[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

ග්‍රැගරි ආණ්ඩුකාරතුමා එකල ඇඳුරු පුරයක්ව පැවති කොළඹ නගරය ගෑස් ආලෝකයෙන් එළිය කරන්නට පටන් ගත්තේ ය. ශ්‍රී සුමංගල නායක හිමියෝ ලංකාව ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් බබලළවනු පිණිස විදුදය පිරිවෙන පටන් ගත්හ.

සියවස් ගණනාවක් පුරාම ලක්වැසියන්ට ගත කිරීමට සිදු වූයේ පෘතුගීසි, ඕලන්ද, ඉංගී‍්‍රසි ජාතිකයන්ට යටත් ව ඔවුනගේ සැහැසිකම්වලින් බොහෝ සෙයින් ම පීඩිත දුර්භාග්‍ය සම්පන්න වටපිටාවක්තුළ ය. නිදහසේ අරුණළු උදාවන සේයාවක් පෙනෙනතෙක් මානයකවත් නොතිබුණි. වසර දෙදහසක් ස්වාධිපත්‍යයෙන් පැවති රටක් ඉක්බිතිව පරාධීන හස්තයකට යටත් ව ජීවත්වීමට ලැබීම ලක්වැසියෝ කිසිසේත් ම නො ඉවසූහ. ඔවුහු මෙකී මහා ව්‍යසනයෙන් රට, ජාතිය, ආගම බේරාගැනීමේ මහ සටන් ඇරඹූ හ. එහෙත් ඒවා අඛණ්ඩ ව පවත්වාගෙන යා නොහැකි විය.

මෙම තත්ත්වයෙන් රට මුදා ගැනීමට සමත් පුත් රුවනක් ලක් පොළොවේ ජනිත වේවායි, ශාසන පාලක දෙවියන් යැදීම හැර කළ හැකි අන් දෙයක් ඔවුනට නොතිබුණි. එහි ප්‍රතිඵලයක් නිසාදෝ රටේ වාසනාවකට මෙන් වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ උඩරට වැදගත් පරපුරක ජන්මලාභය ලැබූ හ. ඉතා දුක සේ ධර්මවිනයත්, භාෂා ශාස්ත්‍රයත් මැනවින් හදාළ උන්වහන්සේ චිරරාත්‍රඥ බහුශ්‍රැත මහා පඬිවරයෙකු බවට ද පත්ව ශාසනයත්, ජාතියත්, භාෂාවත්, පුනර්ජීවනයෙහිලා ස්වකීය කාර්යභාරය ඉතා මැනවින් සම්පූර්ණ කළහ. එහෙත් සඟරජ මාහිමියන් ගේ අපවත්වීමෙන් පසු එම ආලෝකය ටික කලෙකින් පහව ගොස් අන්ධකාරයේ සෙවනැලි පහළ වන්නට විය.

එම හිඩැස පිරවීමට දෝ 19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ සිරිලක දකුණු පළාතේ ගාලු නගරයට නුදුරු හික්කඩුව නම් ගම්පියසේ දී 1827 ජනවාරි මස 20 වැනි දා තවත් ශ්‍රේෂ්ඨ කුමරුවෙකු ගේ ජන්මලාභය සිදුවිය. උපතින් තෙළෙස් වන වියේ දී එනම් 1840 දී ‘හික්කඩුවේ සුමංගල සාමණේර’ නමින් උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. හික්කඩුවේ තිලකාරාමයේ වැඩවිසූ අරුග්ගමුවේ රේවත හිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යාභාවයට පත් මෙම සාමණේර හිමියෝ එවකට පළාතේ වැඩසිටි විද්වත් යතිවරයෙක් වූ පන්නම්ගොඩ ජෙතුත්තර මහතෙරුන් වහන්සේ වෙත ගොස් සිංහල, පාලි ඉගෙනීම ආරම්භ කළහ. පුරාකෘත පුණ්‍ය මහිමයේ බලය මේ යැයි ප්‍රකට කරමින් ගුරුන් එක්වරක් කී දෙයක් සිය ගුණයෙන් තේරුම් ගැනීමට මේ ශිෂ්‍යයා සමර්ථ විය.

කාලයාගේ ඇවෑමෙන් සුමංගල සාමණේරයන් උසස් පඬිවරයෙකු වෙත භාර දී ධර්ම ශාස්ත්‍ර විෂයෙහි පරිණත වියතෙකු කිරීමට පළාත්වාසී ප්‍රභූ බෞද්ධයෝ සූදානම් වූ හ. ගුරු හිමියන් ද සමඟ සාකච්ඡා කොට එවකට ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු වූ රත්මලානේ පරමධම්මචේතිය විහාරාධිපති වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත සාමණේරනම භාර කෙරිණි. වර්ෂ කිහිපයක් උන්වහන්සේ වෙතින් සිප්සතර ද හොඳින් ප්‍රගුණ කළ සුමංගල හිමියෝ පසුව කාසිනාථ නම් බමුණු පඬිවරයෙකු ගෙන් සංස්කෘත තර්ක න්‍යාය, නක්ෂත්‍රය ආදී විෂයයන් ද උගත්හ.

මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූ සුමංගල හිමියෝ එහි ධර්මඤාණය පරීක්ෂා කිරීමේ දී පරිවාර පාලිය සම්පූර්ණයෙන් කටපාඩම් දී වෙනත් ප්‍රශ්නවලට ද නිසි පිළිතුරු දී සංඝ සභාව ප්‍රබෝධමත් කළ හ. එසේම කලින් පිළියෙළ කරගෙන ආ පාලියෙන් රචිත දළදා වන්දනාවට සුදුසු අෂ්ටකයන් ද සංඝසභාව මධ්‍යයෙහි කියවූ හ.

මෙම සෑම සමත්කමක් කෙරෙහි ම සංඝ සභාවේ බලවත් ප්‍රසාදය පළ වූ අතර මහනාහිමියෝ ස්වකීය සොම්නස පළකරනු වස් හෙරණ නමට අටපිරිකරක් පරිත්‍යාග කොට මංගල සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කොට සෙත් පැතීම ද කළ හ.

කල්ගතවෙත් ම හික්කඩුවේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩිත්‍යය ලංකාවේ ලොකු කුඩා සෑම අතර බලවත් සේ ප්‍රකට විය. ඉන් වඩාත් පිළිගැනීම වූයේ කාලයට අනුරූප ව නිසි නායකත්වය දැරීමට පරිපූර්ණ සුදුසුකම්වලින් අනූන ශ්‍රේෂ්ඨ යතිවරයෙකු ලෙසයි.

මෙකල කොළඹ නගරයේ විසූ බෞද්ධ ප්‍රභූහු බුදු දහමත්, සිංහල ජාතියත්, භාෂා ශාස්ත්‍රයත් නඟා සිටුවීමට අවශ්‍ය කරුණු ගැන සාකච්ඡා කරමින් සිටියහ. බෞද්ධයන්ගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමත්, මිෂනාරී ව්‍යාපාරවලින් රට බේරා ගැනීමත් ඔවුන්ගේ මූලික පරමාර්ථයක් විය. සුමංගල හිමි පිළිබඳ කරුණු දත් ඔවුහු හික්කඩුවේ තිලකාරාමය වෙත ගොස් උන්වහන්සේ බැහැදැක ධර්ම ශාස්ත්‍ර ඉගැන්වීමට සුදුසු ආයතනයක් කොළඹ පිහිටුවන ලෙස ඉල්ලීමක් කළ හ. උන්වහන්සේ ආරාධනය පිළිගත්හ. ඒ වෙනුවෙන් දොන් පිලිප්පු සිල්වා ඈපා අප්පුහාමි, දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා ඇතුලු 13 දෙනෙකු ගෙන් යුත් සභාවක් මගින් මරදාන ප්‍රදේශයේ අප්‍රසිද්ධ ව පැවති භූමි භාගයක් මිලයට ගත්තේ ය. එහි ශ්‍රී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් විද්‍යෝදය පිරිවෙන ආරම්භ වුණි.

ශ්‍රී සුමංගල හිමියන් සතුව පැවති ප්‍රාමාණික ප්‍රඥා ශක්තිය තුළින් සමස්ත ලෝකයේ ම පාලි භාෂාවත්, ථෙරවාදී බුද්ධ ධර්මයත් පැතිරවීමට මෙය ඉතා හොඳම තෝතැන්නක් විය. මේ කාලය වන විට ශ්‍රී සුමංගල යන නාමය යුරෝපයේ පවා පැතිර පැවතියේ ය. විද්‍යෝදය පිරිවෙන ඇරඹීමත් සමගම පෙර අපර දෙදිසාවෙන් ම ධර්ම ශාස්ත්‍ර හැදෑරීමටත්, පාලි භාෂාව ඉගෙනීමටත් බොහෝ ශාස්ත්‍රවන්තයින් මෙරටට පැමිණියේ එබැවිනි. ලංකාවේ ද සියම්, අමරපුර හා රාමඤ්ඤ නිකායත්‍රයේ ම භික්ෂූන් වහන්සේ ශ්‍රී සුමංගල නාහිමි වෙත පැමිණ ධර්ම ශාස්ත්‍ර පිපාසය දුරුකර ගත් හ. ගිහි සාධු ජනයා වෛද්‍ය, නක්ෂත්‍ර ඇතුළු විෂයන් ද, භාෂාවන් ද ඉගෙන පරිහානිය කරා ගමන් කරමින් තිබූ අපේ පැරැණි ශාස්ත්‍රවලට නව ආලෝකයක් ගෙන දුන්හ.

විද්‍යෝදය පිරිවෙන පිහිටුවීම ගැන යගිරල පඤ්ඤානන්ද නාහිමියෝ ඉතා උචිත ව්‍යාංගාර්ථය මතුකරන සැසඳීමක් කරති.

