[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තංගල්ල වගේගොඩ ඓතිහාසික රන්කොත්මළු රජමහා විහාරය

තංගල්ල වගේගොඩ ඓතිහාසික රන්කොත්මළු රජමහා විහාරය

පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදුව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වේ


ඓතිහාසික රුහුණු මාගම් පත්තුවේ වගේගොඩ පුරාණ රන්කොත්මළු රජමහා විහාරය අනුරාධපුර මුල් යුගය දක්වා දිවෙන ඉතිහාසයකින් යුක්ත වේ.

පොළොන්නරු යුගයේ දී මෙම විහාරස්ථානය දියුණු තත්වයක පැවති බව සඳහන් වී ඇත. ඈත අතීතයේ මෙම විහාරස්ථානයට අක්කර 400ක භූමි භාගයක් නින්දගම් වශයෙන් තිබී ඇත. දැනට පවතින අක්කර 100 තුළ ද විහාරස්ථානයේ පුද පූජා කටයුතු කිරීමට නෙළුම් ආදී මල් නෙළා ගැනීම සඳහා කුඩා ප්‍රමාණයේ වැව් තුනක් තිබේ. මෙම ප්‍රදේශයේ අඩි දෙකක් කැනීමේ දී අනුරපුර යුගයට අයත් විශාල ප්‍රමාණයේ ගඩොල්, පෙති උළු ද, මැටි බඳුන් කැබලි ද, පොළොන්නරු යුගයේ ගලින් තැනූ කණු මුල් කොටසක් ද, ගල් වලවල් සහිතව ඇත. ඔපමට්ටමින් තොර ගල් කණු දෙකක් බිම පතිත වී ඇත. මලසුන් ගල් පුවරු දෙකක් ද පවතින අතර මෙම චෛත්‍යරාජයාට සතර දිගින් පරිවාර චෛත්‍ය සතරක් ද තිබුණු බවට සලකුණු හා ජනප්‍රවාද ඇත. ගම්පොළ, කෝට්ටේ හා නුවර යුගවල ඇරඹුණු ටැම්පිට විහාරය හා ගල් වැටි පෙළ පමණක් ශේෂ ව පවතී. චෛත්‍ය නිර්මාණයට යොදාගත් කවාකාර ගල් කිහිපයක් ද සොයා ගෙන ඇති අතර පරණ ගොඩනැගිල්ලක පළන්දවා තිබුණු මැටියෙන් නිමවන ලද කොතක කොටසක් ද සොයා ගෙන ඇත.

කැටයම් සහිත ඇත් දත්, වටාපත් මිටි ද පවතින අතර පෘතුගීසි යුගයේ පූජා ඔප්පු කිහිපයක් ද පවතියි.

මෙම විහාරස්ථානය සම්බන්ධ ව ලියැ වී ඇති පොත් පත් අතර මහනුවර සමයේ දී පාලි භාෂාවෙන් ලියැවී ඇති සන්දේශ කාව්‍ය වූ “මානාවුළු” සන්දේශය වෙයි. එය රචනා කර ඇත්තේ මෙම විහාරස්ථානයේ වැඩසිටි පූජ්‍ය වගේගොඩ රේවත මාහිමිපාණන් වහන්සේ ය. ඊට අමතර ව බෝධීන් වහන්සේ වඳීන ගාථාවක් වශයෙන් අදත් භාවිත කරන “ඉන්දනීල වණ්ණ පත්ත සේත ඛන්ධ භාසුරං......” යන ගාථාව උන්වහන්සේගේ නිර්මාණයකි. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය කඹුරුපිටියේ වනරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් රචිත “අනුරපුර නටඹුන්” නමැති කෘතියේ ද මෙම විහාරස්ථානයේ තොරතුරු ඇතුළත් කර ඇත.

මහනුවර එකල විසූ කීර්ති ශ්‍රී රාජසිංහ නරපතිදූට අකුරු ශාස්ත්‍රය හා ත්‍රිපිටකය කියා දීම තුළින් උන්වහන්සේට “රාජගුරු” යන ගෞරව නාමය ලැබුණි. රුහුණේ වැදගත් සඟ පරපුරක මූලස්ථානය වශයෙන් සැලකෙන වගේගොඩ පුරාණ රන්කොත්මළු රාජමහා විහාරස්ථානය හා සම්බන්ධිත සංඝ පරම්පරාව වගේගොඩ සංඝ පරම්පරාව නමින් ද අද ප්‍රකට ය. රාජගුරු වගේගොඩ ඉන්දසාර හිමියන් මෙහි මෑත කාලීන නවෝදයේ පුරෝගාමියා ද වේ.

