[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහින්දාගමනයෙන් පෝෂණය වූ හෙළ සංස්කෘතිය

මහින්දාගමනයෙන් පෝෂණය වූ හෙළ සංස්කෘතිය

ක්‍රි.පූ. 236 වැන්නෙහි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය බැතිබර හදවතින් ලක්‍ෂ සංඛ්‍යාත ජනීජනයා විසින් සිහිපත් කරනුයේ උන් වහන්සේගෙන් පෝෂණය ලද දරු දැරියන් වශයෙන් කෘතෝපහාර දැක්වීමේ අත්‍යන්ත ලැදියාවෙනි, සෙනෙහසිනි.

මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ඇති කළ සමාජ විපර්‍යාසය ආධ්‍යාත්මික විප්ලවය, චින්තන ප්‍රබෝධය ආදී සියල්ල සමස්තයක් වශයෙන් හෙළ සංස්කෘතිය යැයි කීවාට කිසිදු වරදක් නොවේ. සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාව පිළිබිඹු කරන සංකල්පයකි. මානව පැවැත්මේ දී සිදුවන සෑම ක්‍රියාකාරකමක් ම සංස්කෘතියට සම්බන්ධ වෙයි. දෛනිකව එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි ආයුධ, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, විශ්වාස, පුදපූජා ආදී වූ මේ සියල්ල සංස්කෘතියේ උපාංගයෝ වෙති. සමාජයේ පුද්ගල ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්‍යාව, සමාජ චර්‍යාව, දේශපාලන චර්‍ය්‍යාව, සහ විනෝද කටයුතු ආදී මේ සියල්ල ම ද සංස්කෘතිය තුළින් ම විද්‍යමාන වෙයි. අනෙක් පැත්තෙන් මිනිසාගේ තෘප්තිය පිණිස, සමාජයේ සාමය පිණිස, පුද්ගලයාගේ ශික්‍ෂණය පිණිස, මිනිසාට හිතකර පරිසරයක් පවත්වා ගෙන යාම පිණිස අවශ්‍ය කෙරෙන ක්‍රියාදාමය සංස්කෘතිය වශයෙන් ව්‍යාඛ්‍යානය කළ ද වරදෙක් නොවේ.

එදා මිහිඳු මාහිමියන් හට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ.247-207) මුණ ගැසුණේ ක්‍රීඩා පිණිස සතුන් දඩයම් කරමින් සිටියදී ය. මිහිඳු මාහිමි දුටු සැණින් බිම වැටුණු දුනු ඊතල නැවතත් සත්ත්ව හිංසනය සඳහා එසවුණු බවක් සඳහන් නොවේ. මිහිඳු මාහිමියන් බුදුදහම හඳුන්වා දී ඒ අනුව දෛනික ජීවිතය සකස් කර ගැනීමට ජනතාවට උපදෙස් දුන්හ. භික්‍ෂූන් වහන්සේලා ධර්ම දේශනා සඳහා මාතෘකා තෝරා ගැනීමේ දී ගිහියන්ගේ සිත් ඇදී යන මාතෘකා කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි. දක්ඛිණා විභඩ්ග සූත්‍රය එවැනි ජනප්‍රිය දේශනයක් විය. බුදුරදුන්ගේ පටන් සිව්පා සතුන් දක්වා නා නා තරාතිරමේ පුද්ගලයන් දාහතර දෙනෙකුට දන්දීමෙන් ඒ ඒ පමණට ආනිසංස ලැබෙන අයුරු එහි පැහැදිලි කර ඇත. තම තමන්ගේ වත්කමේ හැටියට පරලොව සැපත සඳහා පින් කර ගන්නට ගිහි ජනතාව යුහුසුළු වූහ.

දේවදූත සූත්‍රය ද එවැනිම තවත් ජනප්‍රිය දේශනාවකි. අපායේ දී පව්කාරයින්ට විඳීන්නට සිදුවන වධහිංසා ඇස් ඉදිරියේ මවා දැක්වීමක් එයින් සිදු කෙරිණ. පවින් වැළකී යහපත් ජීවිතයක් ගත කරමින් සමාජය කෙරෙහි තමන් අතින් ඉටුවිය යුතු යුතුකම් වටහා ගන්නට නොහැකිව ක්‍රියාකරන අනුවණ නපුරු මිනිසුන් පවට බිය ගන්වා ප්‍රාණඝාතාදී අකුසල කර්මවලින් වැළැක්වීමට මේ සූත්‍ර දේශනා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය. එසේම ලෝකයට සමාජයට යම්කිසි සෙතක් යහපතක් සැලැස්වීමට මිනිසුන් උනන්දු කරන දේශනා ද පැවැත්වූහ. පරලෝ සැපත පිණිස නොයෙක් පිළිවෙළේ පින් රැස්කර ගැනීම රජුගේ පටන් දුගී ගොවියා දක්වා හැම ගිහියෙකුගේම චේතනාව බවට පත්කළහ. ලෝක සත්වයා පතන ධනය, ආරෝග්‍ය, රූප සම්පත්තිය, දීර්ඝායුෂය, ඥානය, බලය, කුලය යනාදිය ලැබීම හෝ නොලැබීම තම තමා විසින් කරනු ලබන කුසලාකුසල ක්‍රියාවල ප්‍රතිඵල මතම සිදුවනු ලබන්නක් යන මතය සමාජ ගතවීමෙන් මුළුමහත් සමාජය ම අකුසලයෙන් දුරුව කුසලයට ළංව ජීවිත ගොඩනඟා ගැනීමේ උත්සාහයක යෙදුණේ මෙම දේශනාවල ප්‍රතිඵල වශයෙනි.

