[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට : අවේලාවේ පිණ්ඩපාතය

අවේලාවේ පිණ්ඩපාතය

“මා මෙහි වැඩ සිටීම අනෙකුත් හාමුදුරුවන් වහන්සේටත් කරදරයක්. බණ භාවනාවට බාධාවක්. ඒ නිසා දුර පළාතකට වැඩම කරන්නට ඕනෑ” පොඩි හාමුදුරුවෝ කල්පනා කළා.

පින්වත් දරුවනේ, පසුගිය අමාවක පෝදා අප කතා කළේ පිණ්ඩපාතිකතිස්ස පොඩි හාමුදුරුවන් පිළිබඳව යි. අපි උන්වහන්සේ ගැන තවත් තොරතුරු දැන ගනිමු.

දවසක් මේ පොඩි හාමුදුරුවන් වහන්සේ විහාර බිමේ සක්මන් කරමින් සිටියා. එළිමහනේ තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් ගිනි තපින ආකාරය දුටුවා. 'මේ විදිහට ගිනි තපින්නේ පෙරවීමට කම්බිලි නැති නිසා' යැයි සිතමින් උන්වහන්සේ නගරයේ පිණ්ඩපාතයේ වැඩීමට කල්පනා කළා.

“පොඩි හාමුදුරුවෝ අවේලාවේත් පිණ්ඩපාතයේ වඩිනවා. නිසැකව ම පෙරවීමට කම්බිලි ලබා ගන්නට විය යුතුයි” සිතූ නගරවැසියෝ කම්බිලි පන්සියයක් පූජා කළා. එක්තරා ධනවත් වෙළෙන්දෙක් බොහෝ වටිනා කම්බිලි දෙකක් පූජා කළා. මෙයින් පසු පිණ්ඩපාතික තිස්ස පොඩි හාමුදුරුවන්ට කම්බිලි දායක තිස්ස කියන නම පටබැඳුණා.

ඉතින් දරුවනේ ජේතවනාරාමයේ වැඩ සිටින මේ පොඩිහාමුදුරුවන් වහන්සේ දකින්නට, උන්වහන්සේ සමඟ කතාබහ කරන්නට නිතර දෙවේල් නෑදැ ළමයි, සම වයසේ ළමයි යන්නට එන්නට වුණා.

“මා මෙහි වැඩ සිටීම අනෙකුත් හාමුදුරුවන් වහන්සේටත් කරදරයක්. බණ භාවනාවට බාධාවක්. ඒ නිසා දුර පළාතකට වැඩම කරන්නට ඕනෑ” පොඩි හාමුදුරුවෝ කල්පනා කළා.

ඉතින් ගුරු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන පිණ්ඩපාතක තිස්ස පොඩි හාමුදුරුවෝ ජේතවනාරාමයෙන් පිටත් වුණා. බොහෝ දුර පා ගමනින් වැඩම කළා. ඈත පිටිසර ගමකට පැමිණියා. ඒ ගමේ වැසියෝ බොහෝ ශ්‍රද්ධාවන්ත යි. පුංචි හාමුදුරුවන් වහන්සේ දුටු පමණින් ම තමන්ගේ ම දරුවෙක් ගමට ආවා වගේ පිළිගත්තා. උන්වහන්සේට වැඩ සිටීමට ආරණ්‍ය කුටියක් සාදා පූජා කළා. කැමැති පරිදි බණ භාවනා කරන්නට ඉඩ සලසා දුන්නා.

ඉතින් පොඩි හාමුදුරුවෝත් දිනපතා ම මේ ගමට පිණ්ඩපාතයේ වඩිනවා. යැපෙන ප්‍රමාණයට පිළිගන්නවා. දානය පූජා කරන හැම දෙනාට ම ‘සුවපත් වෙත්වා’ දුකින් මිදෙත්වා’ යි ආශිර්වාද කරනවා. උන්වහන්සේ භාවිත කළේ මේ වචන කිහිපය පමණ යි. ටික දිනක් ගත වුණා. හොඳින් බණ භාවනා වැඩූ පුංචි හාමුදුරුවෝ සිව්පිළි සිඹියාපත් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

එක දවසක් සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේ දැකීමට යා යුතුයැයි කල්පනා කළා. සුදුසු වේලාවක් බලා ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට පැවසුවා. උන්වහන්සේ ඒ සඳහා අවසර දුන්නා. මේ බව දැනගත් මුගලන් මහරහතන් වහන්සේ, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ, පුණ්ණ මහ රහතන් වහන්සේ ඇතුළු බොහෝ භික්ෂුන් වහන්සේ ගමනට සූදානම් වුණා. ඒ ආරංචිය ඇසූ උන්වහන්සේගේ ගෝල හාමුදුරුවන් වහන්සේත් ගමනට සූදානම් වුණා. ඉතින් චාරිකාවේ හැසිරෙමින් දින ගණනාවකට පසුව මහරහතන් වහන්සේ පිරිවරාගත් භික්ෂූන් වහන්සේ බොහෝ නමක් පිණ්ඩපාතිකතිස්ස රහතන් වහන්සේ වැඩවෙසෙන ආරණ්‍ය අසල ගම්මානයට වැඩම කළා. ඉන්පසු සිදු වූ ආශ්චර්යවත් සිදුවීම කුමක් ද? මැදින් පුර පෝදා බුදුසරණ පුවත්පතේ බෝසත් දරුවන්ට ලිපියෙන් ඒ ගැන දැන ගතිමු.

මැදින් පුර අටවක පෝය 

මැදින් පුර අටවක පෝය මාර්තු 02 වනදා සඳුදා අපරභාග 12.53 ට ලබයි. 03 වනදා අඟහරුවාදා අපරභාග 01.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 02 වනදා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 09 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]