[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැහැමි රාජ්‍ය පාලනයක ශ්‍රී විභූතිය

දැහැමි රාජ්‍ය පාලනයක ශ්‍රී විභූතිය

බුදුරජාණන් වහන්සේට ‘අනුත්තරෝ පුරිසදම්ම සාරථී’ කියනවා. මේ ලෝකයේ බොහොම දරුණුම මිනිස්සු, දරුණු පුද්ගලයෝ , අකීකරු අය, කෙනෙක් ඉදිරියේ මාන්නයෙන් පිළිගන්නේ නැති, දමනය කරගන්න අපහසු බොහොම දැඩි පුද්ගලයන් පවා බුදුරජාණන් වහන්සේට දමනය කරන්න පුළුවන් වුණා, ධර්මය තුළ හික්මවන්න පුළුවන්කම තිබුණා. ඒ අතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පසුව උන්වහන්සේගේ ධර්මය ශාස්තෘත්වයට පත් කළා.

එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙසිය තිස් ගණනකට පසුව දඹදිව පහළ වුණ බොහොම දරුණු අධිරාජ්‍යයෙක් ව සිටි ‘චණ්ඩාශෝක’ නමින් යුධකාමී දරුණු ම්ලේච්ඡ රජකෙනෙක් සිටියා. මේ රජතුමා කෙළවරක සිටන් ප්‍රදේශ යටත්කරගෙන , මිනිසුන් මරමින් විශාල යුද්ධයක් දිගින් දිගටම කරගෙන ගියා.’කාලිංග‘ නම් වූ මේ යුද්ධයත් සමඟ දස දහස් ගණන්, ලක්ෂ ගණන් මිනිස්සු යුදපිටිවල, යුදභූමියේ මිය ගියා. මෙලෙස විශාල යුද්ධයකින් පසුව මුලු දඹදිව තලයම යටත් කරගෙන බොහොම යුදකාමී ම්ලේච්ඡ රජෙක් ලෙස ‘චණ්ඩාශෝක’ රජතුමා මිනිසුන් හැඳින්වූවා.

නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්ය නිසා චණ්ඩාශෝක ‘ධර්මාශෝක’ බවට පත්වුණා. පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් මේ රජතුමා දමනය කළා.

පුංචි සාමණේර මහ රහතන් වහන්සේ ධම්මපදයේ සඳහන්වෙන ‘අප්පමාද වර්ගයේ’ ගාථා ඇතුළත් කරමින් රජතුමාට දහම් දෙසුවා. එහි සඳහන් වෙන්නේ අප්‍රමාදී ව, ධර්මය දියුණු කරන ආකාරය යි. අකුසල් ප්‍රහාණය කර, කුසල් දියුණු කරගනිමින් අප්‍රමාදී ව ධර්මාවබෝධය කරා යන ආකාරය යි. එදා ධර්මය ශ්‍රවණය කළ රජතුමා පැහැදීමෙන්, නිතර ධර්මය ශ්‍රවණය කරන්න, ස්වාමීන් වහන්සේ මුණ ගැසෙන්න , බුද්ධ ශාසනය ගැන සොයන්න, මහ රහතන් වහන්සේලා ඇසුරු කරන්න පටන් ගත්තා. එදා දරුණු ‘චණ්ඩාශෝක’ රජතුමා ‘ධර්මාශෝක’ බවට පත්වුණේ කුඩා ස්වාමීන් වහන්සේගෙන් බණ ඇසීමෙන්.

