[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිංහල ජාතියේ සංවිධායකයා

සිංහල ජාතියේ සංවිධායකයා

මේ රටට සෙසු පිරිස් පැමිණෙන්නේ බුද්ධ ධර්මය දකින්නට ය. ඉගෙන ගැනීමට ය. ඒ නිසා ඒ බුද්ධ ධර්මය ආරක්ෂා කොට, හොඳින් පිළිපදින ආදර්ශමත් ජාතියක් බවට අපට පත් වෙන්නට හැකි නම් සැබෑ ලෙස ම මිහිඳු හිමි සමරන සංස්කෘතියක් සමාජයෙහි ස්ථාපිත කළ හැකි වනු ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට වැඩම කරන්නේ ශාන්ති නායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුව ය. උන්වහන්සේ පැමිණීමට පෙර ශ්‍රී ලංකාද්වීපය යක්ෂ, රාක්ෂස, දේව, නාග කියන සිව් හෙළයන්ගෙන් ඉතා ම විස්මිත නිර්මිතයන් සහිත ව දියුණුවට පත්ව පැවති දේශයකි.

රාවණා යුගය ගෙන බැලුවහොත් ඉතා විශිෂ්ට සංස්කෘතියක්, ලෝකය විස්මිත කරවන නිර්මාණ බිහි වූ යුගයකි. දඬු මොණර යන්ත්‍රය, ආලකමන්දාවක් සේ පැවති සීගිරිය වැනි තැන් සමග බලන විට එකල විශිෂ්ට සමාජයක් තිබුණු බවට කිසිදු සැකයක් නැත.

පණ්ඩුකාභය රජ දවස රජතුමා සමඟ සිටි චිත්තරාජ, කාලවේල, වළවාමුඛී වැනි දේවත්වයෙන් සැලකූ යක්ෂ යක්ෂණියන් රජු සමඟ සම අසුන්හි වාඩි වී රැඟුම් නැරඹූ බව ඉතිහාසය කියයි.

ඒ වගේ ම තිවංකගම, තිවංක බමුණා චන්දන ග්‍රාමයේ සිටි බ්‍රහ්මණයින් ප්‍රබල ප්‍රාන්ත නායකත්වයක් ඉසිලූ නායකයින් බව අපට පෙනේ. දොරමඬලාව ගමේ සිටි ආචාර්යවරුන් වගේ අය රටට බොහෝ බලපෑම් කළ කණ්ඩායම් ය.

ඒ නිසා මිහිඳු මා හිමියන්ගේ වැඩම වීම සිදු වූයේ ඉතා ම බුද්ධිමත් ජනතාවක් සිටින දේශයකට ය. එසේ නැතිව ම්ලේච්ඡ ජනතාවක් සිටි දේශයකට නොවේ.

මිහිඳු මා හිමියන් දේවානම් පියතිස්ස රජුගෙන් අඹ ප්‍රශ්නය හා ඤාති ප්‍රශ්නය විමසුවේ ඒ බුද්ධිමත් බව පිරික්සීමට ය. ප්‍රත්‍යක්ෂ සහ අනුමානය පදනම් කරගෙන ප්‍රශ්න අසා රජුගේ දැනුම පරීක්ෂා කිරීමකි එදා සිදුවූයේ.

ඒ වගේ ම අපට තිබුණ ඉතා බලගතු දෙයක් වූයේ පරිසර සාධකයි. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රථමයෙන් දේශනා කළ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයේ දී මිනිසුන්ට බණ කියන්නේ ඇත් අඩි උපමාවට ගෙන ය. එකල ලාංකේය ජන සමාජයට ඇතුන් ඉතා ළබැඳි ය. හීලෑ කරගත් ඇතුන්ගෙන් අපට මහත් සේවයක් සැලසුණි. ඒ ලාංකේය සමාජය පරිසරයත් සමඟ ජීවත් වූ නිසාය.

මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට වැඩම කළේ මිත්‍රත්වයෙනි. අප දන්වා, බුදුරජාණන් වහන්සේ දෙවතාවක් ම අපේ රටට වැඩම කළේ යුද ගිනි නිවීමට ය. එක් අවස්ථාවක මහියංගනයේ යක්ෂ දමනය සිදුවුණි. එදා යක්ෂයින් විසින් නාගයින්ට අයිති උයනක් ග්‍රහණය කර ගනු ලැබීමට යාම තුළයි ඒ යුද්ධය ඇතිවුණේ..

