට හතර වැනි මිහිඳු රජු විසින් ලියවන ලද මිහින්තලේ පුවරු ලිපි දැකගත හැක්කේ ද මිහින්තලයේ දීමයි. මිහින්තලේ විහාරයේ පාලන හා පරිපාලන කරුණු මෙම ලිපියේ ඇතුළු වී ඇත.

අපේ ශිෂ්ටාචාරයෙන් නිපන් විශිෂ්ටම නිර්මාණ අතර වාරි තාක්ෂණය ඉදිරියෙන්ම පවතී. ‘පද්ධති වැව්’ හෙවත් ‘එල්ලංගාව’ අප රටේ අනන්‍යතාව පෙන්වයි. පැරණි වාරික‍‍්‍රම පිළිබඳ විශේඥයෙකු වන මහාචාර්ය සී.ඇම්. මද්දුමබණ්ඩාර මැතිතුමාගේ අදහස අනුව, මිහින්තලේ පැවති ජල කළමනාකරණ ක‍‍්‍රමය මේ විශිෂ්ට නිර්මාණය සඳහා ලාංකිකයිනට මඟ පෙන්වා දී ඇත. සියුම් ව බැලුවොත් මිස මේ නිර්මාණ අදවන විට අප‍‍්‍රකට ව පැවතීම අවාසනාවකි.

කඳු කීපයක පැතිරී ඇති මිහින්තලය අපූර්ව වන ආරාමයකි. පරිසරයට අවම මැදිහත්වීමක් පමණක් සිදුකර විහාර අංග සියල්ලක්ම පරිසරයේම කොටස් ලෙස මතුකර දක්වා තිබීම අපූර්ව කරුණකි.

මිහින්තලේ කඳු මතත්, පා මුලත් විසිරී ඇති පැරණි වාස්තු නිමැවුම් හා ඒවායේ අගය සවිස්තරාත්මක ව දැක්වීම මෙවැනි කෙටි ලිපියකින් කළ නොහැක්කකි. නමුත් ප‍‍්‍රධාන තැන් කෙටියෙන් හෝ සටහන් කිරීම යුතුකමකි. අටසැටලෙන්, පැරණි රෝහල, මනිනාග විහාරය, කණ්ඨක චේතිය, ගිරිභණ්ඩ සෑය, දාන ශාලාව, ධාතු මන්දිරය, සන්නිපාත ශාලාව, නාග පොකුණ, සේල චේතිය, ආරාධනා ගල, මිහිඳු ගුහාව, අම්බස්ථල මහා සෑය, මිහිඳු සෑය, ඇත් වෙහෙර, සිංහ පොකුණ, කටු සෑය, ඉදිකටු සෑය, රාජගිරි කන්ද හා කළුදිය පොකුණ ඒ අතුරින් සඳහන් නොකරම බැරි තැන් වේ.

සිංහල-බෞද්ධ මිනිසුන් සිතන පතන විදිහත්, පරිසරය සමඟ පැවති සම්බන්ධතාවත් පෙන්නුම් කරන නිර්මාණ වෙසෙසකි, ගල්ලෙන්. ශුද්ද පවිත්‍රකර, ඇතුළත මැනවින් සකසා වැසි වතුර ලෙන තුළට ඒම වැළැක්වීමේ අරමුණින් කටාර කපා අනතුරුව දන්දීම ගැන කෙටි ලිපියක් ද කොටා ඇති මෙම නිර්මාණ පරිසරයේ ම කොටසකි. ලංකාවත් දකුණු ඉන්දීය ප‍‍්‍රදේශත් හැරුණු විට මෙවැනි සම්ප‍‍්‍රදායක් ලොව වෙනත් තැනක නැත.

ඓතිහාසික වාර්තා අනුව, ලොව පැරණිම රෝහලක් වන මිහින්තලේ පැරණි වෙදහළ මහාවංසයේ 51 වැනි පරිච්ජේදයේ දැක්වෙන ආකාරයට ක‍ි‍්‍රස්තු වර්ෂ 853-887 කාලයේ සිටි දෙ වැනි සේන රජු විසින් කරවූවකි.

සුප‍‍්‍රසිද්ධ මිහින්තලේ පියගැටපෙළේ මුල එහි පසෙකින් පිහිටි මනිනාග විහාරය, අනුරාධපුරයේ පංචාවාස විහාර හඳුනාගැනීම සඳහා උචිත ම තැනකි. අපේ වාස්තු විද්‍යාව, කැටයම් හා සිතුවම් කලාව මෙන්ම මිනිසුන්ගේ සංස්කෘතික-ආගමික චින්තනය කැටිකළ තැනක් වශයෙන් ‘කණ්ඨක චේතිය’ හඳුනාගත හැකි වේ. මෙය පුරාණ හෙළ කලාව පිළිබඳ කටුගෙයක් වශයෙන් හැඳින්වුව වරදක් නොවේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමාගේ අප‍‍්‍රතීහත උත්සාහය නිසාම කණ්ඨක සෑය ද අද අපට දැකබලා වැඳපුදාගත හැකි වේ.

මැද මළුවේ පිහිටි දාන ශාලාව, ධාතු මන්දිරය හා සන්නිපාත (රැස්වීම්) ශාලාව පැරණි විහාර වාස්තු විද්‍යාව ගැන උගෙනීමට ඉවහල් වේ. දාන ශාලාවේ ඇති ‘බත් ඔරුවේ’ හා ‘කැඳ ඔරුවේ’ ප්‍රමාණ බලන විට මිහින්තලේ විහාරයේ භික්ෂූන් වහන්සේලා 2,000ක් පමණ වැඩසිටි බවට ෆා-හියං භික්ෂූන් වහන්සේ ලියා ඇති සටහන අතිශයෝක්තියක් නොවන බව තහවුරු වේ. නාග පොකුණ, සිංහ පොකුණ හා මිහිඳු ගුහාව වනාහි ආදි සිංහලයින් පරිසරය සමඟ ඇතිකරගත් සෞන්දර්යාත්මක නිර්මාණශීලිත්වය පෙන්වන කදිම නිර්මාණ වේ.

