[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයට රැකවරණය සලසන කරණීය මෙත්ත සූත්‍රය

ජීවිතයට රැකවරණය සලසන කරණීය මෙත්ත සූත්‍රය

කරණීය මෙත්ත සූත්‍රයෙන් මෙලොවදී ම කෙනෙකුට ලබන්න පුළුවන් ආනිසංස රැසක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළා. අමනුෂ්‍යයන්ගෙන් පවා අතුරු විපත් ඇති නොවීමට, දෙවියන්ගේ රැකවරණය පිණිස, මනුෂ්‍යයන්ට ප්‍රිය බව ආදී වශයෙන් මෙත්තානිසංස සූත්‍රයෙන් මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස එකොළහක් ගැන සඳහන් වෙනවා.

එයින් දහයක් ම මෙලොවදී ම ලබන්න පුළුවන් ආනිසංස වෙනවා. ඒ නිසා ම බොහෝ පිරිස මෛත්‍රී භාවනාව, පුරුදු කරගන්න, උත්සාහ කළා.

අපේ පැරැන්නන් ඉතිහාසයේ සිටම, කටපාඩමෙන් උදේ සවස, තුනුරුවන් වැඳ නමස්කාර කර ‘කරණීය මෙත්ත සූත්‍රය’ සජ්ඣායනා කළා. මෙම සූත්‍රය පිරිතක් සේ භාවිත කළා සේ ම භාවනාවක් වශයෙන් ද දේශනාවේ සඳහන් ගුණාංග තම ජීවිතයට ඇතුළත් කර ගනිමින් පුරුදු පුහුණු කළා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ මෛත්‍රී භාවනාව යි. මෙම භාවනාව අප්‍රමාණ කර්මයට, මහග්ගත ක්‍රමයට දියුණු කරන ආකාරය කරණීය මෙත්ත සූත්‍රය තුළ සඳහන් වෙනවා. මුලින් ම මෙලෙස සඳහන් වෙනවා. ‘කරණීයමත්ථකුසලේන යං තං සන්තං පදං අභිසමේච්ච’ උතුම් ශාන්ත පදනමෙන් නිවන අවබෝධ කරගන්න කැමැති කෙනා ‘කරණීය’ කළ යුතු යි, ‘අත්ථකුසල ’ තමන්ගේ ජීවිතය තුළ කුසල් දහම් වර්ධනය කරගත යුතු යි යන්න යි. ‘යං තං සන්තං පදං අභිසමේච්ච’ යම් ශාන්ත පදයක් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ , ධර්මාවබෝධය නිවන අවබෝධ කරගන්න කැමැති කෙනා, මෙවැනි ගුණ ධර්ම ඇති කර ගත යුතුයි යනුවෙන් සඳහන් කරනවා.

මුලින්ම කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ කෙනෙක් තුළ ඇති කරගත යුතු ගුණ ධර්ම කිහිපයකි. පළමුවැන්න ‘සක්කො’ බොහොම දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙන්න. ‘උජූ ච’ අවංක කෙනෙක් බවට පත් වෙන්න. ‘සූජූ ච’ වඩාත් අවංක කෙනෙක් බවට පත් වෙන්න. ‘සුවච’ කීකරු කෙනෙක් බවට පත් වෙන්න. ‘මුදු අනතිමානී’ බොහොම නම්‍යශීලී කෙනෙක් , කුසලයට නැමෙන , බොහොම කරුණාවන්ත නම්‍යශීලී කෙනෙක්. ‘අනතිමානී’ බොහොම නිහතමානී කෙනෙක් බවට පත් වෙන්න.

‘සන්තුස්සකෝ ච සුභරෝ ච - අප්පකිච්චො ච සල්ලහුකවුත්ති

සන්තින්ද්‍රියෝ ච නිපකෝච’ මේ සෑම ගාථාවක ම සඳහන් වෙන්නේ ධර්මය අවබෝධ කරගන්න කැමැති ශ්‍රාවකයා තුළ ඇතිකරගත යුතු ගුණධර්ම යි. ‘සන්තුස්සකෝ ච’ ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න. ලැබූ දෙයකින් සතුටු වෙන්න කියනවා. ‘සුභරෝ ච’ යනු පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් බවට පත්වෙන්න යනු යි.

සමහර අය කෙතරම් දේ තිබුණත්, කෙතරම් කන්න බොන්න තිබුණත්, පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බොහොම සරල, චාම් ජීවිතයක් ගත කරන්න. ‘සුභරෝ ච’ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න . ‘අප්පකිච්චො ච’ වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙන්න යනුවෙන් සඳහන් කරනවා. ‘සල්ලහුකවුත්ති’ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙන්න. ‘සන්තින්ද්‍රියෝ ච’ බොහොම ශාන්ත, සංවර ඉන්ද්‍රියන් දමනය කළ කෙනෙක් බවට පත් වෙන්න. ‘නිපකෝච’ නිපක යනු තැනට සුදුසු නුවණ, එනම් උපක්‍රමශීලී නුවණ යි. ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයා අකුසලයෙන් වැළකී කුසලය කරා යන්න තමන් අනතුරු මඟ හරිමින් බුද්ධිමත් ව ප්‍රඥාවන්ත ව තමන්ට තැනට සුදුසු නුවණක් තිබිය යුතු යි. එය ‘නිපක’ නම් වෙයි. ‘අප්පගබ්භො’ වැඩ කටයුතු අඩු ‘කුලේසුඅනනුගිද්ධෝ’ තමන්ගේ කුලයන්හි අහංකාර නැති නිහතමානී කෙනෙක් බවට පත් විය යුතු යි.

