[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 59:

තෙවළා බුදු වදන් අතරින් 59:

නුවණැතියා ලොව දැන දුක දුරුවෙන මග සදා ගනියි

" රට්ඨපාල සූත්‍රයේ අන්තර්ගත ධර්ම විවරණය මැනවින් වටහා ගන්නෙකුට පංචකාම ලෝකයේ යථා ස්වභාවය වටහා ගත හැකි වේ."

එක්තරා දිනෙක රට්ඨපාල තෙරුන් වහන්සේ කෝරව්‍ය රජුගේ මිගාචිර නම් උයනට පැමිණ එහි ගසක් මුල දිවා විහරණය කළහ. එදින ම කෝරව්‍ය රජු ඔහුගේ උයන් පල්ලා අමතා උයනෙහි යම් සිත් ඇදගන්නා තැනක් වෙතොත්, එහි යාමට අදහස් කරන බැවින් එවැනි තැන් පිරිසුදු කරන්න යැයි අණකළේ ය.

රජුගේ අණ පිළිගත් උයන් පල්ලා මිගාචිර උයන පිරිසුදු කරන කල්හී දිවාවිහරණය සඳහා එහි වැඩම කර සිටි රට්ඨපාල තෙරුන් වහන්සේ දැක ඒ බව කෝරව්‍ය රජතුමාට දැනුම් දුන්නේ ය.

ථුල්ලකොට්ඨිත ගමෙහි ප්‍රධාන කුල පුත්‍රයෙකු වූ රට්ඨපාල හිමියන් තම උයනෙහි වැඩ සිටින බව ඇසූ කෝරව්‍ය රජු උයන් කෙළිය අවලංගු කොට පිරිවර සමග ගොස් උන්වහන්සේ බැහැ දුටුවේ ය. කෝරව්‍ය රජතුමා හා රට්ඨපාල හිමියන් අතර ඇතිවූ සංවාදය මජ්ඣිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ ඇතුළත් වේ.

එම සංවාදය අනුව කෙනෙකු පැවිද්දට ඇතුළත් වන්නේ මහලු වියට පත්වීම, විවිධ ලෙඩ රෝගවලින් පීඩාවිඳීම, ධන සම්පත්වලින් පිරිහීම හෝ ඤාතීන් හා හිතමිතුරන් විසින් නොසලකා හැරීම යන කරුණු හතරක් නිසා යැයි පවසන කෝරව්‍ය රජු තරුණ වයසේ සිටින රට්ඨපාල හිමියන් එවැනි පිරිහීමක් නොමැති ව පැවිද්දට පත්වූයේ කවර හේතුවක් හෝ අරමුණක් ඇතිවදැයි විමසී ය.

කෝරව්‍ය රජුගේ පැනයට පිළිතුරු දෙන රට්ඨපාල හිමියෝ තමන්වහන්සේ පැවිදි වූයේ බුදුරජාණන්වහන්සේ විසින් ලුහුඬින් දේශනා කළ කරුණු සතරක් දැන දැක යැයි පවසති.

ඕනෑම ලෝකයක ජීවිතය අස්ථාවරය. විනාශවන සුලු ය. සියල්ල දත්, සියල්ල දුටු භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬින් උගන්වන ලද ප්‍රථම ධර්ම කරුණ එය යි. එය අසා දැන, දැක මම ගිහිගෙයින් නික්ම පැවිදි වූයෙමි.

ඕනෑම ලෝකයක ජීවිතයට කිසිම පිළිසරණක් හෝ ආරක්‍ෂකයෙකු නොමැත. සියල්ල දත් , සියල්ල දුටු භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬින් උගන්වන ලද දෙවන ධර්ම කරුණ එය යි. එය අසා දැන දැක මම ගිහිගෙයින් නික්ම පැවිදි වූයෙමි.

ඕනෑම ලෝකයක ජීවිතයට තමාගේ යැයි කිවහැකි කිසිවක් නොමැත. සියල්ල හැර දමා යා යුතු ය. සියල්ල දත් , සියල්ල දුටු භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬින් උගන්වන ලද තෙවන ධර්ම කරුණ එය යි. එය අසා දැන, දැක මම ගිහිගෙයින් නික්ම පැවිදි වූයෙමි.

ඕනෑම ලෝකයක ජීවිතය අසම්පූර්ණ ය. අතෘප්තිමත් ය. තණ්හාවට දාස වන්නේ ය. සියල්ල දත්, සියල්ල දුටු භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬින් උගන්වන ලද සිව්වන ධර්ම කරුණ එය යි. එය අසා දැන දැක මම ගිහිගෙයින් නික්ම පැවිදි වූයෙමි.

