[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාමයට සමඟියට ආචාර සමාචාර

සාමයට සමඟියට ආචාර සමාචාර

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අභිවාදන සීලිස්ස
නිච්චං වුද්ධා පචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණො සුඛං බලං
සිරි සුගත තථාගත අප සම්මා

"මිනිසා මිනිසාට ආචාර සමාචාර පැවැත්වීම සාමය, සමගිය, සන්තෝසය ඇතිවීමට, උදාර ශිෂ්ටාචාරවල බලය, ශක්තිය තහවුරු වීමට මහෝපකාරී වන්නේ ය. මෙය නිවන් අවබෝධය ලබාගන්නා තුරු කායික හා මානසික ශික්ෂණයට මූලික ආධාරයක් වන්නේ ය."

සම්බුදුරජාණන් වහන්සේ දඹදිව දීඝලම්බක නුවර ආරණ්‍ය කුටියක වැඩවසන සමයෙහි “දීඝායු” කුමරු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

දඹදිව දීඝලම්බක නුවර බමුණෙක් තවුස් රැකුමට වන වැදුණේ ය. අටසාළිස් වසක් තවුස්දම් පුරා යළි කුල පරපුර ආරක්ෂා කිරීමට බිරිඳක් සරණ පාවාගෙන කලක් ගතවන විට දරු සම්පතක් ලැබුණේ ය. දිනක් මෙම බමුණා හා බැමිණිය, එනුවර ආරණ්‍ය සෙනසුනක වැඩ සිටින බුදුරදුන් වැඳීමට පුතා ද රැගෙන පැමිණ බුදුන් වැන්දවිට “දීඝායුකොහොථ” දිගාසිරි වේවායි බුදුහු ආශිර්වාද කළහ. එහෙත් කුඩා දරුවා වන්දවනවිට එසේ කිසිවක් නොවදාළ සේක. එයින් සසල වූ බමුණා බුදුරදුන්ගෙන් එයට හේතු කාරණා විමසීය. මේ දරුවාගේ ආයුෂ හත්දිනක් පමණක් යැයි බුදුහු වදාළ සේක. දරුවා ජීවත් කරවීමට ගෙදර මණ්ඩපයක් කරවා හත්දිනක් නොකඩවා පිරිත් දේශනා කරවන්නට යැයි ද දක්වා වදාළ සේක.

දරුවා රැගෙන බමුණා හා බැමිණිය වහාම ගෙදර ගොස් ගෙදර පිරිසුදු කොට මණ්ඩපයක් තනවා මහ සඟුන් වැඩම කරවූහ. උන්වහන්සේ වඩා හිඳුවා හත් දිනක් සිඟිති දරුවාට පිරිත් දේශනා කරවී ය. සත්වැනි දින අප බුදුරජාණන් වහන්සේ ද වැඩම කළ සේක. දෙවියන්ගේ පැමිණීම ද සිදුවිය.

මේ කුමරු වෙසමුණු රජුගේ නියමයෙන් අවරුද්ධ නම් යක්ෂයාගේ බිල්ලට යටත් ව සිටි නමුත් බුදුරදුන් ප්‍රධාන මහා සංඝ රත්නයේ පිරිත් දෙසුමේ අනුහසින් එක්සිය විසිවයසට ආයු වර්ධනය විය. මෙසේ ආයුස වැඩුණු බැවින් “දීඝායුකුමරු” නමින් ප්‍රකට වූ වග බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. මෙම චරිත කතාවෙන් අප දැනගත යුතු කරුණු රාශියක් ඇත.

සිල්වත් ගුණවත් අයට පුණ්‍යත්වයෙන් සැලකීම, පූජ්‍ය පූජක සම්බන්ධය, එයින් ලබන ආධ්‍යාත්මික ශක්තිය, උදාර ශිෂ්ටාචාරයක ලක්ෂණ හා දෙලොව අභිවෘද්ධියයි

සිල්වත්, ගුණවත් වැඩිහිටියන්, මව්පියන්, ගුරුවරුන්, පැවිදි උතුමන් වන්දනා මානන, ගරු සරු කිරීමට ඉතා යෝග්‍ය වන්නේ ය. වඳින පුදනවිට ඒ අය කියන වදන්, පතන පැතුම් දූ දරුවන්ට ආරක්ෂාවක්, ආශිර්වාදයක් සැපතක් වන්නේ ම ය. පූජ්‍ය පූජක සම්බන්ධය පුද්ගලාන්තර ප්‍රගතියට අතිශයින් මහෝපකාරීවන අතර දෛනික ජීවිතයේ සියලු කාර්යයන් නිරවුල්වැ කරගෙන යාමට, ප්‍රතිඵල ගැනීමට මූලාධාර වන්නේ ය.