දීර්ඝ කාලයක් අඛණ්ඩ ව පැවති මෙම සඟ පරපුර මෑතකාලීන ව පෙළගැස්ම මෙසේ ය.

1741 මහනුවර යුගයේ උඳුපිටියේ සිල්වතුන් වහන්සේ, 1757 රාජගුරු වගේගොඩ ඉන්ද්‍රසාර නා හිමි, 1791 මුරුංගස්යායේ ශ්‍රී ස්වර්ණජෝති නා හිමි, 1805 වගේගොඩ රේවත මා හිමි, 1839 බඹරැන්දේ දේවානන්ද මා හිමි, 1857 මිද්දෙණියේ සංඝරක්ඛිත නා හිමි, 1868 කොහොම්පෝරුවේ සුමංගල නා හිමි, 1888 වගේගොඩ ශ්‍රී සුමංගල නා හිමි (මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ මාතර වැල්ලබඩපත්තුව ඇතුළු ව හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යය ධුරන්දර), 1915 මුරුංගස්යායේ සාරානන්ද මා හිමි (භාරකාර විහාරාධිපති), 1958 මුරුංගස්යායේ පියරතන මා හිමි (භාරකාර විහාරාධිපති), 1960 නාරද්දේ සිරි පේමසිරි මා හිමි, 1969 බෙලිගල්ලේ මහින්ද නා හිමි, 1970 අලුත්වැවමුලන පියතිස්ස මා හිමි (භාරකාර විහාරාධිපති), 1989 දඹරැල්ල වනරතන නා හිමි......... මේ දක්වා වේ. වගේගොඩ රන්කොත්මළු විහාරස්ථානයේ ආරම්භය සඳහන් ලිපි දක්නට නැත. එහෙත් අනුරාධපුර යුගයට හා පොළොන්නරු යුගයට අයත් ගල් ගඩොල් හා තැන් තැන්හි ඇද වැටී තිබෙන ගල් කණු ආදිය විහාරස්ථානයේ ඉපැරැණි බවට සාක්ෂි දරයි. විහාරස්ථානයේ පූජනීයත්වය දෙස බලන විට අනුරාධපුර යුගයේ විහාරස්ථානයක අතිශය පූජ්‍යත්වය හා පාරිශුද්ධත්වයට ලක්වූයේ එහි චෛත්‍යරාජයා ය.

රන්කොත් පළඳවන දාගැබක් ඇති විහාරස්ථානයක් රන්කොත්මළු විහාරස්ථානය නමින් ප්‍රකට වීම ස්වභාවික ය. එහෙයින් රන්කොත්මළු විහාරස්ථානය යන නම මෙම සිද්ධස්ථානයට අන්වර්ථ ලෙස ලැබී ඇත. රන්කොත නැතිවී යාම දෙස බලන විට “ද්‍රවිඩ සතුරන් විහාර සන්තක දේපළ පැහැර ගනිමින් ලැව් ගින්නක් සේ පෙරට එන බව ඇසූ එකල විසූ විහාරාධිපතීන් වහන්සේ රන්කොත චෛත්‍යයෙන් බාවාගෙන ළිඳක දැමූහ” යන්න කටින් කට එන ප්‍රවෘත්තියකි. මෙම රන්කොත බහාලූ ළිඳ පිහිටි කුඹුර රන්කොත් මුල්ල කුඹුර නමින් ද, ඊට යාබද ගොඩ ඉඩම රන්කොත්මුල්ලේ වත්ත නමින් ද අදත් ව්‍යවහාර ව පවතී.

