[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිරෝගී ජීවිතයකට සෞඛ්‍ය පුරුදු

නිරෝගී ජීවිතයකට සෞඛ්‍ය පුරුදු

"පලතුරු, මල් උයන්, ගහකොළ, උද්‍යාන කරවීම සැමදාම පින් සිදු වන පින්කම් ලෙස බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. විශේෂයෙන්ම ජලය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව උන් වහන්සේ දේශනා කර තිබේ."

ලෝක ඉතිහාසයේ අප දන්නා කාල පරිච්ෙඡ්දය තුළ පහළ වූ ආගමික ශාස්තෘවරුන් අතර බුදු පියාණන් වහන්සේ තරම් පරිසරය පිළිබඳ ව දේශනා කළ, ආදර්ශයෙන් පෙන්නුම් කළ ශාස්තෘවරයකු නැත.

ගසක් සෙවණේ උපත ලබා, ගසක් යට සම්මා සම්බුද්ධත්වය ලැබ, ගසක් යට පිරිනිවන් පා වදාළ අප බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන් පරිසරයට ඇළුම් කළහ. ඊට ප‍්‍රිය කළහ. උන් වහන්සේගේ ජීවිතය නිරන්තරයෙන් ම ‘සබ්බ පාණ භූත හිතානුකම්පී’ විය. සියලූ සත්ත්වයන්ට, ගහ කොළවලට හිත සුව පිිණිසම විය. ගහ කොළ සතා සිව්පාවුන් කෙරෙහිත් මෛත‍්‍රියෙන් කටයුතු කළ යුතු බව උන් වහන්සේ ශ‍්‍රාවකයින් වහන්සේලාට ආදර්ශයෙන්ම පෙන්නුම් කළහ.

’වනං චින්දත මා රුක්ඛං’

කෙලෙස් නැමැති වනය සිඳින්න. එහෙත් ගස් නොකපන්න යනුවෙනි උන් වහන්සේ දේශනා කොට වදාළේ ,

උපසම්පදා භික්ෂුවකට ගසක් කැපීම, සිඳීම ඇවැතකි.

’ආරාම රෝපා වන රෝපා යේ ජනා හේතු කාරකා’

පලතුරු, මල් උයන්, ගහකොළ, උද්‍යාන කරවීම සැමදාම පින් සිදු වන පින්කම් ලෙසයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ. විශේෂයෙන්ම ජලය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව උන් වහන්සේ කෙතරම් සැලකිල්ලක් දැක්වූවාද යත් භික්ෂූන් වහන්සේ නමක් විසින් ජලයට කෙළ නොගැසිය යුතු බවටත්, මළ මුත‍්‍රා නොකළ යුතු බවටත් ශික්ෂා පද පනවා තිබේ. මෙම බෞද්ධ සංස්කෘතික ලක්ෂණ දඹදිව පමණක් නොව මිහිඳු මා හිමියන් රැගෙන ආ උතුම් ධර්මයත් සමඟ අප රටේද ප‍්‍රභාවිත සංස්කෘතික අංගයක් බවට පත් විය. අනුරාධපුර යුගයට අයත්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ අරන්කැළේ ආරණ්‍යය සේනාසනයෙන් මතු වී ඇති ජල මුද්‍ර‹ත වැසිකිළියෙන් පැහැදිලි වනුයේ අපවිත‍්‍ර දෑ නිරන්තරයෙන් මහ පොළොවට උරා නොගෙන, ස්ථර කීපයකින් පෙරා, එම ද්‍රව්‍ය පිරිසිදු කිරීමෙන් පසුව පරිසරයට මුදා හළ බවයි.

තමන් වාසය කරන ආවාසය වාතාශ‍්‍රය, හිරු එළිය ලැබෙන සේ පවත්වාගෙන යාමටත්, සිවුරු පිරිකර, ඇඳ ඇතිරිලි අව්වේ දමා වේළා ගත යුතු බවටත් භික්ෂූන් වහන්සේට පෙන්වා දීමෙන් පැහැදිලි වන්නේ අද මේ කොරෝනා වයිරසයෙන් මිදීමට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී තිබෙන නිර්දේශවලට අනුකූලව ම මේ තත්ත්වය බුදු පියාණන් වහන්සේ ද පැහැදිලි කළ බවයි.