දවසක් ධර්මාශෝක රජතුමා සොයා බැලුවා ඒ වෙද්දී වැඩ සිටින ශ්‍රේෂ්ඨතම මහ රහතන් වහන්සේ කවුද යනුවෙන්. එවිට දැනගත්තා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ යනුවෙන්. පණිවුඩ කිහිපයක්ම යැවුවත් මුණ නොගැසුණු ස්වාමීන් වහන්සේ අවසානයේ බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩම කළා. රජතුමා උන්වහන්සේ බොහොම ගෞරවයෙන් වඩම්මවා ‘ස්වාමීනි, බුදුන් වහන්සේගේ ධර්මය කෙතරම් දැ’යි විමසුවා. අසූහාරදහසක් බව වදාළ විට ‘ස්වාමීනි, මගේ රාජ්‍ය තුළ යොදුනින් යොදුන අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකරන බව වදාළා. එදා වුණ පොරොන්දුව ඉෂ්ඨ සිද්ධ කළ රජතුමා තමන්ගේ එකම පුතණුවන් වන මහින්ද කුමාරයා මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ළඟ පැවිදි කළා. ධර්ම විනය හොඳින් හදාරා , ත්‍රිපිටක ධර්මය හොඳින් කටපාඩම් කරගෙන උතුම් ඍද්ධි බල සම්පන්න මහ රහතන් වහන්සේ නමක් බවට මිහින්ද මහ රහතන් වහන්සේ පත් වුණා.

තම දියණිය ද සංඝමිත්තාව ද , මුණුබුරා සුමන සාමණේරයන් වහන්සේ ද බුද්ධ ශාසනය තුළ පැවිදි වුණා. රජතුමා බුද්ධ ශාසනයට විශාල සේවයක් සිදු කළා. තුන්වන ධර්ම සංගායනාව සූදානම් කරන්න මූලිකත්වය ද දැරුවේ රජතුමා යි. බලන්න, රජකෙනෙක් තිසරණයේ පිහිටියාට පසුව ,ධර්මය ගැන පැහැදුණාට පසුව බුද්ධ ශාසනය කෙතරම් යහපතක් ද? ඒ වෙද්දී ශාසනය ඇතුළත්ව ධර්ම විනය විකෘති කරමින් සිටි අන්‍ය තීර්ථකයන් බොහෝ පිරිසක් සිවුරු දරාගෙන ඒ අයගේ දුර්මත ධර්මය ලෙස පැවසුවා. බුද්ධිමත් රජතුමා මහ රහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි , අවවාද අනුශාසනා පරිදි ශාසනය පිරිසුදු කරන්න මූලිකත්වය ගත්තා. ඒ අනුව සිවුරු දරාගත් අන්‍ය තීර්ථකයන් හැට දහසක් ශාසනයෙන් ඉවත් කර රහතන් වහන්සේ දාහක් එකතුවෙන් තුන්වන ධර්ම සංගායනාව සිදු කළා. එහිදී මෙන්න ධර්මය, මෙන්න විනය යනුවෙන් ධර්ම විනය ස්ථාපිත කළා. එමෙන්ම රටවල් ගණනාවකට ධර්ම දූත කණ්ඩායම් පිටත් කර යවා ධර්මය ව්‍යාප්ත කළා. එකල ලක්දිව රජ කළේ මුටසීව රජතුමා යි. වයෝවෘද්ධ ව සිට මියගිය එතුමාගේ පුතණුවන් වන දේවානම් පියතිස්ස රජතුමා මුලින්ම ‘තිස්ස’ නමින් රාජාභිෂේක ලැබුවා. එදා දඹදිව රාජ්‍ය කළ ‘ධර්මාශෝක’ රජතුමා ලක්දිව තිස්ස රජතුමාට දෙවියන්ට ප්‍රිය වූ ‘දේවානම්පියතිස්ස’ නමින් ගෞරව නාමය ලබා දී දෙවන වතාවට රාජාභිෂේක ලැබුවා.

පොසොන් පෝ දවසක මිස්සක පව්වට මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉත්ථිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමණ සාමණේරයන් වහන්සේ භණ්ඩුක උපාසක තුමාත් සමඟ ලංකාභූමියට වැඩම කළා. එදා විසි දහසක් පිරිවර සමඟින් ‘දේවානම් පියතිස්ස රජතුමා’ දඩයමේ ගියා. නමුත් ඇමැතිවරු විසිදහසක් සමඟින් රජතුමා දඩයමේ ගියේ මාලිගාවේ කෑමට යමක් නැතිව නොවේ. පෝය දවසක වුණත් රජතුමා පුරුදු වෙලා සිටියේ විනෝදයට දඩයමේ ගිහින් ප්‍රාණඝාත ආදී අකුසල් කරන්න යි. එදා මිහිදු මහ රහතන් වහන්සේ , රජතුමා ඇතුළු විසි දහසක් පිරිස මිස්සක පව්වේ දී තිසරණයෙහි පිහිටවූවා.

