[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අමාවක 2019.12.25

කළමනාකරණයට විධිමත් ආරම්භයක්

රජයේ රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමටත්, ඒ මත රජයේ රැකියාවක් ලැබීමත් මීට දශකයකට දෙකකට එහා සමාජයේ ඉතා ඉහළින් සලකනු ලැබූවකි. ගමක, නගරයක රාජ්‍ය සේවකයෙක් වූයේ නම් ඔහුට ගමේ ඉහළ පිළිගැනීමක් සේ ම ගෞරවයක් ද හිමි වුණි. එහෙත් කල්යත්ම මේ තත්ත්වයේ වෙනසක් වුණි. අද බොහෝවිට ඇතැම් රජයේ සේවකයන්ගේ සේවා දායකත්වය පිළිබඳ අපේ සමාජයේ වැඩි පිරිසක් තුළ ඇත්තේ අප්‍රසාදයකි. රාජ්‍ය සේවය ඉහළ ගුණාත්මක බවකින් හා විශ්වසනීයත්වයකින් යුතු වුව ද, ඇතැම් නිලධාරීන්ගේ හා වෘත්තිකයින්ගේ සේවා දායකත්වය විශ්වසනීය නොවීම හා මන්දගාමී වීම ඊට හේතුවක් විය හැකි ය. මෙය අද ඊයේ ඇති වූ සමාජ ගැටලුවක් නොවේ. කාලාන්තරයක් තිස්සේ අඩු වැඩි වෙමින් ආ ගැටලුවකි. එහෙත් ඊට නිසි විසඳුමක් නොලැබුණි.

නව රජය මඟින් රාජ්‍ය සේවය ක්‍රමානුකූල ව සැකසීම සඳහා විධිමත් ආරම්භයක් ලබා දීම කාලීනව ඉතා අගය කළ යුතු වූවකි. ජාතියක් ලෙස අපට නැගී සිටිය හැකි වන්නේ සමස්ත ජනතාවගේ ම උනන්දුව, උත්සාහය, හා ඕනෑකම මත ය. එහි දී රාජ්‍ය සේවකයන්ට සමස්ත සමාජයට ම ඉහළ ආදර්ශයක් ලබා දිය හැකි ය. අධ්‍යාපන, සෞඛ්‍යය, ආගමික, පාරිසරික, කෘෂිකාර්මික ආදී සෑම අංශයක ම රාජ්‍ය සේවයේ වටිනාකම තවමත් ජන විඥානයෙන් ගිලිහී ගොස් නැත. මේ ආදී සෑම රාජ්‍ය ආයතනයක් ම නිසි කළමනාකාරීත්වයකින් යුතුව පවත්වාගෙන, නිසි ඵලදායීතාවයකට යොමු කරනවා නම් රට සංවර්ධනය කිරීමේ කාර්යය පහසු කරන්නට එය ඉතා වැදගත් සාධකයක් වනු ඇත.

මෙහිදී රට වැසියන් ලෙස සමස්ත ප්‍රජාවටම පැවරෙන වගකීම සුවිශාල ය. තම යුතුකම නිවැරැදි ව ඉටු කරනවා නම්, තමන්ට රට වෙනුවෙන් සේවය කළා යැයි කවදා හෝ අවංක සතුටක් විඳීමට හැකි වනු ඇත.

ජීවන වෘත්තිය ධාර්මික විය යුතුබව සම්බුද්ධ දේශනාව ය. අප හරි හම්බ කරන සෑම සතයකට ම හරි වටිනාකමක් ලැබෙන්නේ එය ධාර්මික ව, නිවැරැදිව, අවංක ව උපයා ගත්තේ නම් පමණි. රැකියාව ධාර්මික වුව ද එහි නියැළෙන්නාගේ සේවය, ක්‍රමවේදය වංක වූයේ නම්, නිවැරැදි නොවුයේ නම් එතැන ඇත්තේ වංචාව ය. තවත් අයුරකින් සොරකම ය.

මෙහිදී තමන් තමන්ට අවංක විය යුතු වේ. යම් ආයතනයක් පිරිසුදු කරන්නාගේ සිට ඉහළම නිලධාරියා දක්වා පැවරුණු යම් වගකීමක් වේ. ලබා දිය යුතු දායකත්වය කායික හෝ මානසික ශ්‍රමය විය හැකි ය. රැකියාව ධාර්මික, අධාර්මික යැයි වෙන් කළ හැකි වුව ද රාජකාරි කරන්නාගේ සේවය උසස් හෝ පහත් යැයි වෙන් කළ නොහැකි ය.

තමන්ට පැවරුණු කවර රාජ කාර්යයක් වුව ද අවංක ව, නිවැරැදිව නිසි කලට වේලාවට සම්පූර්ණ කිරීම, කාලය නිකරුණේ ගෙවා නොදැමීම තුළ සේවකයාගේ කාර්යය උසස් වන්නේ ය. ඉහළම තනතුරක් දරන නිලධාරියකු වුව ද රැකියාවට වංචනික නම්, කාලය අපතේ හරිමින් කටයුතු කරනවා නම් ඔහුගේ වෘත්තිය ධාර්මික නොවේ. ඔහු හරිහම්බ කරන මුදල ගැන ඔහුට සතුටු විය නොහැකි ය.

විශේෂයෙන් අතීතයේ පටන් ගුරු සේවය ගරු සේවයක් ලෙස සමාජයේ ගෞරවයට පාත්‍ර වුණි. ගුරුවරු සැලකුවේ ගුරු දෙවිවරු ලෙස ය. ඒ රැයක් දවාලක් නොබලා දැයේ දරුවන්ගේ අනාගතයක් ගොඩ නැඟූ හෙයිනි. ඒ ගුරු දෙවිවරු දැන් දැන් අඩුවේගන යන ආකාරයක් ඇතැම් තැනෙක පෙනේ.

මුදලට මුල්තැන දීම තුළ ගුරුවරයා හෑල්ලුවිය යුතු නැත. තම වෘත්තිය අකුරට ඉටුකරන උතුම් ගුරුවරු බොහෝ වෙති. සියල්ලෝ උත්සාහ කළයුතු ඒ තත්ත්වය ආරක්ෂා කර ගන්නට ය. ගුරු වෘත්තිය ගැන පමණක් කීවේ එක් සමාජ උදාහරණයක් ලෙස ය. මේ තත්ත්වය සෑම වෘත්තියකට ම පොදු ය. මේ වෙසෙස් අවස්ථාවේ අපට වගකීමක් පැවරී තිබේ. ඒ රට, ජාතිය ගැන සිතන්නට ය. බෞද්ධකම අගයන නිවැරැදි රාජ්‍ය නායකත්වයක් අපට ලැබී තිබේ. ඒ නායකත්වය තුළ පුරවැසියන් ලෙස අපගේ වගකීම අකුරට ඉටු කරමින් රට ගොඩනැගීමේ කාර්යයට අත දීම ජාතියක් ලෙස අපගේ වගකීම ය.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]