[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවුරුදු මතකය අමතක නොකරන්න

අවුරුදු මතකය අමතක නොකරන්න

"දුසිරිතෙන් වැළකීම පුණ්‍ය කාලයට පමණක් සීමා වුවක් නොවේ. සදාචාරය ඉක්මවා යන උත්සව පැවැත්වීම සිංහල බෞද්ධ සිරිත නොවේ. විනෝද වීමට බුදු දහමින් බාධාවක් නැත. එහෙත් එය දැහැමි, ශීලාචාර විනෝදයක් විය යුතුය."
 

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද නිමා විය. අප මේ අවස්ථාවේදී කල්පනා කළ යුත්තේ අවුරුද්දට අලූත් ඇඳුම් ගන්නට නොහැකි වීම හෝ නිසි වේලාවට නෑගම් යාමට නොහැකි වීම ගැන හෝ නොවේ.

සිංහල දෙමළ දෙපිරිසටම පොදු වූ ලක්ෂණවලින් මෙන්ම ඒ දෙපිරිසටම සුවිශේෂ වූ ලක්ෂණවලින් ද යුක්තව අවුරුදු නැකැත් කටයුතු පැවැත්වුණද මෙවර කිසිදු උත්සවයක් පැවැත්වීමට අපට නොහැකි වූයේ ලොව පුරා පැතිරී ගිය වසංගත තත්ත්වය නිසාය.

සිංහල බෞද්ධයන් අවුරුදු උත්සවය පැවැත්වීමේදී මුල් තැන දෙන්නේ බෞද්ධ සංස්කෘතිය විසින් උරුම කොට දෙනු ලැබ ඇති සිරිත් විරිත්වලටය. එම සිරිත් විරිත්වලට පදනම වී තිබෙන්නේ බෞද්ධ ඉගැන්වීම් බැවින් ඒවාට බෞද්ධ සමාජ ධර්ම යයි හැඳින්විය හැකිය. මෙවර අවුරුදු මංගල්‍යය පැවැත්වීමට නොහැකි වුවද එම සමාජ ධර්ම පිළිබඳ සමාලෝචනයක යෙදීම බෙහෙවින් උචිත වනු ඇත.

පවුලක් තුළ මනා සබඳතාවක් ගොඩනඟා ගැනීමට බුදුදහමින් මඟ පෙන්වා ඇති අතර එහිදී වැඩි අවධානයක් යොමුකර ඇත්තේ යුතුකම් ඉටු කිරීම සම්බන්ධයෙනිි. පවුලේ සාමාජිකයන් අන්‍යොන්‍ය වශයෙන් ඉටුකළ යුතු යුතුකම් පිළිබඳව සිඟාලෝවාද සූත‍්‍රයෙහි දැක්වෙයි. එම සූත‍්‍රයෙන් නිවස පවුල ඉක්මවා ගිය මුළු මහත් ප‍්‍රජාව සමඟම සම්බන්ධතා පවත්වා ගත යුතු ආකාරය පැහැදිලි කරයිි. බුදුදහමේ ඉගැන්වෙන යුතුකම් ඉටු කිරීම අපේ අලූත් අවුරුදු උත්සවයේ මූලික වූත් වැදගත් වූත් ලක්ෂණය බවට පත්ව ඇත.

මෙවර අපේ‍්‍රල් අලූත් අවුරුදු දිනයන්හිදී එම යුතුකම් කරන්නට නොහැකි වුවත් ඉදිරි දිනකදී හෝ ඉටු කරන්නට ඒවා ගැන විශේෂිත මතකයක් අවදි කරවා ගත යුතුය.

අලූත් අවුරුද්ද නිමිති කරගෙන කෙරෙන නෑගම් යෑම තුළින් ප‍්‍රකට වන්නේ යුතුකම් ඉටු කිරීම නමැති සමාජ ධර්මයයි. උපන් ගමින් බැහැරව ඈත ප‍්‍රදේශවල ජීවත්වන දරුවන් වුවද අලූත් අවුරුදු දිනයෙහි හෝ ඊට පෙර පසු දිනයක තම මව්පියන් දැකීම සඳහා තෑගි බෝග ද රැගෙන යෑම සිරිතක්ව පවතී. මව්පියෝ ද දරුවන්ගේ නිවෙස්වලට යෑමට අමතක නොකරති. අවුරුදු උත්සවය වෙනුවෙන් කිසියම් දිනයක පවුලේ සමීප සාමාජිකයන් එකතු වී අහිංසක විනෝදයක නිරත වීමෙන් ඇතැම් විටෙක ඥාතින් අතර පැන නැඟී තිබෙන අමනාපකම් අමතක කර පවුලේ යහපත වෙනුවෙන් ඉවසීමෙන් හා පරිත්‍යාගශීලිව කටයුතු කිරීම බෞද්ධ සමාජධර්ම ඔප් නැංවීමකි.