තමන් වහන්සේ භද්‍ර යෞවනයේ දී ම පැවිද්දට පත්වූයේ බුදුරදුන් වදාළ මෙම සිව්විධ කරුණු මැනවින් දැක, දැන බව පවසති. අනතුරුව රට්ඨපාල තෙරුන් වහන්සේ කෝරව්‍ය රජුට එම කරුණු හතර පිළිබඳ විස්තර විවරණ ගෙනහැර දැක්වූහ. පළමු කරුණ පැහැදිලි කරන රට්ඨපාල හිමියෝ, කෝරව්‍ය රජුගෙන් විමසන්නේ ඔහු විසි පස් වන වියෙහි සිටිය දි පැවැති කායික ශක්තිය තවදුරටත් තිබේ ද? යන්න යි. තරුණ වියෙහි සවි ශක්තිය ඇති අත් පා සහිතව ඇතුන් හා අසුන් හැසිරවීමේ බලය ද, රිය පැදවීමෙන් හා දුනු ශිල්පයෙහි සහ කඩු ශිල්පයෙහි තමා සතුව පැවති ශක්තිය ද දැන් පිරිහී ඇති බවත් තමා දැන් අසූවියට පත් ශරීරාවය ව තමාට ම වලංගු නැති මහල්ලෙකු බවත් කෝරව්‍ය රජු පිළිගත්තේ ය. මේ අනුව කවර ලෝකයක වුව ජීවිතය අස්ථාවර, එමෙන් ම විනාශවන සුළු එකක් යැයි රට්ඨපාල හිමියෝ පැවසූහ. දෙවන කරුණ පැහැදිලි කළ රට්ඨපාල හිමියෝ ඔබ යම් නිදන්ගත රෝගයකින් පෙළෙන්නේ නම් එම වේදනාව අඩුවීම සඳහා එය බෙදා ගැනීමට ඔබගේ යහළුවන්ට හා නෑයින්ට කීවත්, එසේ කළ හැකිදැයි විමසූහ. වාත රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳීන තමාගේ වේදනාව බෙදා ගැනීමට ඔවුන් කිසිවෙකුටත් අණ කළ නොහැකි බවත් , එය තමා විසින්ම විඳීය යුතු බවත් කෝරව්‍ය රජු පැවසී ය. එබැවින් ඕනෑම ලෝකයක ජීවිතයට කිසිදු පිළිසරණක් හෝ ආරක්‍ෂකයෙකු නොමැති යැයි බුදුරදුන් වදාළ බව රට්ඨපාල හිමියෝ පැවසූ හ. තෙවන කරුණ විවරණය කරමින්, ඔබ දැන් පසිඳුරන් පිනවමින් ගතකරන ජීවිතය හා බඳු සැපවත් ජීවිතයක් පරලොවදීත් ඔබට ලැබේයැයි නිසැකව සිතිය හැකිදැයි කෝරව්‍ය රජුගෙන් විමසී ය. පරලොව දී මට කුමක් වේදැයි විශ්වාස නැත. මෙලොව මට අයත් වස්තු සම්භාරය අන්සතුවන අතර මා විසින් මෙලොව දි සිදුකළ ක්‍රියාවලට අනුරූප ව පරලොව යනු ඇතැයි කෝරව්‍ය රජු පැවසී ය. එසේනම් ඕනෑම ලෝකයක ජීවිතයට තමාගේ යැයි කිවහැකි කිසිවක් නැත. සියල්ල අතහැර යා යුතුය යනුවෙන් බුදුරදුන් ඉගැන්වූ බව රට්ඨපාල හිමියෝ පැවසූහ. සිව්වන කරුණ අනුව ඕනෑම ලෝකයක ජීවිතය අසම්පූර්ණ ය. අතෘප්තිකර ය. සියල්ලෝ ම තෘෂ්ණාවේ දාසයන් වන්නේ ය යනුවෙන් බුදුරදුන් වදාළේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි කළ රට්ඨපාල හිමියෝ, කෝරව්‍ය රජු අමතා ඔබ එක් සමෘද්ධිමත් රටක් ජයගෙන එයින් සෑහීමකට පත්වන්නේදැයි විමසූහ. එයට පිළිවදන් දුන් කෝරව්‍ය රජු ප්‍රකාශ කළේ එක් සමෘද්ධිමත් රටක් දිනාගත් තමන් තවත් එබඳුම රටක් දිනාගෙන රජකම් කිරීමට කැමති යැයි පැවසී ය. එසේම ලෝකයේ සියලු දෙනා ම මෙබඳු අතෘප්තිකර ආශාවන්ගෙන් හා ඉටුනොවුණ බලාපොරොත්තුවලින් ද, තෘෂ්ණාවට යටත්ව එහි දාසයන් මෙන් හැසිරෙන හෙයින් තථාගතයන් වහන්සේ එසේ වදාළ බව පැවසී ය. ඉක්බිති රට්ඨපාල හිමියන් පැවසුවේ තමන් වහන්සේ බුදුරදුන් වදාළ මෙම සිව්විධ කරුණු දැන දැක තරුණ වියෙහි ම පැවිදි වූ බව යි. මේ සියල්ල අසා සිටි කෝරව්‍ය රජු, බුදුරදුන් වදාළ මෙම සිව්විධ කරුණු සම්බන්ධයෙන් විශ්මයට පත්ව තථාගතයන් වහන්සේගේ එම පැහැදිලි කිරීම ආශ්චර්යමත් අද්භූත ජනක එකකැයි මහත් සොම්නසින් යුක්තව තථාගත දේශනාව ඇගයුමට ලක්කළහ.

