[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 53 : කුමක් කළ යුත්තේ ද?

තෙවළා බුදු වදන් අතරින් 53 :

කුමක් කළ යුත්තේ ද?

" අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඨාන සූත්‍රයේ එන මෙම කරුණු හතර තාර්කික පදනමකින් යුක්ත වේ. මෙමගින් යමක් කිරීමට පෙර ඒ සඳහා ඉවහල් වන මානසික උනන්දුවත් , එම ක්‍රියාව සිදුකිරීමෙන් අනතුරුව සිදුවන ප්‍රතිඵලයත් අවධාරණය කර තිබේ."

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටි සමයෙහි එක් දිනක් භික්‍ෂූන් වහන්සේලා අමතා මෙසේ දේශනා කළ හ.

මහණෛනි කරුණු සතරක් තිබේ. එනම් කරන්න ට අමනාප දෙයක් ඇත. එසේ ම එය කිරීමෙන් අනර්ථයක් සිදු වේ. කරන්න ට අමනාප දෙයක් ඇත. එය කිරීමෙන් අර්ථයක් වේ. කරන්නට මනාප දෙයක් ඇත. එය කිරීමෙන් අනර්ථයක් සිදු වේ. කරන්නට මනාප දෙයක් ඇත. එය කිරීමෙන් යහපතක් සිදුවේ. යනු එම කරුණු සතර යි.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඨාන සූත්‍රයේ එන මෙම කරුණු හතර තාර්කික පදනමකින් යුක්ත වේ. මෙමගින් යමක් කිරීමට පෙර ඒ සඳහා ඉවහල් වන මානසික උනන්දුවත් , එම ක්‍රියාව සිදුකිරීමෙන් අනතුරුව සිදුවන ප්‍රතිඵලයත් අවධාරණය කර තිබේ. කිසියම් ක්‍රියාවකට පදනම් වන මානසික පසුබිමත්, එයින් ජනිතවන ප්‍රතිඵලයත් සලකා බැලීම අවශ්‍ය වන්නේ ක්‍රියාව කරනු ලබන පුද්ගලයාට මෙන් ම සමාජයට ත් එය බලපාන බැවිනි.

සූත්‍රයේ දැක්වෙන පරිදි පළමු කරුණ යටතේ කිසියම් ක්‍රියාවකට පදනම්වන මානසික පදනම මෙන්ම එය ක්‍රියාවට නැංවීමෙන් වන ප්‍රතිඵලය ද අයහපත් නම් එය දෙපරිද්දෙන් ම නොකළයුතු ක්‍රියාවකැයි දැක්වේ. එහිලා කිසිදු විවාදයක් නොමැත. එහෙත් දෙවන හා තෙවන අවස්ථා තරමක් සංකීර්ණ ස්වරූපයක් දරන අතර, එය විනිශ්චය කිරීමෙහිලා පුද්ගලයාගේ ඤාණ ශක්තිය, ඤාණ වීර්ය හා ඤාණ පරාක්‍රමය සැලකිල්ලට ගනු ලැබේ. බුදුරදුන් මෙහදී අවධාරණය කරන පරිදි දෙවන අවස්ථාව ක්‍රියාවට නැගීමේ දි, කෙනෙකු ක්‍රියා කරන අන්දම අනුව එම තැනැත්තා පණ්ඩිතයෙක් ද නැතහොත් බාලයෙක් ද යන්න තීරණය වේ. කවර තරාතිරමේ අයෙකුට වුව, පළමු කරුණින් අවධාරණය කළ පදනම පහසුවෙන් වටහා ගත හැකි ය. එමෙන් ම එය ක්‍රියාවට නැගීමත් පහසු ය. එහෙත් දෙවන හා තෙවන අවස්ථාව සංකීර්ණ ස්වරූපයක් දරන්නේ කවරක් කළ යුතු ද? යන්න හා නොකළයුතු ද? යන්න විනිශ්චය කිරීමෙහිලා බුද්ධිමය හා ඤාණමය ශක්‍යතාව තීරණාත්මක සාධකය ලෙස ගන්නා හෙයිනි.