ගුරු සිසු සබඳතා දියුණු කිරීම මේ අවුරුදු සමයේ යුතුකම් ඉටු කිරීම උපකාර නොවුණද ඉදිරි මාසයේදී හෝ ඒ යුතුකම අප විසින් කළ යුතුය.

විශේෂයෙන් අලූත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල ඇරැුඹෙන දින අඩු තරමින් විදුහල්පතිතුමාට හා පන්තිභාර ගුරුතුමාටවත් බුලත් පිරිනමා ආචාර කිරීමේ සිරිත තවමත් අප පාසල් පද්ධතියේ දක්නට තිබේ.

මෙබඳු සමාජ ධර්ම ඇතැම් නාගරික පෙළැන්තියෙන් යල්පැන ගිය සිරිත් ලෙස සැලකෙන සමාජ පරිසරවලින් ගිලිහී යමින් පවතින නමුත් ගම්බද හා පැවිදි සමාජය තුළ තවමත් ක‍්‍රියාත්මක වෙයි.

අලූත් අවුරුදු උත්සවය ආගමික චාරිත‍්‍රවලින් පෝෂණය වුණු ජාතික උත්සවයක් බැවින් භික්ෂූන් වහන්සේද එම සමාජ ධර්ම ක‍්‍රියාවට නංවති. විශේෂයෙන් තම ගුරුදේවයන් වහන්සේ බැහැ දැක දැහැත් වට්ටියක් පිළිගන්වා ආශිර්වාද ලබා ගැනීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අමතක නොකරති. එසේම අවුරුදු නිවාඩු සමය නිමවා පිරිවෙනට වඩින විටද අඩුම තරමින් දැහැත් අතක්වත් රැුගෙන ගොස් පරිවේණාධිපතීන් වහන්සේ ඇතුළු ධර්මාචාර්යන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනේ. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර පැවැතිය යුත්තේ පිය පුතු සම්බන්ධතාවට සමාන සබඳතාවකි. ගුරුවරයා තම ශිෂ්‍යයා කෙරෙහි මේ මගේ පුතාය යන හැඟීමක්, ශිෂ්‍යයා තම ගුරුවරයා කෙරෙහි මේ මගේ පියාය යන හැගීමක් ඇති කර ගත යුතුය යන්න බුද්ධ දේශනාවයි. අලූත් අවුරුදු චාරිත‍්‍රයක් හැටියට දැහැත් පිළිගැන්වීම් පමණකින් ගුරු ශිෂ්‍යයන් අතර පිය පුතු සබඳතාවක් ඇති නොවන නමුත් කිසියම් ප‍්‍රමාණයකට සුහදතාව වර්ධනය වීමට එය හේතු වේ. ගිහි පැවිදි සබඳතාවට අදාළ සමාජ ධර්ම ක‍්‍රියාත්මක වීමක්ද අවුරුදු චාරිත‍්‍රවල දක්නට ලැබේ. බෞද්ධ ගිහියා තම ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකදීම තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගනී. එය වැදගත් සමාජ ධර්මයකි. එබැවින් අලූත් අවුරුදු දිනට පෙර දින විශේෂයෙන් පුණ්‍ය කාලය තුළ තම විහාරස්ථානය වෙත ගොස් මල්පහන් පූජා කර, තෙරුවන් වන්දනා කිරීමෙන් අනතුරුව පන්සලේ ස්වාමින් වහන්සේටද වන්දනා කර සෙත් පිරිතෙන් හෝ ගාථාවකින් ආශිර්වාද ලබා ගැනේ.