දහඩිය මහන්සියෙන් හරිහම්බ කර ගත් දෙයින් කරන පින්කමෙන් ලැබෙන ආනිසංස වැඩි යයි පිළිගත්හ. මෙම අදහස නිසා මහසිළු මහතිස් රජතුමා වරක් වෙස්වලා ගෙන කෙතක වැඩකොට ලත් සහළින් දන් දී ඇත. තවත් වරෙක උක් කෙතක වැඩ කොට ලත් උක් සකුරු මහ සඟනට පූජා කෙළේය.

මෙලෙස ගිහි ජනතාව උස් පහත් භේදයක් නොමැතිව “පුණ්‍ය” සංචිත එක්රැස් කිරීමට උත්සාහවත්ව ක්‍රියා කෙළේය.

මෙම පදනම මත සැකසුණු ජීවිත ඉතා චාම් සැහැල්ලු එකක් විය. ගෘහ ජීවිතය සම්පූර්ණයෙන්ම ඉතා නිරවුල් හැල හැප්පීම්වලින් තොරව සෙමෙන් සෙමෙන් ඉදිරියට ගලා යන්නක් විය. මල නොතලා රොන් ගෙන මී බඳීන්නා වූ බඹරෙකු මෙන් අනුන් නොතලා නොපෙළා දැහැමෙන් වීර්‍ය්‍ය වඩන්නාට වේ තුඹසක් බැඳෙන්නාක් මෙන් ධනය රැස්විය. මහජනයා නොපෙළා ධාර්මික ධනය ඉපයීමකි එය.

එලෙස නිවැරැදිව හරි හම්බ කළ ධනය නිවැරදි ව පාවිච්චි කළහ. අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සුභරතා යන ගුණත්‍රය අනුව ජීවිතය ගත කිරීමට හුරු පුරුදු වූහ. හැම විටම මේ ගුණයන්වලට තම බාල පරපුර ද හුරු පුරුදු කළහ. බුදුරජාණන් වහන්සේ දෙමාපියන් හැඳීන් වූ පූර්වාචාර්‍ය යන නාමයට අන්වර්ථවත් වන සේ ක්‍රියා කළහ.

එබැවින් පරපුරෙන් පරපුරට හෙළදිව බෞද්ධයෝ ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියන්නෝ බවට පත්වූහ.

දෛනික ජීවිතයේ ඇවතුම් පැවැතුම්වල කැපී පෙනෙන වෙනසක් බෞද්ධ ගෙදරක දැකිය හැකි ය. බෞද්ධ ගෙදරක කිසිදු දරුවෙකු කෑම ගන්නා විට තලු ගැසීමක් කරන්නේ නැත. කෑම අත්ලෙහි ගෑවෙන්නේ නැත. කෑම කන ගමන් ඇඟිලිවල ගෑවුණු කෑම දිවෙන් ලෙව කා කන්නේ නැත. කන තැන වටපිට බත්හුළු ඉහිරවන්නේ නැත. බත් පිඟාන එකවර හනා ගොඩ ගසා ගන්නේ නැත. බත් පිඟානෙහි හැම තැනින්ම හනා කන්නේ නැත.

මහින්දාගමනයෙන් පසු බුදු දහමෙන් ලද ඒ හුරුපුරුදු සිහල සිරිත් ලෙස පවත්වා ගෙන එති.

ආගන්තුක ස්ථානයකට ගියවිට විශේෂ සැලකිල්ලකින් එහි දී හැසිරීමට වගබලා ගනිති. පාවහන් සහිත ව ගෙදරකට කිසිදු අවස්ථාවක ඇතුළු නොවේ. ඇතුළුවීමට පළමුව පාවහන් ගැලවීම බෞද්ධයාගේ සිරිතකි. මඟතොට ගමන් කිරීමේ දී කොක් හඬ ලා සිනාසීම, කතා කිරීම බෞද්ධයාගේ සිරිත නොවේ. අනුන්ට හිරිහැරයක් නොවන පරිදි යාම ඊම පමණක් නොව කතා බහ කිරීම ද ඔවුන්ගේ සිරිතයි.

