[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උතුම් වූ බුද්ධ පූජාව

උතුම් වූ බුද්ධ පූජාව

බුදුරජාණන් වහන්සේ මේ ලෝක තුළ පහළ වූ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණෝ ය. උන්වහන්සේගේ ප්‍රමුඛ අරමුණ වූයේ සකල සත්වයින් සසර දුකින් එතර කරවීම ය.

ඒ උදෙසා උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය පණ්සාළිස් වසක් පුරාවටම දේශනා කළහ. එ තුළින් බොහෝ දෙනෙකු සසර කෙළවර නිවන් අරමුණු කර ගත්හ.

එයට වඩාත්ම සමීප වැඩපිළිවෙළ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ ආමිසය අභිබවා ගිය ප්‍රතිපත්ති පූජාව ය. ආමිසයට ප්‍රමුඛතාවය ලබාදීම තුළ බුදුරජාණන් වහන්සේ දේශිත සුන්දර වූ නිවිමේ මාර්ගය බොහෝ සෙයින් ආවරණය වී ඇත . බොහෝ දෙනෙකු නිවන් දකින්නට කැමැත්තක් නොමැත. එහෙත් නිවන තුල ලෞකික වශයෙන් යමක් ලබා ගැනිමට හැකිනම් එවැනි වූ නිවනක් ලබා ගැනීමට මිනිසුන් බොහෝ සෙයින් උත්සුක වනු ඇත .

සැබෑ බුද්ධ ගෞරවය හඳුනාගෙන බුදුරජාණන් වහන්සේට පුද පූජා පැවැත්විය යුතු ය. සැබෑ බුද්ධ ගෞරවය නම් සිදු කරනු ලබන පූජාව තුළින්ම සිත නිවනට අරමුණු කර ගැනීමය. බොහෝ දෙනෙකු සිතේ හටගත් අපමණ සද්ධාව හේතුවෙන් බුදුරජාණන් වහන්සේට දැක්විය හැකි ඉහළම ගෞරවය දැක්වීමට පෙළඹෙති. සැබෑ බුද්ධ පූජාවක් වීමට නම් අප විසින් එය කුමන ආකාරයකින් සිදු කළ යුතුද යන්නයි.

බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද සූත්‍රයේ දී දේශනා කරන ලද්දේ පින්වත් මහණෙනි ආමිසයට දායාද නොවී ධර්මයට දායාද වන ලෙස ය.

පින්වත් මහණෙනි ආමිසයට දායාද වීමෙන් පමණක් ඔබට බොහෝ චෝදනා ලබන්නට සිදුවේ. එසේම තථාගතයන් වහන්සේට ද චෝදනා කරනු ඇත . ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයින් ධර්මයට දායාද නොවී ආමිසයට දායාද වී කල්ගත කරයි යනුවෙනි. ආමිසයට දායාද වීම ශාස්තෘන් වහන්සේට ද අගෞරවයක් වන බව බුදුරජාණන් වහන්සේ ධම්මදායාද සූත්‍රයේ දී දේශනා කළහ.

ඔබ ඔබම පිළිබඳ මොහොතක් විමසන්න. ඔබේ ජීවිතය කෙතරම් දුරට ධර්මයට සමීප වී ඇත්ද ? භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත උතුම් නිවනින් ඔබ වෙන් කරනු ලබන සීමා රේඛාව කුමක් ද? ඔබෙ මනසට බොහෝ පිළිතුරු ගොඩනැගෙනු ඇත . ඇතැම් විට විහාරාංග දියුණු කිරිමට ඔබ ධනය, ශ්‍රමය,කාලය විශාල වශයෙන් කැප කරන ලද ශ්‍රාවකයෙක් බවට පත්වන්නට ඇත්ද? තවද බෞද්ධ ආචාර ධර්ම තුළ ගොඩනැගුණු මල් පූජා, දානමාන. බෝධි පූජා. අට විසි බුද්ධ පූජා කෙරෙහි ඔබේ ජීවිතය නිරන්තරයෙන්ම බැඳී පවතින්නකි. පරිපූර්ණ නිවන ඇවැසි ආර්ය ශ්‍රාවකයා විසින් ආමිසය තුළින් ප්‍රතිපත්තියෙහි උපයෝගිතාවය මතුකරගත යුතු ය.

ඔබ බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීමේදී මිහිරට කියනු ලබන ගාථාවෙහි ම අර්ථය නිවනට කමටහනක් බවට පත්කර ගත හැකි ය. පුප්ඵං මිලායාති යථා ඉදම්මෙ කායො තථායාති විනාසභාවං මේ මල් යම් සෙයින් මැලවි වියළී යන්නේ ද එ අයුරින්ම මාගේ ශරීරය ද විනාශයට පත්වන්නේ ය. එබඳු ආකාරයට ආමිසය තුළින්ම එයම කමටහනක් කොට ඔබට නිවනට සමීප විය හැකි ය.