මෙවර පුණ්‍ය කාලයේදී එම වතාවත් කිරීමට නොහැකි වූ හෙයින් අනිවාර්යෙන්ම මේ වසංගත තත්ත්වය පහව ගිය සැණින් ඒ සඳහා කටයුතු කළ යුතු වන්නේ එය අපේ සමාජයෙන් ගිලිහී යන්නට නොදිය යුතු හෙයිනි

එසේම අලූත් අවුරුද්ද සඳහා පිළියෙල කරන රස කැවිලිවලින් කොටසක් බුද්ධ පූජාව සඳහා වෙන් කිරීමත් භික්ෂූන් වහන්සේට දන් පිරිනැමීමත් සිය යුතුකමක් ලෙස සැලකේ. වැදගත්ම අවුරුදු චාරිත‍්‍රයක් වන හිසතෙල් ගෑම බොහෝ විට සිදු වන්නේ ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනය. ඒ සඳහා අවශ්‍ය කෙරෙන නානු පිළියෙල වන්නේද විහාරස්ථානය තුළය. මෙම සිරිත තුළ දක්නට, ලැබෙන්නේ ද ගිහි පැවිදි සබඳතාවට අදාළ සමාජ ධර්මයකිි.

මිය ගිය ඥාතීන්ට පින් දීම හෙවත් අබ්බප්ත වලිය ක‍්‍රියාත්මක කිරීමද සුවිශේෂී බෞද්ධ සමාජ ධර්මයකි. ඇතැම් බෞද්ධයෝ අවුරුදු සමයේ මෙය විශේෂයෙන් සිදු කරති. ඒ කාලය තුළ යොදාගත් දිනෙක දන්පැන් පිරිනමා පවුලේ මිය ගිය ඥාතීන් විශේෂයෙන් සිහිපත් කර පුණ්‍යානුමෝදනා කිරීම ඔවුන්ගේ සිරිත ය.

දුසිරිතෙන් වැළකීම පුණ්‍ය කාලයට පමණක් සීමා වුවක් නොවේ. සදාචාරය ඉක්මවා යන උත්සව පැවැත්වීම සිංහල බෞද්ධ සිරිත නොවේ. විනෝද වීමට බුදු දහමින් බාධාවක් නැත. එහෙත් එය දැහැමි, ශීලාචාර විනෝදයක් විය යුතුය. සුරාව, සූදුව නිසා අවුරුදු සමයේ නිවෙස්වල සාමය නැතිවේ. අලූත් අවුරුද්ද යනු සම්මතයකි. ජීවිතයේ සන්ධිස්ථානයක එබඳු අවස්ථාවක ඉක්මගිය පරණ අවුරුද්දේ තමන් කළ කී දේ ගැන ගත කළ ජීවිතය ගැන බුද්ධිමත්ව සිතා බැලීමට එම සන්ධිස්ථානය ප‍්‍රයෝජනයට ගත යුතුය. එම නිසා පසු වූ දින වෙනුවෙන් ශෝක වනවාට වඩා එම සම්මතය ඉදිරි දිනවල සිදු කරන්නට කටයුතු කළ යුතුය.

බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර තිබෙන්නේ අප කරන කියන දේ ගැන අවස්ථා තුනක දී ප‍්‍රඥාවන්තව කල්පනා කර බැලිය යුතු බවයි. ක‍්‍රියාවක් ආරම්භ කිරීමට පෙර, ක‍්‍රියාව කරගෙන යන ගමන් සහ ක‍්‍රියාව කර නිමා කිරීම යන අවස්ථා තුනයි ඒ.

යමක් කිරීමට සූදානම් වනýෙ උඩ ක‍්‍රියාව තමාගේ විපතට හේතුවේද? අනුන්ගේ විපතට හේතු වේද? තමාගේත් අනුන්ගේත් විපතට හේතුවේද? යනුවෙන් ආරම්භයේදීම සිතා බැලිය යුතුය. යම් ක‍්‍රියාවක් සිදු කරන අතර තුරත් මා කරමින් සිටින දේ මට අනුන්ට හා මටත් අනුන්ටත් යන දෙපක්ෂයටම අවැඩ පිණිස විපත පිණිස පවතීද කියා මැනවින් සලකා බැලිය යුතුය. යම් ක‍්‍රියාවක් නිමා කළ පසුවද ඒ ආකාරයෙන් සිතා බැලිය යුතුවේ. තමන් කළ ක‍්‍රියාව තමන්ට විපතක් වන්නක්ද? අනුන්ට විපතක් වන්නක්ද? තමන්ටත්, අනුන්ටත් විපතක් වන්නක්ද? කියායි එම අවස්ථාවේ සලකා බැලිය යුත්තේ. විපත් පිණිස පවතින ක‍්‍රියා අකුසල ලෙස තීරණය කළ යුතු බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]