කළිඟු රටින් පැමිණි ද්‍රවිඩ කුමාරයෙක් පරාක්‍රම පණ්ඩු රජුගෙන් පසු කාලිංග විජයබාහු නමින් රජ පැමිණියේ ය. විහාර සන්තක දේපළ කොල්ල කෑමෙහි දරුණු ලෙස යෙදුණේ මොහු ය. මොහුගෙන් පසු මෙවැන්නෙකු ගැන ඉතිහාසයේ සඳහන් නැත. එහෙත් රන්කොත ළිදේ බහාලූයේ කාලිංග මාඝගේ පැහැර ගැනීම් අවධියේ ය. රුහුණ වැනසූ තැනැත්තා ද මොහුම වන නිසා ඉහත සඳහන් මතය සනාථ වීමට එය හොඳම නිදර්ශනයකි. ක්‍රිස්තු වර්ෂ 1566 දී කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු වගේගොඩ රන්කොත්මළු විහාරස්ථානයට විතාරන්දෙණියේ ගල්කන්ද පූජා කර තිබේ. කෝට්ටේ රජ කළ හත් වන විජයබාහු රජුගේ කනිෂ්ට පුත්‍ර මායාදුන්නේ රජ 1534 - 1581 අතර සීතාවක රාජ්‍ය කරවී ය. ඔහුගේ රාජ්‍යයට මාතර ප්‍රදේශය ද කලක් අයිති ව තිබුණි. එහෙයින් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජ නමින් පූජා පත්‍රයේ සඳහන් වන්නේ ඉතිහාසයේ මායාදුන්නේ නමින් හැඳීන්වෙන රජතුමා ය. මෙතරම් විශාල ගම් කිහිපයක් පූජාවකින් රාජපූජිත වීම තරම් තත්ත්වයක් මෙම ආරාමයට එකල පැවති බව ඉහත කී පූජාව සාක්ෂි දරයි.

ආරාම, පන්සල් පාළු වී පෘතුගීසි ඕලන්ද කාලයෙහි පවා මෙම ස්ථානය හිස් වී නැත. එවකට මෙම ස්ථානයේ විසූ සිල්වත්තුමා “උඳුපිටියේ සිල්වතා” නමින් ප්‍රකට ය. මෙතුමාගේ ශිෂ්‍ය වගේගොඩ ඉන්ද්‍රසාර හිමිපාණන්, වැලිවිට අසරණ සරණ පිණ්ඩපාතික සරණංකර සංඝරාජ මාහිමිගේ චරිතය හා ගමන් කර සංඝරාජ මාහිමියන්ගේ ම ශිෂ්‍යයෙකු ලෙස උපසම්පත්තිය ලැබී ය. එවකට මහ රජතුමාට අකුරුකරණය කළ ඉන්දසාර නාහිමියෝ වගේගොඩ, මිද්දෙණිය, හාතගල වැනි විහාරස්ථාන රැසක පාලකයා ද විය. උන්වහන්සේ වගේගොඩ සඟ පරපුරේ ආදි කතෘන් ලෙස සඳහන් වන අතර, මේ දක්වා මෙම විහාරස්ථානවල විටින් විට, යුගයෙන් යුගය ඒ මහතෙරවරුන් ජාතික, ආගමික, සාමාජික කටයුතු මහත් කැපවීමෙන් සිදු කළහ. දකුණු සිරිලක රාජ පූජිත විහාරස්ථානයක් වන වගේගොඩ පුරාණ රන්කොත්මළු රාජ මහා විහාරය ආගමික මධ්‍යස්ථානයක් පමණක් නොව 1952 දී කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් බවට පත් වී තිබුණි.

මෑත කාලීන, නවෝදයේ පුරෝගාමී ව කටයුතු කරනුයේ මෙම විහාරස්ථාන රාශියේ ම නායකත්වය උසුලන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මාතර දිසාව හා දොළොස්දහස් ගිරුවාරට ඇතුළු රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී ස්වර්ණජෝති දඹරැල්ලේ වනරතන නා හිමියන් ය. උන්වහන්සේගේ මූලිකත්වයෙන් මෙම විහාරස්ථානය මගින් 1997 වර්ෂයේ නිවාස සියයකින් සමන්විත මධ්‍යම පාන්තික හා අඩු ආදායම්ලාභි නිවාස ව්‍යාපෘතියක් ද, 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින සුනාමි විපතින් අවතැන් වූවන් සඳහා නිවාස 48කින් සමන්විත රාජ්‍ය සේවා සුනාමි ගම්මානයක් ඉදිකිරීම මෑත කාලයේ සිදු වූ වැදගත් ම සේවය වේ.

වර්තමානයේ මෙම රන්කොත්මළු විහාරස්ථානය, දකුණුලක සැදැහැවතුන්ගේ මහත් පූජනීයත්වයට පත්ව ඇති අතර, ප්‍රදේශවාසී ජනතාවට ආගමික වශයෙන් පමණක් නොව ජාතික, අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් අතිශයින් ම උදාර සේවාවක් සිදුවන සුවිශේෂි පින් බිමකි.

මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසෙලාස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]