ඊළඟට නාගයින් අතර ම යුද්ධයක් ඇතිවුණි. ඒ චූලෝදර හා මහෝදර අතර ය. බුදුරජාණන් වහන්සේ ඒ යුදගිනි ද නිමා දැමූහ. මේ ආකාරයට එක් පැත්තකින් රාජ්‍යත්වය භේද භින්නවලින් පිරිහීමට ලක්වුණි.

තවත් පැත්තකින් ලෝකයේ පළමුවැනි වතාවට වාපී සංස්කෘතිය ආරම්භ කරන්නේ අපේ රටේ ය. ඒ පණ්ඩුකාභය රජ දවස අභය වැව නිර්මාණය කිරීමත් සමඟ ය. මල්වතු ඔය හරහා වළවේ ගඟ ඔස්සේ අපේ ශිෂ්ඨාචාරය ආරම්භ කර තිබුණි. ඒ නිසා මිහිඳු සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීමට මිහිඳු මා හිමියන්ට පහසුවක් වුණි. සිංහල ජාතියේ සංවිධායකයාණන් මිහිඳු මහ රහතන් වහන්සේ බව අප කියන්නේ ඒ නිසයි. උන්වහන්සේ වෙන් ව, කොටස් ව, ගෝත්‍ර අනුව තැන තැන සිටි බුද්ධිමත් ජනතාව සංවිධානය කළහ. පිළිවෙළකට මතු කළහ. ඒ පිළිවෙළ සඳහා උන් වහන්සේ අපට බෝ හාමුදුරුවන් වහන්සේ හඳුන්වා දුන්හ. අපේ මුළු ශ්‍රී ලංකාව ම එකතු වුණේ බෝධීන් වහන්සේ රෝපණය කළ දිනයේ ය. එහි දී සියලු ම ප්‍රදේශවල සිටි ගෝත්‍ර නායකයින් එක් රැස් වී තිස්ස රජතුමාගේ නායකත්වය පිළිගෙන, ඒක ඡන්දයෙන් එක ම ධජයක් යටතට පැමිණියහ. එය මිහිඳු මහරහතන් වහන්සේගේ දක්ෂතාවක ප්‍රතිඵලයකි.

ඊළඟට උන්වහන්සේ අපේ භාෂාව විධිමත් කළහ. අපට හොඳ හෙළ බසක් තිබුණි. ඒ හෙළ බසට අවශ්‍ය කරන අක්ෂර මාලාවක් සකස් කර දීමට උන්වහන්සේ කැප වූහ. හෙළ බස මුල් කොටගෙන ත්‍රිපිටකය හෙළ බසට නැගුණි. හෙළ බසින් අටුවා නිර්මාණය වුණි.

ඒ වගේ ම අරිට්ඨ හාමුදුරුවෝ පැවිදි කොට මේ රටේ සංඝ සමාජය ආරම්භ කළහ. ඒ තුළ හෙළ සංස්කෘතිය ක්‍රමවත් කළහ. ඒ ක්‍රමවත් කිරීමට උන්වහන්සේ භාවිත කළ මෙවලම් ඉතා වටිනාකමින් යුතු ය.

අල්පේච්ඡ බව ඉන් ප්‍රධාන ය. රහතන් වහන්සේ විශාල පිරිසක් සමඟ උන්වහන්සේ සැතපුණේ මිහින්තලාවේ ගල්ගුහා තුළය. මිහිඳු ලෙන නැරඹූ විට අදත් අපට එය විද්‍යමාන වේ. එහි දී උන්වහන්සේ ජනතාවට ඉගැන්වූයේ භික්ෂූන් වහන්සේ කියන්නේ සුබර පිරිසක් වන බව ය. පෝෂණය කිරීමට අපහසු පිරිසක් නොවන බව ය.

අනෙක් පසින් උන්වහන්සේ හෙළ ජාතියට අල්පේච්ඡතාවය ලබා දුන්හ. ලැබෙන දෙයින් සොම්නසට පත්වෙන්නට, වුවමනාවන් පසුපස නොදුවන්නට ඉගැන්වූහ.

