[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

වර්තමානයේ ඇති වූ කොරෝනා නමැති මහා වසංගතය නිසා, මුළු ලෝකයම අසීමිත බියකට, සැකයකට පත්ව සිටින මොහොතක මෙවර උපසම්පදා පුණ්‍ය මහෝත්සවය කල් දැමීමට මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර කාරක මහා සංඝ සභාව ම තීරණය කළහ. තවදුරටත් එම වසංගත තත්ත්වය පවත්නා නිසා උපසම්පදාවට සම්බන්ධ වන මහා සංඝ රත්නයේත්, සැදැහැවතුන්ගේත් ආරක්ෂාව සලසාලීම වශයෙන් මේ වර්ෂයේ දී උපසම්පදාව නොපැවැත්වීමට තීරණය විය. මල්වතු පාර්ශ්වයේ අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අති ගෞරවාර්හ වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ හා, මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක ස්වාමීන් වහන්සේ සිව් නමත්, ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේ සහිත ගරුතර කාරක සංඝ සභාවත් විසින් සාකච්ඡා කොට මේ වර්ෂයේ උපසම්පදාව නොපැවැත්වීමට තීරණය කරනු ලැබු අතර, ලබන වර්ෂයේ සිට නැවත උපසම්පදාව පැවැත්වීමට තීරණය කරන ලද බව ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ සහ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නා හිමිපාණන් වහන්සේ පවසති.

*****

ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටූ විමෙන් පසු තථාගත බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළ උපසම්පදාව මිහිඳු මා හිමියන්ගෙන් පසුව අනුරාධපුර මහා විහාරය මුල් කරගෙන සිදු විය. ඒ නිසා එම උපසම්පදාව ‘මහා විහාර’ උපසම්පදාව නම් විය.

එතැන් පටන් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, යාපහුව, ගම්පොළ, කෝට්ටේ හා මහනුවර රාජධානිවල දී ඒ ඒ රජවරු මුල් වී උපසම්පදාව පිහිටු වූ ආකාරය ඓතිහාසික වාර්තාවල සදහන් වේ.

ක්‍රි.ව. 1705 වන විට නරේන්ද්‍රසිංහ රාජ්‍ය කාලයේ දී එකම උපසම්පදා භික්ෂුවක්වත් ලක්දිව නොසිටි බවත්, නම ගමවත් ලියා ගන්නට බැරි පිරිසක් එදා ලක්දිව සිටි බවත් මහා වංශය ආදී ඓතිහාසික ග්‍රන්ථවලින් පැහැදිලි වේ. එවන් වකවානුවක දී ජාතියේ පිනට වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේ බිහිවුහ.

උන්වහන්සේ, නරේන්ද්‍රසිංහ රජු පහදවාගෙන පළමුවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට අවස්ථාව සැලසුහ. ඒ සඳහා තෝරා ගත්තේ 1502 දී වික්‍රමබාහු රජතුමා විසින් සාදවන ලද පෝයමළු විහාරයයි. එහි දී පළමුවෙන් අධ්‍යාපනය ලබා දුන් අතර, එහි ඉඩකඩ මද නිසා නරේන්ද්‍රසිංහ රජුගේ අනුග්‍රහය අනුව උඩුනුවර නේමකන්දේ සිද්ධස්ථානයක් පිහිටුවා අධ්‍යාපනය වැඩි දියුණ කරමින්, උඩ - පහත දෙපළාතේ ම ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දුන්හ.

ඒ වනවිට එකම උපසම්පදා භික්ෂුවක්වත් නොමැති වූ අවස්ථාවකි. සම්බුද්ධ ශාසනය නම් උපසම්පදා භික්ෂුන් වහන්සේ අත්‍යවශ්‍යම ය. උපසම්පදා භික්ෂූන් වහන්සේගෙන් තොරව ශාසනයක් නැත. සම්බුද්ධ ශාසනය යනු උපසම්පදා භික්ෂූන් වහන්සේගෙන් සමන්විත ව පවතින ශාසනයයි. කෝට්ටේ යුගයේ දී ලංකාවේ බිහිවු උපසම්පදාව ම තායිලන්තයටත්, බුරුම රටටත් රැගෙන ගොස් තිබුණි. ඒ සමගම බෝධීන් වහන්සේත්, බුද්ධ ප්‍රතිමා වහන්සේත්, ත්‍රිපිටකයත් ලංකාවේ සිට ඒ රටවලට ගෙනගිය බව ජිනකාලමාලිය ආදී සියම් රටේ වංශ කතාවේ සඳහන් වේ.