බුද්ධ දේශනාව අනුව බාලයා හෙවත් අනුවණ තැනැත්තා “මේ කරුණ කරන්නට අමනාපය, එහෙත් එය කිරීමෙන් අර්ථයක් සිදු වේ” යැයි දැන ගත්ත ද එය ක්‍රියාත්මක නොකරයි. අකැමැත්තෙන් වුව ද, එම කාර්ය නොකිරීම නිසා ඔහුට එයින් යහපතක් සිදු නොවේ. පණ්ඩිතයා කල්පනා කරන්නේ එයට වෙනස් ආකාරයෙනි. යම් ක්‍රියාවක් කිරීම තමාට මනාප නොවුණත් එයින් වන අර්ථය සලකා එය ක්‍රියාත්මක කරයි. මෙනිසා ඔහුට යහපතක් ම සිදුවෙයි. මෙම කරුණෙහිලා නුවණැතියාගේ මෙන්ම අනුවණයාගේ ක්‍රියාකාරිත්වය හා ආකල්පය ද වෙනස් වේ. බාලයා හෙවත් අනුවණ තැනැත්තා අවධානය යොමු කරන්නේ තම පුද්ගලික කැමැත්ත කෙරෙහි පමණක් වන අතර නුවණැතියා පුද්ගලික කැමැත්තට වඩා එයින් වන අර්ථය කෙරෙහි ද සැලකිලිමත් වේ.

තෙවන කරුණ අනුව කිසියම් ක්‍රියාවක් කරන්නාගේ මනාපය ට හේතු වුවත් , එහි ප්‍රතිඵලය හානිදායක ය. මෙහිදී ද බාලයාගේ හා පණ්ඩිතයාගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.

බාලයා හෙවත් අනුවණ තැනැත්තා “මේ කරුණ කරන්නට මනාප ය, එහෙත් එය කිරීමෙන් අනර්ථයක් සිදු වේ”

යැයි දැන ගත්ත ද තම පුද්ගලික කැමැත්ත පරිදි කටයුතු කිරීම නිසා අනර්ථයක් කර ගනී. නුවණැති පුද්ගලයා තමාට රුචි වුව ද, අනර්ථ දායක දෑ සිදු නොකර යි. මේ ආකාරයට දෙවන හා තෙවන කරුණ සම්බන්ධයෙන් විනිශ්චයකට එළඹීම සඳහා බුද්ධිය හා නුවණ අවශ්‍ය වේ. මේ අවස්ථා දෙකේ දී ම නුවණැති පුද්ගලයා කටයුතු කරන්නේ පුද්ගල රුචි අරුචි කම් අනුව නොවේ. එම ක්‍රියාව සිදු කිරීමෙන් වන යහපත හා අයහපත පිළිබඳ අවධානය යොමුකිරීමෙනි. යම් ක්‍රියාවක් තමාට රුචි වුව ද, එය අනර්ථය පිණිස පවතීනම් නුවණැති පුද්ගලයා එයින් වැළකෙයි. එසේම යම් ක්‍රියාවක් තමාට රුචි නොවුණත් එයින් වන අර්ථය සලකා එය ක්‍රියාවට නංවයි. දෙවන හා තෙවන යන කරුණු දෙකින් ම යම් ක්‍රියාවක් පිළිබඳ පුද්ගල කැමැත්තට වඩා එයින් වන අර්ථය හා අනර්ථය සැලකිල්ලට ගෙන තිබේ. මෙම කරුණු දෙක විවරණය කරන බුදුරජාණන් වහන්සේ ඒ සඳහා පුද්ගල වීර්ය, පුද්ගල උත්සාහය හා පරාක්‍රමය අවශ්‍ය යැයි අවධාරණය කර තිබෙන්නේ එහි පවතින සංකීර්ණ බව අනුව ය. සිව්වන කරුණ අනුව කටයුතු කිරීම සාකල්‍යයෙන් ම යහපත් වේ. එය දෙ අංශයෙන් ම ක්‍රියාවට නැංවිය යුතුයැයි අවධාරණය කර ඇත්තේ එබැවිනි. පළමු වැන්න සාකල්‍යයෙන්ම අනුගමනය නොකළ යුතු ය. දෙවැන්න හා තෙවැන්න ක්‍රියාවට නැංවීමේ දී බුද්ධිය හා ඤාණය අවශ්‍ය වේ. සිව්වැන්න මුළුමනින් ම අනුගමනය කළ යුතු පිළිවෙත යි.

