[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 පසුතැවීමෙන් වැළකීම පින් වැඩෙන පින්කමක්

 පසුතැවීමෙන් වැළකීම පින් වැඩෙන පින්කමක්

හිත ප්‍රබෝධමත් කළ හැකි පහසු උපක්‍රම තිබෙනවා

අප්‍රකට ඇබ්බැහිවීම් නිසා සමහරු විඳවනවා

ගෞරවණීය ස්වාමීන් වහන්ස. සම්බුදු දහමට අනුව පසු නොතැවෙන හිතක් හදා ගන්නේ කොහොමද?

අංගුත්තර නිකායේ දෙවැනි නිපාතයේ තියෙනවා තපනීය සහ අතපනීය කියලා සූත්‍ර දේශනා දෙකක්. එහිදී අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා, කෙනෙක් පසුතැවීමට හේතු වන්නේ, ත්‍රිවිධ දුෂ්චරිතය කිරීම සහ ත්‍රිවිධ සුචරිතය නො කිරීම බව. එමෙන් ම පසුනොතැවීමට හේතු වන්නේ ත්‍රිවිධ සුචරිතය කිරීම සහ ත්‍රිවිධ දුෂ්චරිතය නො කිරීම බව.

අපට පසුනොතැවෙන හිතක් අවශ්‍යනම් කළ යුතු වන්නේ සිත, කය, වචනය මෙහෙයවා යහපත් දේ කිරීම වගේම අයහපත් දේ නො කර සිටීමයි. මේ කරුණ වඩාත් ඉස්මතුවෙන ආශ්චර්යවත් බුද්ධ දේශනාවක් තමයි ‘චේතනා කරණීය සූත්‍රය’ එහි දී අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට තිබෙනවා.

“මහණෙනි, සීලයෙන් යුක්ත වූ සිල්වතාට පසුතැවිලි නැති බව මා තුළ පහළ වේවා’යි අමුතුවෙන් චේතනා පහළ කළ යුතු නැත. මහණෙනි, සීලයෙන් යුක්ත වූ සීලවන්තයා තුළ පසුතැවිල්ල නැති බව උපදින්නේ ය’ යන මෙය ධර්මතාවකි.”

කුසල සීලය තුළ යමෙක් පිහිටා සිටී නම්, ඔහු චේතනාවක් පහළ කළත්, නැතත් පසුනොතැවෙන බව ඔහුගේ සිත තුළ උපදිනවා. ඒ විතරක් ම නොවේ. පසු නොතැවෙන ස්වභාවය ඇති කෙනාට අමුතුවෙන් චේතනාවක් පහළ නො කරම සිත ප්‍රමුදිත වෙනවා, පී‍්‍රතිය හටගන්නවා, කය සහ සිත සැහැල්ලු වෙනවා. (පස්සද්දිය), සැපය උපදිනවා. සිත සමාධිමත් වෙනවා.

යථාභූත ඥානය ඇතිවෙනවා, යථාභූත ඥානය ඇති පුද්ගලයාට අමුතුවෙන් චේතනාවක් පහළ නො කර ම අවබෝධය තුළින් කළකිරීමත්, නො ඇලීමත් ඇතිවෙනවා. (නිබ්බිදා විරාගය) නිබ්බිදා විරාගය ඇති වූ කෙනාට අමුතුවෙන් චේතනාවක් පහළ නො කරම කිසිවකට නො බැඳී නිදහස් වූ බවට නුවණ ඇති වෙනවා. මේ ධර්මයන් අනුපිළිවෙලින් නිවන කරා යොමුකරන බව ධර්මයේ සඳහන් වෙනවා.

සතුට පරම ධනය වන බව සම්බුද්ධ දේශනාව යි. ඒත් ඇතැමෙක් ජීවිතය ගත කරන්නේ අසතුටෙන්. සමහරු ඇබ්බැහිවීම් නිසා පසුතැවෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්නට පහසු මඟක් තිබෙනවා ද?

මිනිසුන් ඇබ්බැහිකම් ඇති කරගන්නේ මොනවා ද? කියා කවුරු හෝ අපෙන් විමසනවා. ඉතින් අපට එක පාරටම මතක් වෙන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය. නැත්නම් මොනවා හරි කෑමක්. නැත්නම් පුරුද්දක් විදිහට නිතර නිතර බලන චිත්‍රපට, ටෙලි නාට්‍ය, ගීත, වීඩියෝ ගේම් වැනි දේ. දවස පුරා සමාජ මාධ්‍ය තුළ කල් ගෙවීම ආදියත් ඇබ්බැහිවීම්. හැබැයි ඒ වගේ ප්‍රකට නො වෙන, ඒ හැම දේට ම වඩා දරුණු ඇබ්බැහි වීමක් තියෙනවා. අප බොහෝ දෙනෙක් එයින් නිතර විඳවනවා. ඒ හිතන දෙයට ඇබ්බැහි වීම.

