[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නරක වචනය කෙටේරියක් වැනිය

නරක වචනය කෙටේරියක් වැනිය

මේ පුද්ගලයාගේ කායික ක්‍රියාකාරකම් හොඳ නැහැ. නමුත් වචනය බොහොම හොඳයි. වැඩ නරකයි.

ඒ වුණාට කතාව ලස්සනයි. සිත් ගන්නා සුළුයි. (අපිරිසුද්ධ කාය සමාචාරො පරිසුද්ධ වචී සමාචාරෝ) මේ පුද්ගලයාගේ කයින් කරන වැඩ හොඳ නැහැ. ඔහු සතුන් මරණවා, හොරකම් කරනවා, කාම මිථ්‍යාචාරයෙහි යෙදෙනවා. මත්පැන් පානය කරනවා. කයෙන් කිසිම හොඳ දෙයක් කරන්නේ නැහැ. කයෙන් හොඳ වැඩ කරන්නේ නැතිවුණාට හොඳ ලස්සනට කතා කරනවා. කතාව ආකර්ෂණීයයි. මේ ආකාරයට පළමුවැනි පුද්ගලයාගේ වැඩ හොඳ නැහැ. ඒ වුණාට කතාව හොඳයි.

දෙවෙනි පුද්ගලයා සඳහන් කර ඇත්තේ අපරිසුද්ධ වචී සමාචාරො , පරිසුද්ධ කාය සමාචාරො යනුවෙනුයි. මේ කොටසට ගැනෙන අයගේ කතාව හොඳ නැහැ. නමුත් වැඩ හොඳයි. මේ වර්ගයට ගැනෙන අය අන්‍යයන්ට සමාජයට උදව් උපකාර කරනවා. නමුත් එයාගේ කට හොඳ නැහැ. උදව් කරල ඒ ගැන නිතර නිතර කතා කරනවා. මා නිසා තමයි අද ඔහොම ඉන්නෙ කියල හැම තැනකදි ම කියවන්න පටන් ගන්නවා. පරිත්‍යාගය හොඳයි. නමුත් ඒ ගැන හැම තැනකදීම කියවන එකයි ප්‍රශ්නය. ඒ නිසාම එවැනි අය පිරිහීමට පත්වෙනවා. සමහර අය කුස්සියේ වැඩටික ඉතා හොඳින් කරනවා. ඒවා කරන ගමන් අනිත් අයගෙ හිත නරක් වෙන විදියට කතා කරනවා. අනිත් අයගේ අඩුපාඩු කියනවා. මම මෙහෙම කළාට වෙන කවුද මේවා මෙහෙම කරන්නේ වැනි අනිත් අයට හිත රිදෙන වචන පිටකරනවා. මෙවැනි අයගේ කතාව අප්‍රසන්නයි. ඒ වුණත් වැඩ හොඳට කරනවා. අප කතා කරන වචන හරි ප්‍රවේශමෙන් තමයි පිටකරන්න ඕන. නරක වචන කියන්නෙ කෙටේරියක් වගෙයි. යකඩ කෙටේරියකින් කෙටුවොත් ඒ තුවාලය බෙහෙත්වලින් සුවපත් කරගන්න පුළුවන්. නමුත් වචන නමැති කෙටේරියෙන් කෙටුවොත් අන්‍යයන්ගේ හදවත් තුවාල වෙනවා.

දරුණු වචන වලින් හදවතේ ඇතිවන තුවාලය ලෙහෙසියෙන් සනීප කරගන්න බැහැ. පිටකරන නරක වචන මුළු සසර ගමනට ම බලපාන්න පුළුවන්. මේ නිසා කටින් පිටකරන සෑම වචනයක් ගැනම අප පරිස්සම් විය යුතුයි. කතාව තුළින් අන්‍යයන්ට අහිතවත් වන වචන පිට නොකිරීමට අප වගා බලා ගත යුතු යි. සමහර වචන හොඳ වුවත් සමහර තැන්වලට ඒවා සුදුසු නැති වන්න පුළුවන්.

කිසියම් දෙයක වටිනාකම ඇත්තේ එය සුදුසු තැනට පාවිච්චි කළොත් පමණයි. කරඬුවකට, මුද්දකට, මාලයකට, මැණික් ගලක් ඇල්ලුවොත් එහි වටිනාකම වැඩියි. සුදුසු නැති තැනක මැණික් ගලක් තිබුණාට එහි වටිනාකමක් නැහැ. වචනයත් ඒ වගේමයි. තැනට අදාළ ආකාරයට, සුදුසු ආකාරයට, ගැලපෙන විදියට කතා කරන්න අප පුරුදු විය යුතු යි. මේ අයුරින් සමහර අයගේ වැඩ හොඳයි. ඒ වුණාට කතාව හොඳ නැහැ.