යථෝක්ත කරුණු හතර පුද්ගල චර්යාවේ සදාචාරාත්මක පදනම විනිශ්චය කිරීම සඳහා භාවිත කළ හැකි නිර්ණායක වන හෙයින්, ඒ සියල්ල බෞද්ධ සාදාචාරය හා සම්බන්ධ වේ. මිනිසා බොහෝ දුරට කටයුතු කරන්නේ ඉහතින් දැක්වූ නිර්ණායක අනුව ය. කිසියම් ක්‍රියාවක් යහපත් එකක් යැයි කිව හැකි වන්නේ එම ක්‍රියාව සිදු කරන්නාගේ පුද්ගලික කැමැත්ත හා එයින් වන අර්ථය සලකාගෙන ය. ඒ අනුව පළමුවැන්නෙන් එම කරුණු දෙකම නොසලකා ඇති හෙයින් උභයාර්ථයෙන් ම එය නොකළයුතු ක්‍රියාවකි. පස්වැන්න එම අංශ දෙක ම සැලකිල්ලට භාජනය කර ඇති හෙයින් උභයාංසයෙන් ම එය අනුගමනය කළ යුත්තකි. දෙවැන්න හා තෙවැන්න තීරණය වන්නේ පුද්ගලයාගේ බුද්ධිමය ශක්‍යතාව මත ය. ඒ අනුව දෙවැන්න හා තෙවැන්න විනිශ්චය කිරීමෙහිලා සාදාචාරය පිළිබඳ අවබෝධයක් හෝ ඤාණයක් අවශ්‍ය වේ. පුද්ගලික වශයෙන් තමා කරන ක්‍රියාව පිළිබඳ සතුටක් තිබුණත්, නැතත් එම ක්‍රියාවෙන් සිදුවන මතු යහපත සලකා එය ක්‍රියාවට නැංවිය යුතු වේ.

ඉහතින් දැක්වූ පරිදි අංගුත්තර චතුක්ක නිපාතයේ එන ඨාන සූත්‍රය තාර්කික පදනමකින් යුක්ත වේ. තම පුද්ගලික රුචි අරුචි කම් පමණක් සලකා එයින් වන අනර්ථය පසෙකලා කටයුතු කරන නූතන සමාජයට මෙය සදූපදේශය කි. පුද්ගල ලැදියාවන් පමණක් සැලකිල්ලට ගෙන කටයුතු කරන අය කොතෙකුත් දක්නට ලැබේ. එැවනි පුද්ගලයන් වගකීම් දරණ ආයතන ඉතා කෙටිකලකින් පරිහානියට පත්වේ. ඇතැම් විටෙක නිවැරැදි දෙය ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ අකැමැත්තෙන් විය හැකි ය. අකැමැත්තෙන් වුව, එය ක්‍රියාත්මක කිරීමෙන් යහපතක් වන්නේ නම්, එහිලා පැකීලීමක් හෝ පසුතැවිල්ලක් ඇතිකරගත යුතු නොවේ. සැම විටම උත්සුක විය යත්තේ තම හෘදය සාක්‍ෂියට අවංක වෙමින් කටයුතු කිරීමටය. කෙනෙකු සතුටු කිරීම පමණක් අරමුණු කර ගෙන කටයුතු කිරීම මතු යහපත යටපත් කොට, අයහපත මතුවීමට ඉඩ කඩ සැලසීම කි. බුද්ධිමත් බෞද්ධයෙකුගේ ගති ලක්‍ෂණය විය යුත්තේ එය නොවේ. සියල්ල මැනවින් සලකා බලා කටයුතු කිරීම විචාරබුද්ධියෙන් යුත් බෞද්ධයාගේ ස්වභාවය යි. එබැවින් කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක් ද? යන සදාචාරාත්මක ඤාණය ඇතිකරගැනීමේ වැදගත්කම යථෝක්ත සූත්‍රාගත කරුණුවලින් සනාථ වේ.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]