මේ අනුව කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කළ ගුණ ධර්ම කෙනෙක් තුළ ඇති කරගත්තොත්, විශේෂයෙන් ම පැවිදි අයට වගේ ම ගිහි අයගේ ජීවිතවලටත් ඉතා ම වැදගත් ගුණ ධර්ම වෙනවා.

මෛත්‍රී භාවනාව පින අතර අග්‍ර ම පිනක්. විශේෂයෙන් මෙවැනි විපත්, ව්‍යසන ලෝකයේ පැතිරී යන යුගයක, තමන්ගේ පෙර පින මතු කරගත යුතු යි. කාගෙත් ජීවිතවල සංසාරයේ පුණ්‍යස්කන්ධ , පින් යටපත් ව තිබෙනවා. කෙනෙක් භාවනා කරන විට, පින් කරන විට, කුසල් වඩන විට, පෙර පින් එකතුවෙලා, මතුවෙලා බලවත් ව එනවා.

ඒ නිසා මේ කාලය තුළ ඔබ හොඳට ශීලයක පිහිටා විශේෂයෙන් කරණීය මෙත්ත සූත්‍රය තම ජීවිතයට එකතු කර ගන්න. ඔබ හොඳීන් කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරන්න. එහි තිබෙන ගාථාවල අර්ථය තම ජීවිතයට එකතු කර ගන්න. ගාථා අතර සඳහන් වෙනවා, කෙනෙකුට මෛත්‍රිය වඩන විට, සත්ත්වයන් ගැන වර්ගීකරණයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මෛත්‍රී භාවනාව කරන විට, මුලින් ම තමන්ට මෛත්‍රිය වඩා , ඊළඟට කෙනෙක් දිසා වශයෙන් , දස දිශාවට මෛත්‍රිය පතුරුවනවා. එවිට සත්ත්වයන් ගැන මෛත්‍රිය පතුරවන්න, ඒ සත්ත්වයන් ව සිතින් විග්‍රහ කර ගන්නවා.

කරණීය මෙත්ත සූත්‍රයේ එක ගාථාවක් ගෙන පුරුදු කළොත් ඔබේ ජීවිතයට විශාල පිනක් රැස්කරගන්න පුළුවන්. මේ සෑම ගාථාවක ම තියෙන්නේ වෛර කරන්නේ නැතිව, තරහක් , ක්‍රෝධයක් ඇති කරගන්නේ නැතිව, සියලු සත්ත්වයන් ගැනම මෛත්‍රී සිත පතුරුවන ආකාරය යි. මෛත්‍රිය වඩන විට, මෛත්‍රී කාය කර්ම, ඔබේ කය මුල්කරගෙන, ඔබ පන්සිල් රකිනවා කියන්නේ ඔබේ කයෙන් , වචනයෙන් ඔබ මෛත්‍රී සහගතව ජීවත් වෙනවා. මතක තබා ගන්න, මෛත්‍රිය භාවනාවක් වශයෙන් වඩන විට, ඔබට ඕනෑම ඉරියව්වක සිටියදී ,නින්දට යන තුරා මෛත්‍රිය වඩන්න පුළුවන්. කරණීය මෙත්ත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළේ, ‘තිට්ඨං චරං නිසින්නො වා - සයානෝ වා ...’ ඉඳගෙන සිටියදී , සිටගෙන සිටියදී, සෑම ඉරියව්වකදී ම මෛත්‍රිය වඩන්න යනුවෙන්.

කරණීය මෙත්ත සූත්‍රය පිරිතක් වශයෙන් සජ්ඣායනා කරන විට, විශාල ආශිර්වාදයක් ලැබෙනවා. හැබැයි, ඒ ආශිර්වාදය තම ජීවිතයට සිය දහස් ගණනින් එකතු කර ගන්න නම්, එහි පරිපූර්ණ රැකවරණය ලබන්න නම්, සජ්ඣායනයෙන් පමණක් නතර නොවී, එහි සඳහන් ගුණ ධර්ම ඔබේ ජීවිතය තුළ එකතු කර ගන්න. ඔබ මෛත්‍රී භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කරන්න. විශේෂයෙන් මේ කාලය තුළ, ඔබේ පවුලේ අයට , ගමේ අයට , නගරයේ, පළාතේ , මුලු රටේ ම, මුලු ලොවේ ම පිරිස මේ වසංගතයත් සමඟ බොහොම අසරණ භාවයට පත් වෙලා. ඒ සැවොම ගැන බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන් , සියලු දෙනා අරමුණු කරගෙන මේ සෑම දෙනාම නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! රෝගී වූ අය ඉක්මනින් සුවපත් වෙත්වා ! මෙලෙස සියලු සත්ත්වයන් අරමුණු කරගෙන හදවතින් ම මෛත්‍රී භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කරන්න. ඒ තුළ මේ ජීවිතයේ විශාල පිනක්, පින අතර අග්‍රම පින වන්නේ මෛත්‍රී භාවනාව යි. ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රය ඔබේ ජීවිතයට එකතු කරගෙන , ඔබේ ජීවිතයත් ගුණ ධර්මයන්ගෙන් දියුණු කරගන්න වාසනාව ලැබේවා!

 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]