[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොසොන් සඳේ සදහම් කිරණ

පොසොන් සඳේ සදහම් කිරණ

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දහම් පණිවිඩය අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ විසින් පොසොන් මස පුර පසළොස්වක පොහෝ දින ලක්වැසියන්ට හඳුන්වා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ආගමික ජාතික සංස්කෘතික සාමාජික හර පද්ධතීන් උරුම කරගනිමින් ලෝක ඉතිහාසය තුළ අභිමානවත් ගමනක් පැමිණ ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.

එනිසාම ධර්මද්වීපය ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග මහා ධාන්‍යාගාරය ලෙස පෙරදිග පමණක් නොව අපරදිග වාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වෙමින් සම්මානනීයත්වයට පත් වූ බව ඓතිහාසික මූලාශ්‍රය මගින් මැනවින් ප්‍රකට වී ඇත.

මිහිඳු මහරහතුන් වහන්සේ දේවානම් පියතිස්ස මහරජතුමා මුණ ගැසී කළ ප්‍රථම සාකච්ඡාව මෙහිලා අතිශයින්ම වැදගත් වන්නකි. උන්වහන්සේගේ ප්‍රමුඛ අභිලාෂය වන්නේ සතර වටින්ම මුහුදෙන් වටවුණ, සම ශීත හා ඌෂ්ණ දේශගුණයෙන් සමලංකෘත වූ, ඊශාන දිගින් හා නිරිත දිගින් වරින් වර අවශ්‍ය පරිදි වැසි ලැබෙන, තුරු ලතාදියෙන් විසිතුරු වූ, සුන්දර මිනිසුන්ගේ විහරණයෙන් සමලංකෘත වුණු මෙම දිවයින තුළ සම්බුදු දහම ස්ථාපිත කිරීමයි. එහිදී, ලක්වැසි ජනතාවට යමක් මැනවින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඥානය තිබේදැයි ධර්ම දේශනා කිරීමට ප්‍රථමයෙන් පරීක්‍ෂා කිරීම උන්වහන්සේගේ පළමු කාර්යය වූ බව පෙනේ.

ඒ අනුව මිස්සක පව්වේ දී මිහිඳු මාහිමියෝ අඹ පැනයෙන් - හා ඤාති පැනයෙන් රජතුමාගෙන් විමසීම ආරම්භ කළේ ඉහත කාරණාව සාක්‍ෂාත් කර ගැනිමේ අභිලාෂයෙනි.

අඹ පැනය හා ඥාති පැනය පිළිබඳ ඓතිහාසික පැරණි වාර්තාවක් අපට හමුවන්නේ සමන්තපාසාදිකා විනය අටුවාවෙහි බාහිර නිදාන වර්ගයේ ය. එසේම මහාවංසය හා දීපවංසයේ ද මේ පිළිබඳ විස්තරයක් ඇතුළත් වේ. සමන්තපාසාදිකා විනයට්ඨ කථාවේ එය සඳහන් වන්නේ මෙසේ ය.

“එ දවස්හි තාම්‍රපර්ණිදීපයෙහි පොසොන් පසළොස්වක දා මුලනක්ෂත්‍ර නම් නැකතක් වේ. රජතෙම නැකැත් ඝෝෂා කරවා උත්සව කරව් යයි ඇමතියන්ට ද අණකොට සතළිස් දහසක් පුරුෂයන් පිරිවර කොට ඇතියේ මුව දඩකෙළි කෙළිනු කැමැත්තේ නුවරින් නික්ම මිස්සක පර්වතය යම් තැනෙක්හි එතැනට ගියේ ය. ඉක්බිති ඒ පර්වතයෙහි අධිගෘහිත එක් දේවතාවෙක් රජහට තෙරුන් දක්වන්නෙම්යි රෝහිතමෘග වේශයක් ගෙන නුදුරු තැන තණ කන්නාක් මෙන් හැසිරේ. රජතෙම ඔහු දැක දැන් (තණ කෑමට) ප්‍රමාද වූ ඔහු විදින්නට අයුතු යයි දුනුදිය පෙළි. මුව තෙමේ අම්බස්තල මාර්ගයට පැමිණ පැන යන්නට පටන් ගත්තේ ය. රජතෙම පසු පස්සෙන් අම්බස්තලයට ම නැංගේ ය. මුව තෙමේ ද තෙරුන්ගේ නුදුරු තන්හි දී අතුරුදන් විය”

අනතුරුව රජතුමා සමග ඇතිවුණු ප්‍රශ්නෝත්තර සාකච්ඡාව පිළිබඳ අපගේ විශේෂ අවධානය යොමු විය යුතු ය.

මහරජ මේ ගස කුමක්ද?

ස්වාමීනි මේ අඹ ගසකි.

මහරජ මේ අඹ ගස හැර වෙනත් බොහෝ අඹ ගස් තිබේද?

ස්වාමීනි, මේ අඹ ගස හැර වෙනත් බොහෝ අඹ ගස් ඇත.

මහරජ, මේ අඹ ගස ද වෙනත් අඹ ගස් ද හැර වෙනත් ගස් තිබේද?

ස්වාමීනි වෙනත් බොහෝ ගස් ඇත. එහෙත් ඒවා අඹ ගස් නොවේ.

රජතුමනි වෙනත් අඹ ගස් ද, අඹ නොවූ ගස් ද හැර තවත් ගස් තිබේද?

ස්වාමීනි ඇත. ඒ මේ අඹ ගසයි.

මහරජ ඔබට ඤාතීහු සිටිත්ද?

ස්වාමීනි බොහෝ ඤාතීහු ඇත්තාහ.

මහරජ ඔබට ඤාතීහු හැර වෙනත් ඤාති නොවන අය සිටිත්ද?