ඈත පිටිසර පෙදෙසක ජලය කොළඹට ගෙනවුත් මහා ජනතාවකට දෙවා ඔවුන්ගේ පිපාසා සංසිඳුවන, බාහිර පවිත්‍රතාව ඇති කිරීමට මූලික ස්ථානය ලෙස මාලිගාකන්ද තෝරාගත්තේ සර් විලියම් හැන්රි ග්‍රැගරි ආණ්ඩුකාරතුමා ය. ස්වදේශීය විදේශීය ධර්ම ශාස්ත්‍රාභිලාෂීන් ගේ ධර්ම ශාස්ත්‍ර පිපාසා සංසිඳුවා බාහිර අභ්‍යන්තර පවිත්‍රතාව ඇති කිරීමට මූලස්ථානය ලෙස මාලිගාකන්ද තෝරාගන්නා ලද්දේ ශ්‍රී සුමංගල නායක හිමියන් විසිනි.

ග්‍රැගරි ආණ්ඩුකාරතුමා එකල ඇඳුරු පුරයක්ව පැවති කොළඹ නගරය ගෑස් ආලෝකයෙන් එළිය කරන්නට පටන් ගත්තේ ය. ශ්‍රී සුමංගල නායක හිමියෝ ලංකාව ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් බබලළවනු පිණිස විදුදය පිරිවෙන පටන් ගත්හ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ ශාස්ත්‍රීය සේවාව දෙස අවධානය යොමු කිරීමේ දී සිංහල, පාලි හා සංස්කෘත වශයෙන් තුන් වර්ගයකට අයත් වන පරිදි රචිත ග්‍රන්ථ සම්භාරයක් දක්නට ලැබෙයි. සිදත් සඟරාව වටහා ගැනීම දුෂ්කර කාර්යයක් වූයේ සුදුසු සන්නයක් නොමැතිකම නිසා ය. පළමුකොට ම එම කාර්යය සිදු කළ උන්වහන්සේ මහාවංසය සිංහලයට ද පරිවර්තනය කළ හ. බ්‍රාහ්මණ ධර්මය, වර්ණ රීතිය, සමය සංග්‍රහව, කාව්‍යශේඛර ව්‍යාඛ්‍යාව, සංස්කෘත සන්ධි ග්‍රන්ථය, මාසර්තු ලක්ෂණය, පාලි වරනැගිල්ල, සීමා විභාගය යනාදී ග්‍රන්ථ උන්වහන්සේ සම්පාදනය කළ හ. සරසවි, සඳරැස, සමය සංග්‍රහව, ලංකාලෝකය වැනි පත්‍ර සඟරා ආරම්භ කිරීමට මූලිකත්වය ගත් උන්වහන්සේ යෝග්‍ය කතුවරුන් පවා සොයාදීමෙන් අනුග්‍රහය කළහ.

එවකට පැවති පාරුපන වාදය, සව්සත්දම් වාදය, අධිමාස වාදය ආදී ධර්ම ශාස්ත්‍රීය වාදයන් හි එක් පක්ෂයක ප්‍රමුඛයා වූයේ ශ්‍රී සුමංගල නාහිමි ය. වරෙක ඕල්කට්තුමා පුබ්බේනිවාසානුස්සති ඤාණය තේරුම් ගැනීමට අනල්ප වෙහෙසක් දරා ලංකාවේ පඬිවරුන් සමගත් සාකච්ඡා කොට ඒ සියල්ල නිෂ්ඵල වූ පසු ශ්‍රී සුමංගල නාහිමියන්ගේ දේශනයෙන් එක් ක්ෂණයකින් අවබෝධ කර ගත්තේ ය. ප්‍රවෘත්ති පතුරුවා හැරීමේ මාධ්‍යය ඉතා දුර්ලභ වූ එකල ලංකාවේ ආරම්භ වූ විද්‍යෝදය පිරිවෙන ගැන තොරතුරු ලෝකයට පැතිර ගියේ ශ්‍රී සුමංගල නාහිමි නාමයත් සමඟ ය. ටිබැට්, ජපන්, ඉන්දියා, චිතගොන්, සියම්, බුරුම, කාම්බෝජ රටවලිනුත් එංගලන්ත, ඇමෙරිකා, ජර්මන් රටවලිනුත් විද්‍යාර්ථීන් මෙන්ම පඬිවරුන් ද මෙහි පැමිණියේ ථෙරවාද බුදු දහමත්, පාලි භාෂාවත් ඉගෙනීම සඳහා ය. ජපන් ජාතිකයන් වූ කොජින් ගුණරත්න හිමි, කොජිමා කොණ්ඩඤ්ඤ හිමි, ඉන්දියාවේ කෝසම්බික ධම්මානන්ද, මහාචාර්ය සතිශ්චන්ද්‍ර විද්‍යාභූෂණ, හරගෝවවිවින්ද විදේශීය ශිෂ්‍යයන් අතර වඩාත් ප්‍රකට ය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ශ්‍රී පාදස්ථානයේ නායක ධුරය ද, ගාලු පළාතේ සංඝනායක ධුරය ද, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය ද දරා ඇත. උන්වහන්සේගේ සාධු චරිතය මෙවන් සංක්ෂිප්ත විස්තරයකින් දැක්වීම බෙහෙවින් ම උගහට ය. එය පිටු සිය ගණනක් ලිවිය යුතු තරම් විස්තර සහිත වූවකි.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]