පොසොන් පොහොය දවස බුද්ධ ශාසනයේ ඉතා වැදගත් දිනයක්. එදා වූ විශේෂිත සිදුවීම් අතර මිහිදු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස රජතුමාට මුණ ගැසීම, රජතුමා සමඟ කළ කතා බහ ආදී කරුණු ඔබ දන්නවා.

දස රාජ ධර්මයන්ගෙන් රටක් පාලනය කරන ආකාරය , රජකෙනෙක් තුළ තිබිය යුතු රාජ්‍ය පාලන ක්‍රමය , රටවැසියා තුළ ඇතිකරගත යුතු මෛත්‍රී සහගත සිතිවිලි ,ධාර්මිෂ්ඨකම ආදී සෑම දෙයක් ම මිහිදු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමත් සමඟම එදා මේ රටේ රජවරු, ප්‍රාදේශීය රජවරු, අමාත්‍යවරු , රාජ්‍ය පාලනය කළ සියලුම දෙනා බුදු දහමෙන් පෝෂණය වුණ ,ධර්මයෙන් පෝෂණය වුණ, ධර්මානුකූල රාජ්‍ය පාලනයක් පවත්වාගෙන ගියා. ඒ නිසා තමයි, මේ රජ පරම්පරාවන් බුද්ධ ශාසනයට තුනුරුවන්ට ජීවිතය පූජා කරමින් අපේ රටේ ඉතිහාසය පාලනය කළ බොහෝ රජවරු ලංකා රාජ්‍ය කිහිප වතාවක් ම සම්බුදු ශාසනයට පූජා කරනවා.

රුවන්මැලි මහා සෑය වැනි මහා සෑය ලක්දිව අනුරපුර, පොළොන්නරුව ආදී රාජ්‍යයන්හි වෙහෙර විහාර, විශාල චෛත්‍ය ඉදි කළා. අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණ ඇතිවුණ වේලාවේ පවා අපේ රජවරු පලාගිය තැන් සෑම තැනකම වෙහෙර විහාර ඉදිකරමින්, ඔබ අසා ඇති පරිදි වළගම්බා රජතුමා වසර ගණනාවක් සොලී ආක්‍රමණ යටතේ සැඟවෙමින් සේනා සංවිධාන කරගෙන සිටියා. මේ සෑම තැනකම ආරාම, වෙහෙර විහාර ඉදි කළා. අද ලංකාවේ තියෙන සෑම තැනම විහාරස්ථානවලින් විශාල ප්‍රමාණයක් වළගම්බා රජතුමා සැඟවෙමින් සිටි, සේනාසංවිධාන කළ සෑම ප්‍රදේශයකම ඉදි කළ බොහෝ වෙහෙර විහාර යි.

ඒ නිසා අපේ රටේ ඉතිහාස රජවරු තෙරුවන් සරණ ගොස් , බුද්ධ ශාසනය ගැන පැහැදී , බොහෝ වෙහෙර විහාර ඉදිකරමින්, මහා සංඝයාගේ අවවාද අනුශාසනා මත , ධර්මානුකූල, ධාර්මිෂ්ඨ, රාජ්‍ය පාලනයක් පවත්වාගෙන ගියා. ඒ නිසා මිහිදු මහ රහතන් වහන්සේ වැඩම වීමත් සමඟ ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලංකාභූමියට ලැබුණා වගේ ම අපේ රටේ පාලකයන්ට, මිනිසුන්ට ධර්මානුකූලව තමන්ගේ ජීවිතය එදිනෙදා මෙලොවත් පරලොවත් යහපත පිණිස ජීවත් වීමේ ජීවන රටාවක් ජීවිතයට එකතු කරගන්න ලැබුණා.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]