පූජකො ලභතෙ පූජං
වන්දකො පටි වන්දනං

යනුවෙන් දක්වා ඇති පරිදි පිදිය යුත්තන්ට හෙවත් පූජ්‍ය පක්ෂයට පූජකයන්ට හෙවත් පුදන අයට කලක දී එහි ප්‍රතිඵල වශයෙන් කෙසේ හෝ පූජ්‍යත්වය ලැබෙන්නේ ය. අපේ බෝධි සත්වයන් වහන්සේ අතිදීර්ඝ කාලයක් දීපංකර පාදමූලයේ පටන් සිදුකළ වැඳුම් පිදුම් සත්කාර සම්මාන අපමණ ය. ඒ මහා කුසලයන්ගේ ප්‍රතිවිපාක වශයෙන් ලොව්තුරා බුදු බව ලැබූ දා පටන් එදා මෙදා තුර ලැබූ පුද පූජාවන් මනුලොව කිසිම කෙනෙකුට ලැබී නැත. ලොව්තුරා බුදු කෙනෙකුන් පූජ්‍යත්වයෙන් උපරිම තලයට පැමිණෙන අතර, බුදුරදුන් අනුගමනය කරන ශ්‍රාවකයන් වහන්සේලා ද පූජ්‍යත්වයෙන් අති ශ්‍රේෂ්ඨයෝ ය.

පුදන්නාගේ ශ්‍රද්ධාවත්, පිදුම් ලබන්නාගේ අවංක හා කරුණා, මෛත්‍රී චේතනාවත් නිසා ම එයින් ලබන ආධ්‍යාත්මික ශක්තිය නිසා ආයුෂය, වර්ණය, සැපය, බලය වර්ධනය වන්නේ ය. ඒ නිසා ම ප්‍රඥාව ද වර්ධනය වන්නේ ය.

සුවිශේෂ වශයෙන් මිනිසා මිනිසාට ආචාර සමාචාර පැවැත්වීම සාමය, සමගිය, සන්තෝසය ඇතිවීමට, උදාර ශිෂ්ටාචාරවල බලය, ශක්තිය තහවුරු වීමට මහෝපකාරී වන්නේ ය. මෙය නිවන් අවබෝධය ලබාගන්නා තුරු කායික හා මානසික ශික්ෂණයට මූලික ආධාරයක් වන්නේ ය.

කෙනෙකුගේ දෛනික ජීවිතයේ කාර්ය ව්‍යවසායේ පටන් ලෞකික ලෝකෝත්තර ප්‍රතිපදාවන් හා ප්‍රතිඵල දක්වා ද, එමෙන් ම ලොව්තුරා බුද්ධත්වය ලැබීමට ද ආශිර්වාද වාඛ්‍ය අවශ්‍ය වන්නේ ය. කාලය, ස්ථානය, පුද්ගල සම්පත්තිය හා ආධ්‍යාත්මික ශක්තිය යන උපයෝගීතාවයන් සංයුක්ත වන්නේ නම්, ප්‍රාර්ථනයේ ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබාගත හැක.

තමන්ට වඩා වයසින්, ගුණයෙන් වැඩි අයට ගරුසරු කිරීමට ද මව්පියන්ට, කුල දේවතාවන්ට පූජ්‍යත්වයෙන් සැලකීමට ද, තමාගේ ජිවිතයේ දෛනිකව පවත්නා උතුම් සිරිතක් වශයෙන් ක්‍රියා කිරීමෙන් දෙලොව අභිවෘද්ධිය සලසා ගන්න.

ඔබ සැමට තෙරුවණ් සරණයි

 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]