මිහින්තලේ පැමිණෙන්නකුගේ සිතේ නොමැකෙන අයුරින් සටහන් වන ස්ථානය ආරාධනා ගලයි. මිහිදු හිමියන් පළමුවෙන් දේවානම් පියතිස්ස නිරිඳු සම්මුඛ වූයේ මේ ස්ථානයේ දී බව බොහෝ දෙනාගේ අදහයි. එම පර්වතය තරණය කිරීම ද ආශ්වාදනීය අද්දැකීමකි.

මිහින්තලේ පූජනීයත්වය අතින් ඉහළම තැන් ගන්නේ සේල චේතිය, අම්බස්ථල මහාසෑය හා මිහිඳු මහා සෑයයි. බුදුහිමියන් වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවක කෙටිකාලයක් සමවත් සුවයෙන් වැඩසිට පූජනීයත්වයට පත් කළ තැන ආවරණය කරමින් ක‍ි‍්‍රස්තු පූර්ව 41-19 කාලයේ මෙරට පාලකයා වූ කූටකණ්ණතිස්ස රජු විසින් ඉදිකළ ගල් ස්තූපය ‘සේල චේතිය’ බව විශ්වාස කෙරේ. පසු කාලීන ව මේ වටා ස්තූප ඝරයක් කරවා ඇත.ක්‍රිස්තු වර්ෂ 9-21 කාලයේ මෙරට පාලකයා වූ මහාදාඨික මහානාග රජු විසින් කරවනු ලැබූ ‘අම්බස්ථල මහා සෑය’ ලංකාවේ ඇති පුදුමාකාර නිමැවුමකි. උස අඩි 154ක් ද විශ්කම්භය අඩි 122ක් ද පමණ වන මෙම ස්තූපයේ ප‍‍්‍රමාණයත්, එය පිහිටි තැනත් අනුව, මෙය රුවන්වැලි සෑයට නොදෙවැනි නිර්මාණයක් බව මහාචාර්ය පරණවිතාන මැතිතුමා පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ අෂ්ටවංක මාණික්‍යයක් තුළ බහා මෙම මහා යෑයේ තැම්පත් කර ඇති බව විශ්වාස කරනු ලැබේ.

මහා සෑයට දකුණින් ඇති නටඹුන් සෑය මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ නිධන් කර නිමැවූ ස්තූපය බව තහවුරු වී ඇත. 1951 දී මහා ස්තූපයේ සුන්බුන් ඉවත් කරන අතරතුර මෙහි ස්තූපයක් ඇතැයි දැනගත්තේ මහාචාර්ය පරණවිතානයන්ගේ අනුමානය අනුව සිදුකළ කැනීමක් මඟිනි. පූජනීය වස්තු රැසක් හමුවූ මෙම ස්තූපය මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ නිධන් කරමින් ක‍‍්‍රිස්තු පූර්ව 9 දී පමණ උත්තිය රජු විසින් කළ ස්තූපය බව තහවුරු වීම ජාතියේම වාසනාවකි.

‘කටු සෑය’ මෙන්ම ‘ඉදිකටු සෑය’ ද ප‍‍්‍රධාන පාර අද්දර දී දැකගත හැකි වේ. මිහින්තලේ උසින් වැඩිම ඇත් වෙහෙර කන්ද මුදුණේ ‘ඇත් වෙහෙර’ පිහිටා ඇත. ‘රාජගිරි කන්ද’ මෙන්ම ‘කළුදිය පොකුණ’ විහාරයන්ගේ ඇති පුරාණ නිමැවුම් මෙරට ඓන්ද්‍රීය වාස්තු නිර්මාණ පිළිබඳ කදිම උදාහරණයි. මේ තැන් දෙකේම ඇති පැරණිම නිර්මාණ බැතිමතුන්ගේ සිත්තුළ ආහ්ලාදජනක සිතුවම් මැවීමට සමත් වේ.

ජනප්‍රවාදය අනුව, මිහින්තලයේ ලෙන් හැට අටකි,ස්තූප සිය ගණනකි. තවමත් සම්පූර්ණයෙන් එකිනෙක ලේඛනගත කර නැතත් මේ කතා සත්‍යයට බෙහෙවින් සමීප බව මූලික ගවේෂණ තුළින් පෙනේ.

මිහින්තලේට උතුරින් පිහිටි මොණරගල සිතුවම් හා අනුළාදේවි දාගැඹ, ඊසාන දෙසින් පිහිටි මහකණදරාව වැව, ගලේ පන්සල හා ගල්පාලම, ගිණිකොණ දෙසින් පිහිටි කටුපොත කන්ද වැදගත් තැන් අතර පවතී.

කෙටි ලිපියකින් ලියා නිමකළ නොහැකි තරමේ ආගමික, සංස්කෘතික, වාස්තු, ඉතිහාස,පුරාවිද්‍යාහා පරිසර වශයෙන් අනුපමේය වටිනාකම් හිමි තැනක් නිසාම මිහින්තලේ වනාහි සමස්ත ලාංකේය බෞද්ධ ප්‍රජාවට පමණක් නොව සමස්ත ලෝක මානව ප්‍රජාවට ම ආඩම්බර විය හැකි තැනකි. එබැවින් මේ අගනා වටිනා පුදබිම ‘ලෝක උරුමයක්’ වශයෙන් නම්කළ යුතු තැනක් බවත් සටහන් කළ යුතු වේ.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]