වැලිවිට සරණංකර හිමියන් විසින් තුන්වැනි වතාවට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සම්බන්ධ කරගෙන සියම් රටේ හෙවත් තායිලන්තයේ අයෝධ්‍යා නගරයට දූතයන් යවනු ලැබී ය. එහිදී පරම ධාර්මික රජතුමාටත්, ශ්‍රී නිවේස සංඝරාජ මාහිමියන්ටත් කරුණු කියා ලක්දිව උපසම්පදාව පිහිටුවීමට උපාලි හිමියන් ඇතුළු තිහකට අධික උපසම්පදා භික්ෂූන් වහන්සේ සහිතව ම මැති ඇමැතිවරුන් 1753 වර්ෂයේ ලංකාවට ගෙන්වාගන්නා ලදී. එදා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අපමණ සතුටට පත්ව උපාලි හිමියන් ඇතුළු හිමිවරු පිළිගත්තේ ය. පොහොයමළු විහාරයේ ඉඩ මදි නිසා රජතුමාගේ මල්වත්ත පූජා කරමින් වර්තමානයේ පවත්නා පෝය සීමාව ඇතුළු සංඝාවාසය ඉදි කළේ ය. භික්ෂූන් වහන්සේ එහි වඩා හිඳුවා 1753 වර්ෂයේ ජූලි මස 15 වැනි දින වර්තමාන සම්බුද්ධ ශාසනයේ පළමුවැනි උපසම්පදාව මල්වතු මහා විහාර පෝය සීමාවේ දී පිහිටවූයේ ය. එහි දී කොබ්බෑකඩුවේ හිමි, වැලිවිට සරණංකර හිමි, හුලංගමුවේ හිමි, තිබ්බටුවාවේ බුද්ධ රක්ඛිත හිමි යන හිමිවරු ඇතුළු මල්වතු විහාරයෙන් පස් නමක් ද, අස්ගිරි විහාරයෙන් නාවින්නේ හිමි ද යන සය නම උපසම්පදා කරනු ලැබූහ.

ඊට පසුදින පටන් මල්වතු, අස්ගිරි විහාර දෙකෙහි හා ලක්දිව නොයෙක් විහාරස්ථානවලින් වැඩම වූ සාමණේරයන් වහන්සේ උපසම්පදා කළ ආකාරය ස්‍යාමෝපසම්පදාව, සංඝරාජ සාධු චර්යාව, මහාවංශා දී ග්‍රන්ථයන් හි ද සඳහන් වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් රාජකීය ආභරණ පළඳවමින් වාහලනාග නාමයෙන් ම එකී සාමණේරයන් වහන්සේට ගෞරව දක්වමින් උපසම්පදා කරනු ලැබීමට සලස්වනු ලැබී ය. එදා ආරම්භ වූ උපසම්පදාව වාර්ෂික ව වෙසක් පොහොයේ සිට පොසොන් පොහොය දක්වා මල්වතු - අස්ගිරි උභය මහා විහාරයන්හි පැවැත්වීමට කටයුතු සැලැස්වීය. එහි දී පොහොය පහට විහාරස්ථාන දෙකෙහි ම වාහල නාග නාමයෙන් දහනමක් උපසම්පදා කිරීමට සැලැස්වේ. මේ අයුරින් 1753 වසරේ සිට ආරම්භ කළ උපසම්පදා උත්සවය අවුරුදු 266 ක් මුළුල්ලෙහි අඛණ්ඩව ම පවත්වාගෙන එන ලදී.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]