ඒ සමඟ උන්වහන්සේ මේ ජාතිය සංවිධානය කළහ. අපේ රටට පිටතින් නොගැනීමටත්, ලෝකයට දිය හැකි දේ ත් නිර්මාණය කළහ. උන්වහන්සේ අපට ධජයක් නිර්මාණය කළහ. මිහිඳු මා හිමියන් මෞර්ය වංශිකයෙකි. උන්වහන්සේට තිබුණේ මොණර සලකුණ ය. එහෙත් අපට ලබා දුන්නේ සිංහ ලාංඡනයයි. උන්වහන්සේ අප වෙනම ජාතියක් ලෙස සංවිධානය කළහ. ඒ සඳහා වෙනම හේතුවක් තිබුණි. බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණ මංචක මොහොතේ දී ආශිර්වාද ලබාගෙන ආ විජය කුමරු වැනි අයගෙන් ලැබුණු කතන්දර ය. ඒ සිංහ කතාව ය. ඊට එහාට ගිහින් මිහිඳු හාමුදුරුවෝ එය අර්ථවත් කළහ.

බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ සිටි සිංහ රාජයාණන් වහන්සේ ය. උන්වහන්සේ සැතපුණේ සිංහ ස්‍යොවෙනි. පැවැත්වූයේ සිංහ නාදය. උන්වහන්සේ තුළ තිබුණේ සිංහ දහමකි. ඒ නිසා තමයි අශෝක අධිරාජයා බුදු රජාණන් වහන්සේ සංකේතවත් කිරීමට සිංහ ලාංඡනය භාවිත කළේ.

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණ අටමස්ථානය සලකුණු කොට මෙතැන මහා දාගැබ ඉදිවන්නේ ය. මෙතැන බෝ හාමුදුරුවෝ රෝපණය වන්නේ ය. මේ ආදී වශයෙන් මේ තාත්වික නිර්මාණ කළේ තනිකරම ඉදිරියට දෙපා තබාගෙන වාඩි වී සිටින සිංහයකුගේ රූපය සැකසෙන ලෙසට ය.

උන්වහන්සේ ලක් සමාජය විධිමත් ව සංවිධානය කිරීමට සඟමිත් රහත් තෙරණිය ඇතුළු කොට දහ අට ශ්‍රේණියක පිරිසක් ශිල්ප, ශාස්ත්‍ර, ශ්‍රේණි ලෙස ගෙන්වා ගෙන ඒ අයගෙන් මේ දේශය සංවිධානය කළහ. රාජ්‍ය පාලනය ක්‍රමවත් කළහ.

ගංගානම් ගඟේ ජලය සහිත ව ධර්මාශෝක අධිරාජයා මගින් ඒ ක්‍රමවත් අභිෂේකයට අවශ්‍ය කරන රාජ්‍ය උපකරණ ගෙන්වා අපේ තිස්ස රජතුමාට “දේවානම්ප්‍රිය” යන ගෞරව නාමයක් ලබා දී එතුමා සියලු දෙනාගේ ම නායකයා හැටියට පත් කළහ. ඒ නැවත ප්‍රශ්න, ගැටලු ඇති නොවන ආකාරයට ය. ඒනිසා රාජ්‍යත්වය, පිළිබඳව, දේශපාලනය පිළිබඳ ව ලෝකය අයන්න ආයන්න නොකිය වූ කාලයේ අපේ දේශය තුළ සැබෑ විදිහට එය ක්‍රමවත් ව ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල උන්වහන්සේ සකස් කළහ.

වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, නිල්වන් ගොයමයි, කහ සිවුරයි යන සංකේතය ලබාදුන්හ. වැව තුළින් කෘෂිකාර්මික ආර්ථිකය ගොඩනැගූහ. දාගැබ, පන්සල ඔස්සේ සම්පූර්ණයෙන් ම අපේ සංස්කෘතියේ තිබෙන්නා වූ සාර ධර්ම ආරක්ෂා කර දුන්හ. කුඹුර ඔස්සේ අපේ ආහාර වේල සකසා ලෝකය ජය ගන්නට හැකි ලෙස සකස් කළහ. ඒ විතරක් නොවේ. අපේ චීවරය මේ ජාතියේ මුර දේවතාවා බවට පත්කළහ. පිරිවෙන් අධ්‍යාපනය අරඹා ඒ තුළින් මේ දේශයම ගොඩනැඟූහ.