පරිසරය අපවිත‍්‍ර වන සේ පරිහරණය කරන සිවුරු පවා ඉවත නොදමා ඒවා භාවිතයෙන් ඉවත් කරන විට එක් එක් කාර්යයන්ට යොදා ගත යුතු ආකාරය පෙන්වා දුන් සේක.

බුදු රජාණන් වහන්සේ තම ශ‍්‍රාවකයන් වහන්සේ සමඟ ධර්ම දූත මෙහෙවරෙහි නිරත වූ කාලය තුළ නිවෙසකට හෝ ඇතුළු වීමේදී මුහුණ, අත - පය හොඳින් සෝදා ඇතුළු වූ බව සඳහන් ය. මෙයින් පෙනී යන්නේ අද සෞඛ්‍ය නිලධාරීන් අත පය සෝදා ගැනීිමට කරන නිර්දේශය අපට අලූත් නොවන බවයි.

අව්වේ දමා වේළීම, අත පය පිරිසිදු කර ගැනීම ආදිය සෞඛ්‍ය සම්පන්න පිළිවෙත් ය.

අද දක්වාම භික්ෂූන් වහන්සේ නමක් ආගමික කටයුත්තකට නිවෙසකට වැඩම කිරීමේදී අත් පා දෝවනය කිරීමෙන් පැහැදිලි වන කරුණක් වන්නේ ද පිරිසිදු කමයි.

එමෙන්ම සද්ධර්ම රත්නාවලියේ ධර්මසේන කතා වස්තුවෙන් හෙළිවනුයේ ද මළු පෙත් මං ඇමදීමේත්, කසළ නිසි පරිදි බැහැර කිරීමේත් තිබෙන වැදගත්කමයි.

අනුරාධපුර පූජා භූමියේ අදත් දක්නට ලැබෙන නෂ්ඨාවශේෂවලට අනුව අභයගිරි විහාර පරිශ‍්‍රය තුළ දෙතුන් දහසක් භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බව පාහියන්ගේ දේශාටන වාර්තාවන් හි තහවුරු කර ඇත.

අදත් දක්නට ලැබෙන කැඳ ඔරු, බත් ඔරුවලින් පැහැදිලි වන්නේ විශාල පිරිසක් එවැනි පරිශ‍්‍රයක සිටියත් විනය, සේඛියා ආදී උපදෙස්වලින් ආරක්ෂා වීම නිසා, හොඳ සෞඛ්‍ය පුරුදු නිසා ඒ පරිසරය දූෂණය වීමක් හෝ පිරිස අතර අපහසුතා ඇති නොවූ බවයි. ඒ සඳහා කිසිදු සාධකයක් දක්නට ලැබෙන්නේ ද නැත.

කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි භික්ෂූන් වහන්සේලා අතර සිදු වූ මත භේදයට හේතු වූයේ ද වැසිකිළියේ තබන භාජනයේ වතුර ටිකක් පිළිබඳ ප‍්‍රශ්නයකි. එයින් පෙනී යන්නේ එවැනි ඉතා සුළු කරුණු ගැන පවා භික්ෂූන් වහන්ෙසේට සැලකිලිමත් වීමට බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ බවයි.

පිණ්ඩපාතයෙන් පමණක් යැපුණු භික්ෂූන් වහන්සේට පසු කාලයේ දී අමුවෙන් ආහාර පාන ලබා ගැනීමට අනුදැන වදාළ අතර එසේ ලැබුණු බඩු භාණ්ඩ නිසි පරිදි පිළි ගැනීමටත්, ඒවා නිසි පරිදි බෙදා හැරීමටත් එක් එක් භික්ෂූන් වහන්සේ පත් කළ බව චුල්ල වග්ග පාලියේ සඳහන් කර ඇත. අදත් විපත්ති කාලයේ බඩු භාණ්ඩ බෙදා හැරීම පිළිබඳ ව මූලික සංකල්පයක් පැහැදිලි වන අතර ම ඒවා බෙදා හරින පුද්ගලයන් ඡුන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් යන සතර අගතියෙන් තොරව ඒ කටයුතු කළ යුතු බවට උපදෙස් දී ඇත.

මේ අනුව පරිසරය රැක ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවකයන් වහන්සේට ආදර්ශවත් ලෙස ක‍්‍රියා කරමින් දුන් අවවාදවලින් අදටත් ප‍්‍රයෝජන ගත හැකිය.

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]