තුන්වැනි කණ්ඩායමට වැටෙන අය ගේ කතාවත් හොඳ නැහැ. වැඩක් හොඳ නැහැ. ඒ වුණාට ඉඳල හිටලා හිතේ හොඳ සිතිවිල්ලක් ඇතිවෙනවා. මේ අය අපරිසුද්ධ කාය සමාචාර , සහ අපිරිසුද්ධ වචී සමාචාර ලෙස හඳුන්වා දී තිබෙනවා. කතාවත්, ක්‍රියාවත් හොඳ නැති වුණාට ඉඳ හිට පන්සල් යන්න ඕනෑ කියලා කියනවා. මේ අය පන්සිල් පද කඩමින් වැරැදි වැඩ කරන අයයි. බොරුව, කේළම, පරුෂ වචන නිතර කියමින් වැඩක් නැති වචන කතා කරමින් කාලය ගතකරන අයයි.

මොවුන් කතා කරන්නේ අනුන්ගේ ඕපාදූපමයි. කලාතුරකින් හොඳ සිතිවිල්ලක් ඇතිවන්න පුළුවන්. කිසිම කෙනෙකුට කිසිවක් නොදෙන මහා ලෝභී පුද්ගලයොත් ඉන්නවා. ඒ වුණාට කලාතුරකින් පිනට දහමට කීයක් හරි දෙන්නත් ඉඩ තියෙනවා.

සමහර විට මහා දරුණු අපරාධ කරන , ප්‍රචණ්ඩ අය තුළ කලාතුරකින් කරුණාවන්ත, සිතිවිල්ලක් ඇතිවන්නත් පුළුවනි. මේ අයුරින් තුන්වැනි පුද්ගලයාගේ වැඩත් හොඳ නැහැ. කතාවත් හොඳ නැහැ. නමුත් කලාතුරකින් හොඳ සිතිවිල්ලක් ඇතිවිය හැකියි.

ඊළඟට හතරවැනි පුද්ගලයා කෙබඳු කෙනෙකුදැයි බලමු. එයාගෙ කතාවත් හොඳ නැහැ. කයින් කරන වැඩත් හොඳ නැහැ. මේ පුද්ගලයාට ඉඳ හිටලවත් හොඳ සිතිවිල්ලක් පහළ වන්නේ නැහැ. මේ පුද්ගලයා සෑම පැත්තකින්ම කරන්නේ පව්කම්, නිරතුරුවම අනුන්ට කරදර කරන, හිංසා පීඩා කරන සිතකින් තමයි කටයුතු කරන්නෙ. මෙවැනි අයගෙන් අපට ප්‍රශ්න ඇතිවන්න පුළුවන්. කරදර මතුවන්න පුළුවන්. මෙවැනි පුද්ගලයන් නිසා අපට කේන්තියන්න පුළුවන්. මෙවැනි චරිත ඇති අයට අප අනුකම්පා කළ යුතු යි. මෙවැනි අය ඇසුරු කරන්න එපා. පුළුවන් තරම් මෙවැනි අයගෙන් ඉවත් වී, වෙන් වී අපගේ කටයුතු කරගන්න බලන්න . මොනතරම් ප්‍රශ්න ආවත් මෙවැනි අය සමඟ පටලැවෙන්න යන්න එපා.මොවුන් සමඟ පැටලුනොත් අපගේ ජීවිතයත් අහිමිවන්න පුළුවන්. පුළුවන් තරම් ඉවසීමෙන් මොවුන් මගහැර ජීවත්වන්නට උත්සාහ කරන්න. අනුන්ගේ වැරැදි වැඩ නිසා අපගේ සිතට තරහක් එනවානම් එය අපේ වැරැද්දක් අපේ සිත පාලනය කරගත යුත්තේ අපමයි. එය බාහිර පුද්ගලයන්ගේ වැරැද්දක් නොවෙයි.

ඒ ඒ පුද්ගලයාගේ කායික, වාචසික, මානසික දුර්වලතාවන් හමුවේ අප කළ යුත්තේ තරහ නොගෙන සිටීමයි. එවැනි පුද්ගලයන්ගේ ඇති දුර්වලතා ගැන අප අනුකම්පාවෙන් බැලිය යුතුයි. උපදෙස් දී , කතාකර එවැනි පුද්ගලයන් හදන්න බැහැ. එකම දේ ඔහුට අනුකම්පා කර අප කලබල නොවී ඉවසීමෙන් සිටීමයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු අමාවක (ජනවාරි 24 ) පත්‍රයේ පළවේ

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]