[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු මා හිමියන්ගේ වැඩමවීම ප්‍රෞඪ ශිෂ්ටාචාරයක ආරම්භයයි

මිහිඳු මා හිමියන්ගේ වැඩමවීම ප්‍රෞඪ ශිෂ්ටාචාරයක ආරම්භයයි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සමරන්නේ ‘ආරෝග්‍ය පරමා ලාභා’ නිරෝගී බව පරම ලාභය වන්නේ ය යන සම්බුදු වදන තේමා කර ගනිමිනි.

" අපේ රටේ රෝග උවදුර පාලනය කර ගනිමින් සිටින අවස්ථාවක දී වුව අනුබුදු මිහිඳු මා හිමියන් වෙනුවෙන් පූජෝපහාර දැක්වීම පිණිස පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද, මිහින්තලා පුදබිමේ පැවැත්වෙන එම පින්කම් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ පින්බර සහභාගිත්වය ද සම්බුදු දහම උදෙසා රාජ්‍ය නායකත්වයේ ආදර්ශය කෙසේ විය යුතුද යන්න ගම්‍ය කරන්නකි. වෙසෙසින් ආගමට දහමට මුල්තැන දෙන මෙවැනි නායකත්වයක් ලැබීම ද බෞද්ධ ජනතාව ලද භාග්‍යයකි."

ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනෙක මිහිඳු මා හිමියන් ලක්දිව මිහින්තලාවට වැඩම කළේ ප්‍රෞඪ ශිෂ්ටාචාරයක ආරම්භය සනිටුහන් කරමිනි.

ලක්වැසියන් තුළ මහා ආධ්‍යාත්මික විප්ලවයක්, බුද්ධි ප්‍රබෝධයක් ඇති කරමින් එදා මිහින්තලාවෙන් ලක්දිව සිසාරා දම් අමා ගඟ ගලා ගියේ ය. මිථ්‍යා විශ්වාසයෙහි ගිලුණු ජන ජීවිතය ලොව්තුරු සදහම් එළියෙන් ආලෝකවත් ව ධාර්මික වූයේ ය.

උතුම් තෙරුවන් සරණ හැර අන් සරණක් නො වන බව වටහා ගත් සිංහලයෝ ජීවිතයේ සෑම සියලු කටයුත්තක දී ම තෙරුවන්ගේ ආශිර්වාදය ලබා ගත්හ. වැවයි – දාගැබයි , ගමයි පන්සලයි කහ සිවුරයි සංකල්පය තුළ නිර්මාණය වූ අපූර්ව සංස්කෘතිය ලෝකයක් පුදුම කරවීමට සමත් විය. ධර්මාලෝකයෙන් ප්‍රභාවිත වූ ශ්‍රී ලංකාද්වීපය ධර්මද්වීපයක් ලෙසින් මෙන් ම, පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් ද ලොව කීර්තියට පත්විය. අදත් අප තුළ ආඩම්බරය දනවන කලා ශිල්ප, ගෘහ නිර්මාණ ශිල්පය, වාරි තාක්ෂණය, භාෂා සාහිත්‍ය ආදී සංස්කෘතිකාංග සම්බුදු දහමින් පෝෂිත වූ මා හැඟි නිර්මාණයන් ය. එදා මිස්සක පව්වේ දී මිහිඳු මහ රහතන් වහන්සේ තිස්ස නිරිඳුට ධර්මය දේශනා කිරීමත් සමඟ එම පුණ්‍ය භූමිය ලෝකයේ ප්‍රථම අභය භූමිය බවට පත්වුණි. පළමු ආරම පූජාව, උතුම් පැවිද්ද, උපසම්පදාව, පළමු වස් විසීම සිදු වූ පුණ්‍ය භූමියට බවට පත්වුණි. ඝන කැලෑවෙන් වැසීගිය ගල්ලෙන් සිත් දැහැන් ගත කරවන අලංකාර විහාර මන්දිර බවට පත්වුුණි. දහස් ගණන් රහතන් වහන්සේ වැඩ සිටි පූජා භූමියක් බවට පත්වුණි.

රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ , ලංකාවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරය, පුද පූජාවන් හිමිවන , අසිරිමත් පින්කම් සංවිධානය වන පුණ්‍ය භූමියක් බවට පත්වුණි.

අනුබුදු මිහිඳු මා හිමි ගුණ සමරමින් විශේෂයෙන් ඈත අතීතයේ පටන් අද දක්වාත් රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු ලක්වැසි ජනතාව මිහින්තලා පුදබිමෙහි මහා පින්කම් සංවිධානය කරමින් මිහිඳු මා හිමියන්ට ගෞරවයෙන් යුතුව පූජෝපහාර දක්වන්නේ උන්වහන්සේ හෙළ ජන හදවත්හි ජීවමාන ව වැඩ සිටින නිසා ය.

වර්තමානයේ උදා වී තිබෙන කොරෝනා උවදුර විසින් ලෝකයේ බොහෝ රටවල් බිලි ගනිමින් සිටිය දී. මේ පුංචි රටේ එම රෝග උවදුර පාලනය කර ගනිමින් සිටින අවස්ථාවක දී වුව අනුබුදු මිහිඳු මා හිමියන් වෙනුවෙන් පූජෝපහාර දැක්වීම පිණිස පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද, මිහින්තලා පුදබිමේ පැවැත්වෙන එම පින්කම් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ පින්බර සහභාගිත්වය ද සම්බුදු දහම උදෙසා රාජ්‍ය නායකත්වයේ ආදර්ශය කෙසේ විය යුතුද යන්න ගම්‍ය කරන්නකි. වෙසෙසින් ආගමට දහමට මුල්තැන දෙන මෙවැනි නායකත්වයක් ලැබීම ද බෞද්ධ ජනතාව ලද භාග්‍යයකි.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සැමරෙන්නේ ‘ආරෝග්‍ය පරමා ලාභා’ නිරෝගී බව පරම ලාභය වන්නේ ය යන සම්බුදු වදන තේමා කර ගනිමිනි.