පින්වත් මහණෙනි, මලින් සුවඳීන් ආදියෙන් පූජා කිරිම යහපත් ය. එහෙත් නිසිලෙස මා පුදන්නෝ මා දේශනා කරන ලද ධර්මානුධර්ම ප්‍රතිපත්ති අනුගමනය කොට නිවන අවබෝධ කරගන්නෝ ය. බුදුරජාණන් වහන්සේ මෙබඳු පැහැදිලි සිදුකරන ලද්දේ ඛේළුව නම් ගමෙහි චාපාල චේතිය අභියස ආයු සංස්කාරය අත්හළ අවස්ථාවේ දී ය. එනම් මරුගේ ආරාධනාවෙන් තෙමසකින් පිරිනිවන් පාන්නෙමියි උන්වහන්සේ ප්‍රකාශ කළ සේක. මෙ පුවත ඇසු රහතන් වහන්සේලා ධර්ම සංවේගය පහළ කළ සේක. එනමුත් පෘතග්ජන භික්‍ෂූන් වහන්සේලා හඬා වැළපෙන්නට වූහ මේ අවස්ථාවේ දී එක් භික්‍ෂූන් වහන්සේ නමක් එසේ නොකොට පැත්තකට වී භාවනාවේ යෙදී සිටියේ ය. අන් පෘතජ්ජන භික්‍ෂුන් වහන්සේලාට මෙය පෙනුනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලෙන්ගතුකමක්,දයාවක් නොමැති ව තමන්ගේ පාඩුවේ සිටින, ගුරුවරයා කෙරෙහි කිසිදු හැඟීමක් නොමැති අකෘතඥ පුද්ගලයෙකු ලෙස ය.

පෘතග්ජන භික්‍ෂූන් වහන්සේලා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළහ. ඔබ වහන්සේගේ පිරිනිවන්පෑම ගැන ඇසීමෙන් අපි බලවත් සේ කම්පාවට පත්වීමු අප ඔබ වහන්සේගේ සමීපයේ සිට සෝකය දරාගෙන සිටිමු . ඔබ වහන්සේගේ නික්ම යෑම අප කෙසේ ඉවසම් ද? එහෙත් එබඳු හැඟීමක් අර භික්‍ෂූන් වහන්සේට නොමැත. පැත්තකට වී හුදකලාව කල්පනා කරමින් බලා සිටි තථාගතයන් වහන්සේ මේ සියල්ල පිළිබඳ ව එහෙත් පෘතග්ජන භික්‍ෂූන් වහන්සේලාහට ධර්මාවවාදයක් ලබාදෙනු පිණිස එම භික්‍ෂූන් වහන්සේ කැඳවනු ලැබූහ. ධම්මාරාම නම් වූ එම භික්‍ෂූන් වහන්සේගේ හුදකලා බවට පිළිතුර වූයේ මෙවන් අදහසකි

" භාග්‍යවතුන් වහන්සේගේ දහම් අනුශාසනාවට අනුව භග්‍යවතුන් වහන්සේට කරන ඉහළම ගෞරවය උතුම්ම පූජාව නම් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය අනුව යමින් කළ යුතු පිළිවෙත් සම්පූර්ණ කරමින් අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා මාර්ගය ඔස්සේ සියලු දුක් කෙළවර කොට, සසර දුකින් නිදහස්ව චතුරාර්ය සත්‍ය අබබෝධයෙන් උතුම් අරහත් බෝධියට පත්වීම ය. එනම් සව් කෙලෙසුන් නැසිමයි. එනමුත් තවමත් මට එබඳු තත්වයකට පත්වන්නට නොහැකි විය. මෙ නිසා මා අවබෝධ කරගත් ධර්මයට අනුව මෙ අවස්ථාව තුළ ඔබ වහන්සේට සිදු කළයුතු උතුම්ම පූජාව ගෞරවය වන්නේ ඔබ වහන්සේ විසින් දේශිත විතරාගී වූ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනිම ය. ඒ සඳහා මා සම්මා වායාමෙන්,සම්මා සතියෙන්,සම්මා ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරමි. පිරිය යුතු පිළිවෙත් මාර්ගයේ ගමන් කරමි. මෙය වැරැද්දක්දැයි,නොකළ යුක්තක් දැයි ඔබවහන්සේ විසින් දේශනා කරන සේක්වා"

සාධු සාධු පින්වත් භික්‍ෂූව ඔබ මා වෙත නිසි ගෞරවය දක්වන භික්‍ෂුවක් වන්නේ ය.

 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]