රට්ඨපාල සූත්‍රයේ අන්තර්ගත ධර්ම විවරණය මැනවින් වටහා ගන්නෙකුට පංචකාම ලෝකයේ යථා ස්වභාවය වටහා ගත හැකි වේ. කෙනෙකු පැවිද්දට ඇතුළත් විය යුත්තේ රට්ඨපාල හිමියන් මෙන් මහත් අවබෝධයකින් ය. එසේ නැති නම් පැවිද්ද ට පත්වීමෙන් , ධර්මය හැදෑරීමෙන් අනතුරව එය වටහාගත යුතු වේ. එම අවබෝධය සහිත පැවිද්දාගේ ජීවිතය අර්ථවත් පරිපූර්ණ එකක් වනු නො අනුමාන ය. කෝරව්‍ය රජු දැක්වූ පරිද්දෙන් වෙනත් ලෞකික අරමුණු පෙරදැරි ව පැවිද්දට අවතීරණය වීම අනුමත කළ නොහැකි ය. එසේ ම කෝරව්‍ය රජු මෙන් සිතන පතන පුද්ගලයෝ කොතෙකුත් වෙසෙති. ඔවුහූ කල්පනා කරන්නේ පංචකාම ලෝකය තුළ ජීවිතය ස්ථාවර පැවැත්විය හැකි, පිළිසරණක් හෝ රැකවරණයක් තිබෙන, තමාගේ යැයි කිව හැකි දෙයක් පවතින, ජීවිතය පරිපූර්ණ එමෙන් ම තෘප්තිමත් ව පැවැත්විය හැකි දෙයක් ලෙස ය. එහෙත් එය එසේ නොවන බව බුදුරදුන් වදාළ බව රට්ඨපාල හිමියෝ සඳහන් කරති. ථුල්ලකොට්ඨිත ගමෙහි ගම් ප්‍රධානියාගේ පුත්‍රයා වූ උන්වහන්සේ පැවිද්දට පෙර සාකල්‍යයෙන් ම සමෘද්ධිමත් ජීවිතයක් ගත කළේ ය. එයට අයත් සියලු සැප වින්ඳේ ය. එහෙත් රට්ඨපාල තරුණයා ඒ සියල්ල අස්ථාවර බවත් , ජීවිතයට කිසිඳු පිළිසරණක් නැති බවත් , තමාගේ යැයි කිවහැකි දෙයක් නොමැති බවත්, ජීවිතය මෙන්ම ලෝකයත් අසම්පූර්ණ එමෙන් ම අතෘප්තිමත් තෘෂ්ණාවෙන් මෙහෙයවෙන එකක් බවත් පසක් කළේය. බුදුරදුන් වදාළ එම පරම සත්‍ය තම අත්දැකීම් තුළින් දැන, දැක පැවිදි වූ බව සඳහන් කරන්නේ ඒ නිසයි. ජිවිතය මෙන් ම ලෝකය ගැන යථාර්ථය වටහා ගැනීම ට රට්ඨපාල සූත්‍ර දේශනාව බෙහෙවින් උපයෝගී වේ. සාමාන්‍ය පුහුදුන් මිනිසා පංචකාම ලෝකය ගැන සිතන ආකාරය කෝරව්‍ය රජුගේ ප්‍රකාශන මගින් සනාථ වේ. මෙහිදි ලෝකය යනුවෙන් අදහස් වන්නේ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ආදි ලෝකයන් ය. ඒ සියල්ල තුළ පවතින්නේ අනිත්‍ය, දුක්ඛ අනාත්ම තත්ත්වය කි. යම් සැපයක් පැවතිය ද, ඒ සියල්ල නිර්වාණයට සාපේක්‍ෂ ව අනිත්‍ය වේ. එබැවින් නුවණැති පුද්ගලයා කළ යුත්තේ ලෝකය තෘෂ්ණාවෙන් බදාගෙන එහි දාසයෙකු වීම නොව, එම ලෝකය දැන දැක එයින් මිඳෙන මග සාදා ගැනීම ය.

මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]