ස්වාමීනි ඤාතීන්ට වඩා ඤාතී නොවන බොහෝ අය සිටිති.

මහරජ ඔබගේ ඤාතිහුත්, ඤාති නොවන අයත් හැර වෙනත් කිසිවෙක් සිටිත්ද?

ස්වාමීනි සිටිත්. ඒ මම ම වෙමි.

මෙම ප්‍රශ්න විසර්ජන අවස්ථා දෙකෙහි ම ඉතා වැදගත්ම අවස්ථාව අවසානයේ දී අසන ලද ප්‍රශ්නයයි.

ස්වාමීනි, වෙනත් අඹගස් ද අඹ නොවන ගස් ද හැර තවත් ගස් තිබේද?

යන පැනයට දෙවනපෑතිස් රජතුමා දුන් පිළිතුර වන්නේ ඇත ස්වාමීනි, ඒ මේ අඹ ගසයි.

ඥාති ප්‍රශ්නය ද එසේ ම ය.

මහරජ ඔබගේ ඥාතීනුත්, ඥාති නොවන අයත් හැර වෙනත් කිසිවෙක් සිටීද?

ඇත ස්වාමීනි, ඒ මම වෙමි. මෙම අසන ලද අවසන් ප්‍රශ්නයට බොහෝ දෙනෙක් පිළිතුරු නොමැතිව අන්ද මන්ද වී කල්පනාවේ නිමග්නව වික්‍ෂිප්ත වීමට ඉඩ ඇත. එහෙත් රජතුමා එක එල්ලේම, ක්‍ෂණිකව, නිවැරදි ම පිළිතුර ලබාදීමට සමත්වීම මිහිඳු මාහිමියන්ගේ අතිශය ප්‍රසාදයට හේතුවූවාට කිසිදු සැකයක් නැත. උන්වහන්සේ ලක්දිවට පැමිණීමේ ප්‍රධාන පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමට මඟ පෑදී ඇති බව ඉන් නිගමනය කරන්නට ඇත.

සොබා දහමත්, පරිසරයත්, සත්ව ලෝකයත්, කෙරෙහි අසීමිත ආදරයෙන් සෙනෙහසින්, ළෙන්ගතු කමින් බැඳී ගිය හෙළයන් යමක් පිළිබඳව පවතින සත්‍ය ඒ අයුරින්ම, දැඩි සංයමයෙන් යුතුව අවබෝධකර ගැනීමේ ඥානය ස්වභාවයෙන්ම ලබා ඇති බව උන්වහන්සේ මෙම සාකච්ඡාව අනතුරුව අවබෝධ කොට ගත්හ.

මිහිඳු මාහිමියෝ ඉහත සාකච්ඡාව මගින් පියවරෙන් පියවර රජතුමාගේ ඥාන කෝෂය සංස්පර්ශ කරමින් ලක්වැසියන් සතු තීක්‍ෂණ නුවණ නැමැති මන්දිරය මත බුදුදහමේ අසිරිමත් දහම් පණිවිඩය මැනවින් ස්ථාපිත කළහ.

පැරැණි සිංහල ජන සමාජය රජතුමා අනුව යමින් සකස් වී තිබූ බව ඉතිහාසය පරීක්‍ෂා කිරීමෙන් මැනවින් ප්‍රකට වේ. මෙහි ප්‍රතිඵලය වූයේ අනුබුදු මිහිඳු මාහිමියන් හඳුන්වා දුන් බුදු දහමට සියලු ලක්වැසියෝ අනුගතවීමයි. ගම්දනව් සිසාරා මහ මන්දිරවල ජීවත්වන රාජරාජ මහාමාත්‍යාදීන්ගේ සහ කුඩා අතු පැල්වල ජීවත් වන දුගී දුප්පත් සියලුදෙනා අතර ම මෙම නැවුම් දහම වැඩි කලක් නොගොස් ප්‍රචලිත වන්නට විය. මෙම යථාර්ථවාදී දහමේ මිහිර විඳීන්නට ලක්වැසියෝ යුහුසුළු වූහ. ජාතික ආගමික ශාසනික සංස්කෘතික සාමාජික සෑම අංශයකම අර්ථාන්විත හර පද්ධතීන් උරුම කරගනිමින් නැවුම් මාවතක් ඔස්සේ ගමන් කිරීමට හෙළයෝ සැදී පැහැදී කටයුතු කළහ.

අඹ පැනයත්, ඥාති පැනයත් රජතුමාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉවසීමෙන් හා විමසීමෙන් යම් ප්‍රශ්නයකට අදාළ ම නිවැරදි පිළිතුර සොයාගැනීමට අවශ්‍ය දැනුමත්, දෛනික ජීවිතයේ මුහුණු දෙන ගැටලුවලට සුදුසුම විසඳුම් සොයා ගැනීමට අවශ්‍ය ප්‍රඥාවත් හුරුපුරුදු කර වැඩි දියුණු කර ගනිමින් ලක්වැසියෝ ලොව අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටීමට සමත් වූහ.

එමනිසා අනුරාධපුර යුගයෙන් පටන් ගෙන පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක, මහනුවර යුග පසුකරමින් කොළඹ දක්වා පැමිණි මඟ විමසීමේ දී ලෝක ඉතිහාස කතාපොතේ ලක්වැසියන්ට සුවිශේෂ තැනක් හිමි වී ඇත. එකී සුවිශේෂත්‍වය හිමිවන්නේ මුදල ධනය පසෙක තබා ගුණයත්, දහමත් හිසමත තබාගෙන එය ආරක්‍ෂා කොට පෝෂණය කරමින් එයට අනුගත ව අභිමානවත් ගමනක් පැමිණීමට හෙළයෝ සමත් වූහ.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]