[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර අටවක 2020.03.02

පරිසරයට වින කිරීම මිනිස්කමට නිගාවකි

දෛනික ජීවිතයේ දී කරන කියන සෑම සියලු කටයුත්තක දී ම නුවණින් විමසා තමන්ගේත්, ,අනුන්ගේත් යහපත පිණිස ම කටයුතු කිරීම බුද්ධිමත් මනුෂ්‍යයාගේ සිරිත ය. තමන් කරන කියන දැයෙහි හොඳ හෝ නරක ප්‍රතිඵල තමන් වෙත ම ලැබෙන බව ඔහු හොඳින් දනී. කවර තරාතිරමක පුද්ගලයෙකු වුවද හේ, සමාජ හිතකාමියෙකු වේ. සමාජයට යහපත ම උදා කරන්නෙක් වේ. ජීවත්වීමට වඩාත් සුදුසු වන්නේ එවැනි මිනිසුන් බහුලව වෙසෙන පරිසරයක් ම ය.

දකින ඕනෑම කෙනෙකුට ඒ පරිසරයෙහි සුවිශේෂත්වයක් දැකිය හැකි වේ. එහි තැන තැන අවිධිමත් ලෙස බැහැර කළ අපද්‍රව්‍ය නැත. දුර්ගන්ධය නැත. පිරිසුදු ය. අලංකාර ය. කුඩා දරුවාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා ම විනයෙන් ශික්ෂණයෙන් යුතු ය.

අනුන්ට කරදරයක් වන ලෙස ඔවුන් කෙළ පිඬක් හෝ පරිසරයට මුදා හරින්නේ නැත. වර්තමානයේ දුලබ වුව ද අතීතයේ නම් එවන් සාඩම්බර මිනිසුන්ගෙන් සමාජය ශික්ෂිත වූ බව අපි ඉතිහාසයෙන් ඉගෙනගෙන ඇත්තෙමු.

මේ අවදි වන්නට කාලය යි. යහපත් රටක් ගොඩ නැගෙන්නේ යහපත් මිනිසෙක් බිහිවූයේ නම් ය. පාරිසරික පිරිසුදු බව පිළිබඳව රාජ්‍ය නායකත්වයේ ද ඉහළ අවධානයක් යොමුව ඇත. දූරදර්ශී එවන් දැක්මක් තුළ රටවැසියන් ලෙස අපට වෙසෙස් වගකීමක් පැවරේ.ඒ තමන්ගේ යුතුකම ඉටු කරන්නට ය.

තමන් වෙසෙන පරිසරය පිරිසුදු ව තබා ගැන්මෙහි ඇති වටිනාකම අමුතුමෙන් ඉගැන්විය යුතු දෙයක් නොවේ. දූෂිත පරිසරයෙහි බරපතළ ආදීනව ගැන විවිධ මාධ්‍ය ඔස්සේ ඕනෑතරම් තොරතුරු සමාජ ගත වේ. අවශ්‍ය ඊට අවධානය යොමු කිරීම ය.

කවර පරිසරයක ජීවත් වුව ද පරිසරයට උපකාරයක් කරනු මිස විනාශයක් නො කළ යුත්තේ අප ද පරිසරයේ ම කොටස්කරුවන් වන හෙයිනි.

තම පහසුව අගනේ ය. තමා මෙන් අනෙකාගේ පහසුවට ද හැකිතාක් සහාය විය යුතු ය. උපකාර කළ යුතු ය. යන එන ගමන් බිමන්වල දී ගෙන යන පොලිතින් කවරයේ සිට සියලු දෑ පරිහරණයෙන් පසු අපද්‍රව්‍ය ලෙස අවිධිමත්ව පරිසරයට මුදා හරින්නේ නම් එය මිනිස්කමට ද නිගාවකි. විශේෂයෙන් ආගමික සිද්ධස්ථානයන්හි, පරිසරයට හානි පමුණුවන දෑ රැගෙන ඒමෙන් වළකින්න යනුවෙන් ඉල්ලීම් කළ පුවරු සවිකර තිබෙනු දක්නට ලැබේ. එබඳු ඉල්ලීම් කිරීමට හෝ නීති පැනවීමට හෝ සිදුවන්නේ ඇතැමෙක් පරිසරයේ පිරිසුදුකම ගැන මොහොතකටවත් නො සිතීම හේතුවෙනි.

පරිසරයට හානි නො කරන, රැකගන්නා පිරිස් ද බොහෝ වෙති. ඔවුන් පැසසුම් ලැබිය යුතුම ය.

එහෙත් සුළු පිරිසකගෙන් වන අයහපත වුවද විශාල පිරිසකට පමුණුවන හානිය සුළුපටු නැත. එහි ඵලය භුක්ති විඳින්නට වන්නේ සියල්ලන්ට ම පොදුවේ ය. මේ නිසා පරිසරයට අනිසි ලෙස අපද්‍රව්‍ය මුදාහරින කෙනෙක් වෙත්ද වරද පෙන්වා දීම, ඊට එරෙහි වීම අපගේ යුතුකමක් ද වන්නේ ය.

අපද්‍රව්‍ය එක්රැස් කරන ස්ථාන ප්‍රධාන මාර්ගයන්හි හා පොදු ස්ථානයන් හි ස්ථාපිත කර ඇත. අදාළ බඳුන් වෙන් කර තිබුණ ද ඇතැමෙක් ඒවා නො දුටු අයුරෙන් කටයුතු කරනු පෙනේ. සමහර පිරිස් තම නිවෙසේ අපද්‍රව්‍ය, යන එන විට මහ මඟ දමා යන ආකාරය ද සුලබ ය. මේ හැසිරීම් මිනිසා ඇතුළු සමස්ත ජීවි පරිසරයටම අහිතකරය. පරිසරය රැක ගැනීමටත් නිසි ලෙස පවත්වාගෙන යාමටත්, අප වෙත හැඟීමක් තිබිය යුතුය. සමාජ හිතකාමියෙකු ලෙස, පරිසර හිතකාමියෙකු ලෙස හැසිරීම් හසුරුවා ගන්නට අවධානය යොමු කළ තැන මේ සමාජය ම යහපත් වනු ඇත.

මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]