සමහර පුද්ගලයන්ට පොඩි දෙයටත් තරහ යනවා. දවසම ඒ ගැන හිත හිතා ඉන්නවා. බාහිරින් බැලුවාම නම් පෙනෙන්නේ ගේ අතුගානවා, උයන පිහන වැඩ කරනවා කියලා. ඇත්තටම ඔහු හෝ ඇය ඒ දේ කරනවා තමයි. නමුත් ඒ දේ කරන ගමන් නො දැනීම තමන්ට තරහ ආ සිදුවීම, එහෙම නැත්නම් තමන් ලජ්ජාවට, අපහසුතාවයට පත් කළ සිදුවීම හිතට ඇවිත් නිතර නිතර වද දෙනවා. ඒ තරහ වැඩි වෙන ආකාරයට කල්පනා වෙනවා. සමහර අවස්ථාවල දී කේන්තියෙන් සැර පරුෂ වචනත් පිට කරනවා. එදාට කරන කිසි වැඩක් පිළිවෙලට වෙන්නේ නැහැ. අඩුම තරමේ උයන පිහන දේවත් රසවත් නැහැ. මොකක් ද හේතුව? සිහි නුවණින් තොරව, හිතන ස්වභාවයට අපේ හිත පුරුදු වෙලා. ඒකට ඇබ්බැහි වෙලා. අකුසලයක් හිතේ උපදින පමාවෙන් එය දියුණුවෙන්න අප විසින් ම අවස්ථාව සලසලා.

පසුතැවීමටත් මේ ආකාරයට ම අප ඇබ්බැහි වෙනවා. ඊටපස්සේ කෙළවරක් නැතිව විඳවනවා. බොහෝ දෙනෙක් පසුතැවෙන ස්වභාවය හඳුනා ගන්නේ නැතිව හේතු දුරු කරන්නේ නැතිව එය ඉබේම දුරුවේවි යැයි සිතාගෙන සිටිනවා. එවිට කවදාවත් පසු නො තැවෙන හිතක් උපදවා ගන්න බැරිවෙනවා.

පසුතැවීම කියන දෙය පිළිබඳව අප බුද්ධ දේශනාව ඇසුරින් ඉගෙන ගත්තොත් පසුතැවීම කියන්නේ මොකක් ද? ඒක පවතින්නේ ඇයි? පසුතැවීම ඉතිරි නැතිව නැති කරලා දාන්නේ කොහොම ද? කියන කාරණා සියල්ල ම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පසුතැවීම අත්හැරලා පසුනොතැවෙන හිතක් ඇති කරගන්නත් පුළුවන්.

වැරැදි කළ පුද්ගලයෙක් ඒ ගැන පසුතැවීම සාමාන්‍ය ස්වභාවයක්. ඔහු ඒ තැනින් මුදවා ගන්නේ කෙසේද?

බුදු සසුනේ සීලය අපිරිසුදු වූ විට කළයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි නැවත සීලයේ පිහිටීම (ආයති සංවරය) බොහෝ දෙනෙක් නැවත සීලයේ පිහිටියාට පසුවත් පසුතැවෙනවා. එහෙම නැතිනම් සීලය අපිරිසුදු වුණා ද? නැද්ද? කියන සැකය නිසා පසුතැවෙනවා. එයට හේතුව තමයි සීලය කියන්නේ මොකක්ද කියලා නිසි වැටහීමක් නො මැතිකම. සීලය ආත්ම සඤ්ඤාවෙන් ගැනීම. නිවන් මග පුරුදු කරන අප කාටත් තියෙන්නේ “සේක” (හික්මෙමින් පවතින) සීලයක්. ධර්මය අවබෝධකර කෙළවරට පැමිණි රහතන් වහන්සේට පමණක් අසේක වූ (හික්මීම අවසන් කළ) සීලස්කන්ධයක් පවතිනවා. ඒ නිසා අප සීලය සමාදන් වී ටික ටික නමුත් හික්මෙන්නේ අපේ සිතේ උපදින අකුසල්වලට යට නොවී සිහිය දියුණු කරගන්නා ප්‍රතිපදාව දියුණු කර ගන්නයි. සිල් පදයක් පළුදු වුවත් නැවත එය සමාදන් වූ පසු පෙර ලෙසම අපට ධර්මයේ රැකවරණය තිබෙනවා.