ආයුර්වේදය, නක්ෂත්‍රය, තාරකා ශාස්ත්‍රය එදා ලෝවා මහා ප්‍රාසාදයේ නව වැනි මහලේ තිබුණේ ආකාශ වස්තූන් පරික්ෂා කරන පරීක්ෂණාගාරයකි. ඒ තත්ත්වයට ගෙන එන්නට උන්වහන්සේ ශක්තිය ලබා දුන්හ.

උන්වහන්සේ මේ සමාජයට ගෙන දුන් ලස්සන පණිවිඩයක් තිබේ. ඒ පොළොව බාර නොගන්නා කිසිදෙයක් පොළොවට ලබා නොදෙන ලෙස ය.

කාලමහා ප්‍රාසාදය අපේ පළමු පිරිවෙන ය. එය හැදුවේ මැටි ගසා ය. එය පොළවට ඉල්ලන දේ ය. මේ දේශය තුළ යමක් ඉදිකළා නම් ඒ සියල්ල ම මේ මහපොළොවට පස්වන දේ ය. ඒ නිසා තමයි රජ කාලයේ මහා මාළිගා අද දකින්නට නොලැබෙන්නේ.

අපට ලෝකයෙන් ගෙන එන්නට කිසි දෙයක් නැත. එහෙත් ලෝකයට අපෙන් ගෙන යන්නට දේ ඇත. නානකාමර සංකල්පය ලෝකය හඳුනා ගන්නේ අනුරාධපුරයෙනි. මිහිඳු සංස්කෘතිය තුළ වැසිකිළි හා කැසිකිළි එකක් නොව දෙකකි. ඒ අනුව මළ පහවල සිටින පණුවාටවත් මැරෙන්නට ඉඩ දුන්නේ නැත. මේ ක්‍රමවත්, විධිමත් ඒ වැසිකිළි ගල් අදත් අනුරාධපුරයේ දක්නට ලැබේ. ඒ වගේ ම පිරිසුදු ජල පරිහරණ ක්‍රම, ජලපෙරණ හඳුන්වාදුන්හ. ලෝකය මේවා අරගත්තේ ය. අමෙරිකාවේ නාසා ආයතනය එදා අතීත සිංහලයන් ගොඩනැගූ දේ, මිහිඳු යුගයේ තිබුණු දේ ගැන පවා පරීක්ෂණ කොට ඔවුන්ගේ දේට යොදා ගත්හ. ඒ නිසා අපට තිබෙන්නේ තව දුරටත් ලෝකයට දෙන්නට ය.

මේ රටට සෙසු පිරිස් පැමිණෙන්නේ බුද්ධ ධර්මය දකින්නට ය. ඉගෙන ගැනීමට ය. ඒ නිසා ඒ බුද්ධ ධර්මය ආරක්ෂා කොට, හොඳින් පිළිපදින ආදර්ශමත් ජාතියක් බවට අපට පත් වෙන්නට හැකි නම් සැබෑ ලෙස ම මිහිඳු හිමි සමරන සංස්කෘතියක් සමාජයෙහි ස්ථාපිත කළ හැකි වනු ඇත.

එදා මිහඳු මහරහතන් වහන්සේ මේ බිමේ අවිහිංසාව පැතිරූහ. දුසිල්ව සිටි අය සිල්වත් කළහ. අශීලාචාර ව සිටියා නම් කෙනෙක් ශීලාචාර කළහ. භක්තිය මත කෙනෙක් සිටියා නම් සැදැහැවතෙක් බවට පත්කළහ. ඒ වගේ ම මෝඩ තීරණ ගන්නා කෙනෙක් සිටියා නම්, නැණවතෙක් කළහ. අපට යන්නට තිබෙන්නේ ආපස්සට මිස ඉදිරියට නොවේ. මෙය අතීත කාමය නොවේ. අනුරාධපුරයේ යුගයට ගමන් කළේ නම් නැවත අපේ රට මේ ලෝකය තුළ මුතු ඇටයක් බවට, ධාන්‍යාගාරයක් බවට, ධර්මද්වීපයක් බවට පත්වනවාට කිසිදු සැකයක් නැත.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]