[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරිසර හිතකාමී දේශයක ඇරඹුම

පරිසර හිතකාමී දේශයක ඇරඹුම

අසිරිමත් පොසොන් පොහෝ දිනයක සිදු වූ මහින්දාගමනය ලක් ඉතිහාසයේ විශිෂ්ටතම සංධිස්ථානයකි.ජාතියක ප්‍රෞඪත්වයේ, දේශයක අභිමානයේ ඇරඹුමකි.

බ්‍රාහ්මණ ආගම ප්‍රධාන කොටගත් ජෛන, පරිබ්‍රාජක, ආජීවක, තාපස වැනි ශ්‍රමණ ඉගැන්වීම් පමණක් නොව වෘක්ෂ, ඉර,හඳ,තාරකා, අග්නි ආදී වූ පෙනෙන, නොපෙනෙන, බලවේග දේවත්වයෙහි ලා සැලකූ ලාංකේය ජන සමාජය මිථ්‍යා මතවලින් මුදවාගෙන අඳුරෙන් අඳුරට නොව ආලෝකයෙන් ආලෝකයට යන සිරි සදහම් මාවත අනුබුදු මිහිඳු මා හිමියෝ ලාංකේය ජන සමාජයට පෙන්වා දුන්හ. උන්වහන්සේගේ ආගමනය ලක් දෙරණට පෑයූ පූර්ණ සූර්යයා ලෝකයක් බඳු විය. ඒ සදහම් ආලෝකය තුළ ‘තමන්ගේ විමුක්ති දායකයා තමා ම ය යන උතුම් දහමට අනුව සමාජය වෙනස් විය. රාජ්‍ය නායකත්වයේ අනුශාසකයා බවට පත්වූයේ භික්ෂූන් වහන්සේ ය. ඒ අනුව සතර සංග්‍රහ වස්තුවලට අනුගත ව, සතර අගතියෙන් තොරව, දස රාජ ධර්මයෙන් හා පංච ශීල ප්‍රතිපදාවෙන් යුතු ව , දස සක්විති වත්, සිව් බඹ විහරණ ධර්මයන් ප්‍රගුණ කරමින්, සප්ත අපරිහානීය ධර්ම ආදී බුදු දහමේ ඉගැන්වෙන ධර්මෝපදේශයන්ට අනුගත ව රාජ්‍ය පාලනයක් මෙරට ස්ථාපනය විය.

බොදු මග ගිය නරපතීහු තමන්ගේ දිවි පරදුවට තබා සම්බුදු දහමත්, ලක් දෙරණත් ආරක්ෂා කරගත් හ. දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂකයා රජු වශයෙන් පිළිගැනීමට මෙරට වැසියෝ පෙළඹුණේ ද ඒ නිසා ම ය.

රජු අනුව ගිය ජනතාව තුළ ද දයාව, කරුණාව, ඉවසීම, මව්පිය වැඩිහිටියන් සැලකීම, ඔවුනොවුන්ට ගෞරවය කිරීම, වෛරය – ක්‍රෝධය වෙනුවට මෛත්‍රී සහගත සිතිවිලි වර්ධනය කිරීම, ත්‍යාගශීලි වීම, පස්පව් නොකිරීම, අල්පේච්ඡ වීම, සරල දිවි පෙවෙත තුළ පවට ලජ්ජා බිය වීම ආදී ගුණධර්ම වර්ධනය විය. උතුම් ගුණධර්මවලින් සපිරි ආධ්‍යාත්මික ජන සමාජයක් නිර්මාණය වුණි.

එදා දේවානම්පියතිස්ස රජතුමා විසින් මුළු අනුරාධපුරය ම ඇතුළත් වන පරිදි සිය මඟුල් ඇතුන් ලවා අද්දවා, රන් නඟුලකින් තමන් විසින් ම මායිම් නගා, අතපැන් ගන්වා මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා මහමෙවුනාව පූජා කළ බව මහාවංශයේ දැක්වේ. පසු කලෙක මහා විහාරය නමින් ලොව පසිඳු වූයේ මහමෙවුනා උයනෙහි පිහිටි ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි සෑ රදුන්, ඇතුළු මහා සිද්ධස්ථාන ආශි‍්‍රත ව පැතිරී ගිය භූමිය යි.

මහා විහාරය භික්ෂු අධ්‍යාපනයේ ද කේන්ද්‍රස්ථානය විය. පිරිසුදු ථේරවාදී බුද්ධ ධර්මය රට පුරාම ව්‍යාප්ත වූයේ මහාවිහාරය කේන්ද්‍ර කරගෙන ය. ලාංකේය රජ දරුවන් හා මහා විහාරයීය භික්ෂූන් වහන්සේලා අතර වූයේ බිඳිය නොහැකි සම්බන්ධතාවයකි. ඒ තුළ නිර්මාණය වූ පසුබිම ලාංකීය සමාජයේ සුරක්ෂිත බවට ම හේතු විය. රජුන් පත් කිරීම, උපදෙස්දීම, ලක් දෙරණ සම්බුදු සසුනට පූජා කිරීම රටට, ජාතියට සම්බුදු දහමට එරෙහි ව යම් බලවේගයක් වේ නම් මූලිකත්වය ගෙන කටයුතු කිරීම පූජනීය වස්තු මුල් කරගෙන මහා පෙරහර පූජෝපහාර පැවැත්වීම ආදී සුවිශේෂ අවස්ථාවන් හි දී භික්ෂූන් වහන්සේ ප්‍රධානත්වය ගත් හ.

භික්ෂූන් වහන්සේගේ අවවාද, අනුශාසනා ලැබ ආධ්‍යාත්මික ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වූ සිංහල ජන සමාජය තුළ විශිෂ්ට සාහිත්‍ය කලාවන්ගෙන් යුතු සංස්කෘතියක් ද බිහිවිය. සාගරය පරදවන මහා වැව් නිර්මාණය තුළ රට කෘෂිකර්මාන්තයෙන් ද පෝෂණය විය. ගෘහ නිර්මාණය, මූර්ති කැටයම්, වෙහෙර විහාර ඇතුළු ලෝකයක් විස්මිත කරවන කලා නිර්මාණ මිහිඳු සංස්කෘතියේ ප්‍රතිඵලයන් ය.

මෙවර පරිසර දිනය යෙදී තිබෙන්නේ ද පොසොන් පොහෝ දා ය. බොදු ජන ජීවිතයත්, පරිසරයත් අතර ඇත්තේ වෙසෙස් සම්බන්ධතාවකි.

සැබෑ බෞද්ධයා කිසිවිටෙකත් ගහ කොළට, ඇළට දොළට, සතා සිවුපාවාට හානිවන කවර හෝ කාර්යයක නිරත නොවන්නේ ය. තමන් නිසා පරිසරයත්, පරිසරය නිසා තමනුත් ආරක්ෂාවන බව හේ දනී. අද ලෝකයක් මුහුණ දෙන කොරෝනා වයිරසය වැනි භයානක රෝග උවදුරු ලෝකය පරිසරයට එරෙහි වීමේ , පරිසරය ඉක්මවා යාමේ ප්‍රතිඵලයන් ය. එහෙයින් මිහිඳු හිමි සමරන මේ උතුම් පොහෝ දිනයේ අපි අපේ පරිසරය රැක ගැනීම පිළිබඳව ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]