සිල් පදයක් බිඳුණ කෙනෙක් නැවත සීලය සමාදන් වූ පසු ඒ ඔහු සිදුකළ අකුසලය ආනන්තරිය පාප කර්මයක් නොවේ නම්, අප දුගතියේ යාමට ඒ අකුසලය හේතුවක් වන්නේ නැහැ. අපට මේ පිළිබඳව ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒ වාගේම පසුතැවීම කියන්නේ අකුසලයක් කියලත් අප දැනගන්න ඕන. එවිට යම් දෙයක් මුල් කරගෙන අපේ සිතට පසුතැවීම පැමිණියොත් එය දුරු කරන්නට අපට ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක. මම කිසිත් නොදනිමි. භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වන සේක. මම වනාහී ශ්‍රාවකයා වෙමි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මැනවින් දේශනා කොට වදාළ ධර්මයේ සඳහන් ආකාරයට මම මේ අකුසලය දුරු කරනවා. හිත කියන කියන දෙය කරන්නේ නැහැ කියන තැනට පළමුව පැමිණෙන්න.

ඉන්පසුව තමන් අතින් චේතනාත්මක ව දුශ්චරිතයක් සිදු වී ඇති ද කියා ‘චේතනාව‘ විමසන්න. සුචරිතය සිදුකර නොමැති බව සිහි වේ නම් එය ද චේතනාත්මක ව මග හැර ඇති දැයි විමසන්න. ඉන්පසු දුෂ්චරිතයක් සිදු වී ඇත්නම් නැවත තෙරුවන් සරණ ගොස් සීලයේ පිහිටන්න. දුෂ්චරිතයක් සිදු වී නොමැතිනම් එය අත් හරින්න. සුචරිතය සිදු කර නොමැති නම් නැවත එවන් අවස්ථාවක් මුණගැසුණු විට, තමන්ට කළ හැකි සුචරිතය කරන බවට අධිෂ්ඨානයක් ඇති කරගන්න. චේතනාත්මක ව තමන් අතින් දුශ්චරිතයක් සිදුවී ඇති බව තමන්ට සැක සහිත නම් ධර්මය හොඳින් දන්නා සුදුසු කෙනෙක්ගෙන් ඒ පිළිබඳ උපදෙස් ගන්න.

වරදින් මිදුණු පසුවත් නැවත එවැනි සිතිවිලි උපදින බව සමහරු පවසනවා. එවැනි පුද්ගලයෙකු කළ යුතු වන්නේ කුමක්ද?

වරදින් නැගී සිටිය පසුත් ඒ සිදුවීම නැවත නැවත සිතට පැමිණෙන්නේ නම් ශ්‍රද්ධාව ම බලවත් කරන්න. “භාග්‍යවතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ. මම කිසිවක් නො දනිමි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයෙන් මම නැවත සිල් පදය සමාදන් වුණා. දැන් මම ඒ අකුසලයෙන් නිදහස්. මේ මොහොතේත් මට රැස් වන්නේ පිනක්. මම නිකරුණේ පසුතැවුණොත් මගේ සිත මේ විදිහට ම සිතන්න ඇබ්බැහි වෙන්න පුළුවන්. එය ඉතා භයානක යි. මේක අකුසලයක්. මට අයහපත පිණිසයි පවතින්නේ. අන් අයටත් අයහපත පිණිස පවතින්නේ. මේ සිතිවිල්ල දුක පැත්තේ පවතින්නේ. මෙය මට නිවන පිණිස පවතින්නේ නැහැ.” ආදී ලෙස ඒ අකුසලයේ ආදීනව දකින්න. ඒ වගේම හිතට එන අකුසල් දුරු කළ යුතු ආකාර කිහිපයක් භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ ද්වේදා විතක්ක සූත්‍රයේ සහ විතක්ක සන්ඨාන සූත්‍රයේ පෙන්වා වදාරනවා. ඒ ආකාරයට ද අකුසලය දුරු කරන්න උත්සාහවත් වන්න.

හිත පසුතැවෙන අරමුණක් අරගන්න ප්‍රධාන හේතුවක් තමයි, හිත මේ මොහොතේ සතුටින් නැතිකම. ඔබ මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් නිතර පුරුදු කරනවා නම් ඔබේ සිත සතුටට පත් වෙනවා. ඒ වාගේම කිසිවක් අන් අයගෙන් බලාපොරොත්තු නොවී අන් අයට උපකාර කිරීම වැනි පින් රැස්වෙන දේ කරද්දීත් අපේ සිත සතුටට පත් වෙනවා.

ඔබට වඩාත් සමීප ක්‍රමයක් උපකාර කරගෙන හිත ප්‍රබෝධයට පත් කර ගන්න.

මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]