නිරෝගී බවත්, පරිසරයත් සමඟ ඇත්තේ ද සුවිශේෂී සම්බන්ධතාවයකි. දූෂිත පරිසරය මානව ප්‍රජාවගේ නිරෝගී බවට තර්ජනයකි. අද ලෝකය මුහුණ දී සිටින කොරෝනා උවදුර ද දීර්ඝ කාලයක් පුරා මිනිසා පරිසරය අමතක කරමින් පරිසරයට එරෙහි වීම නිසා ලද දඬුවමකි. මෙවර ලෝක පරිසර දිනය යෙදී තිබෙන්නේ ද පොසොන් පෝය දිනය යෙදුණු අද දිනයේ ය.

පරිසරය රැක ගැනීමේ අගය බෞද්ධ ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු දෙයක් නොවේ. මිහිඳු මහ රහතන් වහන්සේ ඒ පාඩම අපට මුලින් ම කියා දුන්නේ ද මේ පුණ්‍ය භූමියේ දී ය.

මුව දඩයමේ ගිය තිස්ස රජුට මිහිඳු මා හිමියන් දේශනා කොට වදාළේ ඔබ මේ භූමියේ අයිතිකරු නො ව බාරකරු පමණක් බවයි. අහසේ , පොළොවේ, ජලයේ ජීවත්වන සියලු අපා, දෙපා, සිව්පා, බහුපා සතුන් ඇතුළු සමස්ත පරිසරයේ ම ආරක්ෂකයා වන බවයි. ගහට- කොළට , ඇළට – දොළට, හමායන මදනලට, සතා සීපාවට සංවේදී වීමේ, ආදරය, කරුණාව දැක්වීමේ, හා රැකවරණය සැලසීමේ අගය අපේ හදවත් තුළ රෝපණය කළෝ අනුබුදු මිහිඳු මා හිමිපාණෝ ය.

දහමට අනුගත නො වන අදහැමි දනන් වෙතින් වන පරිසර විනාශය වළක්වා මේ ලක් දෙරණ සුරක්ෂිත කර ගැනීම ද අප සතු වගකීමකි. විශේෂයෙන් ‘බෞද්ධ සංස්කෘතිය අනුව යමින් අප හැදී වැඩී තිබෙන්නේ ආධ්‍යාත්මික ගුණ ධර්මයන්ට මුල් තැන දෙමිනි. කළගුණ සැලකීම, අසරණයන්ට පිහිට වීම, අන්‍යෝන්‍ය උපකාරය, මානව හිතවාදී බව, බුදු දහමින් අප ලද දායාදයන ්ය. ඒ දායාදයන් රටක වඩාත් සුරක්ෂිත වන්නේ ද දැහැමි රාජ්‍ය නායකත්වයක් තුළ දී ය. පෙර රජදරුවෝ ආදර්ශයෙන් ම එය පසක් කළ හ.

වර්තමානයේ ලොවක් භීතියට පත් කළ කොරෝනා වයිරස උවදුර අවස්ථාවේ සමස්ත රට වැසියන් තම දරුවන් සේ සලකමින් ඔවුන් ආරක්ෂා කර ගන්නට, පිහිට විය යුතු අයට පිහිට වන්නට අපේ රාජ්‍ය නායකත්වය කටයුතු කිරීම අගය කළ යුතු ය. ජාතිය ආරක්ෂා කරගනිමින් , දසරාජ ධර්මයෙන් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා ද සුවිශේෂි වේ. මිහිඳු මා හිමියන් සම්බුදු දහම අනුව බලාපොරොත්තු වූයේ ද රටේ පාලකයා දසරාජ ධර්මයෙන් යුතුව දැහැමිව රාජ්‍ය පාලනය ගෙන යනු දැකීම ය.

එසේම භයානක වසංගත රෝගයක් හමුවේ වුව ද බාධක මැඩ ගනිමින් ලේක්හවුස් ආයතනය මෙවර 58 වැනි වරටත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පින්කම පැවැත්වීම ද මා හැඟි ය.

1963 වසරේ දී ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උදාරතර සංකල්පයකට අනුව මිස්සක පව්වට විදුලි ආලෝකය ලබා දීමේ පුණ්‍ය මහෝත්සවය ආරම්භ විය. එසේ ආරම්භ වූ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව කවර බාධා පැමිණිය ද වසරක් පාසා, අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ලේක්හවුස් ආයතනයට හැකිවීම ද ලක්වැසි බොදු දනන්ගේ භාග්‍යයකි.

බුද්ධ ශාසන අමාත්‍යංශය, ලංකා විදුලිබල මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, විවිධ ආයතන, දෙපාර්තමේන්තු ද, සංස්ථා, මණ්ඩල, ලංකා බැංකුව, ජාතික ලොතරැයි මණ්ඩලය , ඩයලොග් ආයතනය ඇතුළු විවිධ ආයතන මෙහිදී රාජ්‍ය පොසොන් පින්කම සාර්ථක කර ගැනීමෙහිලා විවිධාකාරයෙන් දක්වන සහයෝගය මෙහිදී සිහිපත් කළ යුතුම ය.

එමෙන් ම ගෝලීය වසංගතයක් හමුවේ එය ජයගන්නට ජනාධිපතිතුමාට ශක්තියක් වෙමින් කටයුතු කරන වෛද්‍යවරු ප්‍රමුඛ සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන සියලු දෙනාට ද, මේ උතුම් දිනයේ ආශිර්වාදය හිමි විය යුතුම ය.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]