එසේම ගෙදරදී හෝ වෙනත් පිට තැනක දී තුනටියේ දෙඅත් ගසා ගෙන සිටීම හෝ හිස දෙඅත් බැඳ සිටීම මහ මූසල කමක් ලෙස ගැමියෝ හඳුන්වති. එය නොකළයුතු දෙයක් ලෙස බුදුදහමෙහි ඉගැන්වෙයි.

හෙළබොදුනුවන්ගේ ඇඳුම ද ඉතා චාම් ය. ඔහුගේ ඇඳුමෙහි පාට සුදුපාට ය. හෙළ බොදුනුවාට නිල ඇඳුමක් ඇත. එය කලාපීය වශයෙන් සහ ආගමික වශයෙන් ගැළපෙන පරිදි සකස් වූවකි. ඝර්ම කලාපීය රටක ජීවත්වෙන අප ඇඳුම් ඇඳීය යුත්තේ ලොම් ඇඳුම් මෙන් ඝන, ඇඟට හිරවෙන ඇඳුම් නොවේ. උෂ්ණයට ගැලපෙන සැහැල්ලු ඇඳුමක් විය යුතු ය. එසේම අනවශ්‍ය ආකාරයට ශරීරය විවරවන ලෙස ද නොවේ. මේ බව තවත් අපට පැහැදිලි වන්නේ අපේ පැරැණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක් වන කාව්‍යශේඛරය දැක්වෙන කවකිනි.

පෙකණිය නොදක්වා
සළු ඇඳ බොලට දක්වා
නොපව තන දක්වා
සිනා නොමසෙන් දසන් දක්වා”

යනුවෙන් නාභිය නොපෙනෙන පරිදිද, කෙණ්ඩය වැසී යන පරිදි සහ පියයුරු අංශයක් නොපෙනෙන පරිදි සළු ඇඳීය යුතු ය. දත් පෙනෙන පරිදි මහ හාස්‍යය නොකරව යනුවෙන් පතිකුලයට යන තම දියණියට මහ බමුණු අවවාද දී ඇත.

මෙලෙස ඇඳුම් ඇඳීමේ ආභාසය හෙළ බොදුනුවනට ලැබී ඇත්තේ බුදුදහමේ ඉගැන්වෙන සේඛියා ධර්මවලින් යයි කිව හැකි ය. ජාතික ඇඳුම නමින් හෙවත් ආර්‍ය සිංහල ඇඳුම නමින් අද හෙළයනට උරුමව ඇති නිල ඇඳුම සැකසී ඇත්තේ ද මෙම බලපෑම නිසා යයි කිව හැකි ය. පිරිමින් අඳීන ‘නැෂනල් එක‘ යයි හඳුන්වන උඩුකය වසන ඇඳුම අත් දිගට මැණික් කටුව ද වැසෙන සේ සකස් වූවකි. යටි කය වසන ඇඳුම ඇස්වටය ද වැසෙන සේ සකස් වූවකි. භික්‍ෂුවක සිවුරෙන් වසන ප්‍රමාණය ම ගිහියා ද ඇඳුමෙන් ආවරණය කරයි.

හෙළ කාන්තාවට ද නියම කර ඇත්තේ ඔසරිය නමින් හඳුන්වන චාම් ඇඳුමකි. ඇය ද එය ඇඳීමෙන් සංවර බවක් ඇතිකර ගනී.

කෙළ ගැසීමේ දී වුව සංවර බවකින් යුතුව සිදු කරන බව දැකිය හැකි ය. භාරතය හා සංසන්දනාත්මක ව බලන විට මෙම කරුණුවලදී ලාංකේය බෞද්ධයාගේ අතිශය සංවර බවක් දැකිය හැකි ය. එය බුදු දහමෙන් මහින්දාගමනය සමග ඇති වූ සංස්කෘතික පෝෂණයේ ප්‍රතිඵලයක් යයි කිව හැකි ය.

සංස්කෘතිය ගතික ස්වභාවයෙන් යුතු ය. එය නොකඩවා වෙනස්වෙමින් පවතී. වෙනස් විය යුත්තේ සමාජ ප්‍රගමනයට සහ සුභ සිද්ධියට හානිදායී ආකාරයෙන් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන පරම්පරාගත නිපදවීමක් ලෙස ද සැලකෙන සංස්කෘතිය ලංකාවේ ඇති වී ඇති වෙනස්කම් දෙස බලන විට පැරැණි හෙළ සංස්කෘතියේ වටිනාකම කියා නිම කළ නොහැකි ය.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]