[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට : අකුසල් මුල් සිඳ කුසල් සිත් වඩමු

අකුසල් මුල් සිඳ කුසල් සිත් වඩමු

පින්වත් දරුවනේ, අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කරන සමයේ, ඒ නුවර එක් ග්‍රාමවාසී නිවෙසක පුණ්ණා නම් කාන්තාවක් ජීවත් වුණා. ඇය හරිම දුප්පත්. හරිම අසරණයි. ඒ වගේ ම මව්පියන්, සහෝදර සහෝදරියන් තබා කිසිදු නෑයෙක් ඇය ජීවත් වූ කුඩා පැල්පත ළඟපාතක සිටියේ නෑ. හුදකලාව ම වාසය කළේ. පුණ්ණාගේ ජීවිකාව මෙහෙකාරකම යි. රජගහ නුවර එක්තරා ධනවත් සිටු ගෙදරක ඇය බැල මෙහෙකම් කළා.

දවසක් සිටු දියණිය පුණ්ණා දාසියට යම් වැඩ කටයුත්තක් පැවරුවා. ඒ යම්කිසි උවමනාවක් සඳහා වී මලු විශාල ප්‍රමාණයක් සහල් බවට පත් කිරීමට යි. ඉතින් පුණ්ණා දැඩි මහන්සියකින් වී කෙටීමේ නිරත වුණා. උදේ පටන් සවස් වනතුරුත් වැඩ කළා. ඒත් වී කෙටීම නම් අවසන් වුණේ නෑ. ඇය රාත්‍රියේත් වී කෙටුවා. මැදියම් රැයත් උදා වුණා.

පුණ්ණාට හරිම වෙහෙසයි. ගතට පුදුම පීඩාවක් දැනුණා. ශරීරය දහදියෙන් නෑවිලා. ඇය මද වේලාවකට සිටු ගෙයින් පිටතට ආවා. සිසිල් මද පවනේ මද වේලාවක් විඩා හැරියා. මේ අතර ගිජ්ජකූඨ පර්වතය මුදුනේ අදහාගත නොහැකි මහත් ආලෝකධාරාවක් දිලිසෙන ආකාරය පුණ්ණා දුටුවා. ඇය බොහෝ වේලාවක් දෙනෙත් අයාගෙන ඒ දෙස බලා සිටියා. හරිම පුදුමයි. ටික වේලාවක් තවත් විමසිල්ලෙන් බලා සිටි ඇය ඒ පර්වතය මුදුණේ, ඒ ආලෝක ධාරාව අතරින් සක්මන් කරන භික්ෂූන් වහන්සේ කිහිප නමක් දුටුවා. ඒ දර්ශනයත් සමඟ ඇයගේ සිතෙහි ඇතිවුණේ මහත් කුතුහලයක්. ඇය ඒ ගැන නොයෙක් විදිහට සිතුවා. “මම නම් රාත්‍රියේත් නිදිවරාගෙන මේ විදිහට දුක් මහන්සි වෙන්නේ, වැඩ කරන්නේ ජීවත්වීම සඳහා යි. මගේ කුසගින්න නිවා ගැනීමට යි. ඒත් මේ භික්ෂූන් වහන්සේ එසේ නොවෙයි. උන්වහන්සේ යැපෙන්නේ ගිහියන්ගේ සිව්පසයෙන්. දවල් කාලයේ නම් කමක් නෑ. රාත්‍රියේත් නිදිවරාගෙන, පර්වතය මුදුණේ එළි දල්වාගෙන එහා මෙහා සක්මන් කරමින් කුමන කටයුත්තක නිරත ව සිටිනවා ද?

ආදී ලෙසින් කල්පනා කරමින් ම ඇය සිටුමැදුර තුළට ආවා. වී කෙටීම අවසන් වෙලා, සහල් ටික මලුවලට ඇසිරුවා. ඒවායේ කට බැඳ පසෙකින් තැබුවා. ගෙබිම පිරිසුදු කළා. තමන්ට පැවරුණු කාර්යය මනාව සම්පූර්ණ කළා.

ඉතින් පින්වත් දරුවනේ, මේ සමයේ ගිජ්ජකූඨ පර්වතය මුදුණෙහි වැඩ සිටි මහා සංඝයා වහන්සේ දිවා රාත්‍රී කියා භේදයකින් තොරව බණ භාවනාවන්හි යෙදෙමින්, වතාවත් කරමින් කාලය ගතකළා. උන්වහන්සේලාට සේනාසන පැනවීමේ කාර්යය පැවරී තිබුණේ දබ්බ මල්ලපුත්ත කියන භික්ෂූන් වහන්සේට. උන්වහන්සේ සෘද්ධිබල සම්පන්න රහතන් වහන්සේ නමක්. රාත්‍රී කාලයේ එම සියලු කාර්යයන් කරන ලද උන්වහන්සේගේ දකුණු අතෙහි සුළැඟිල්ලෙන් විහිදුවන ලද ආලෝක ධාරාවෙන් පැතිරී ගිය ආලෝකයේ ආධාරයෙන් ගිජ්ජකූඨ පර්වතය ආලෝකවත් වුණා. එදින රාත්‍රියේ පුණ්ණා නම් මෙහෙකාර ස්ත්‍රිය විසින් පර්වතය මුදුණේ දකින ලද ආලෝකය අන් කිසිවක් නොව දබ්බමල්ල පුත්ත රහතන් වහන්සේගේ සෘද්ධි බල ප්‍රාතිහාර්යයෙන් කරන ලද ආලෝකය බව මේ දරුවන් මතක තබා ගන්නට ඕනෑ.

ඉතින් දරුවනේ, පහන්වනතුරු ම වැඩ කළ පුණ්ණා දාසිය තමන් විසින් ඇල් සහලෙන් සාදාගන්නා ලද පිටියෙන් තමන්ට සෑහෙන පරිදි රොටියක් පිළියෙළ කළා. අධික මහන්සියත්, දහදිය වැගිරීමත් නිසා අපවිත්‍ර වී ගිය සිරුර සෝදා පිරිසුදු කරගන්නට ඇය ළඟම තිබෙන ජලාශයක් වෙත ගියා. ඉන්පසු තමන් සාදාගත් රොටියෙන් කුසගිනි නිවා ගන්නට සිතාගෙන තම පැල්පත දෙසට ආවා. ඒ එන අතරමග ඉදිරියෙන් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක ආනන්ද තෙරුන් වහන්සේ සමඟ පි¾ඩුසිඟා වඩින ආකාරය පුණ්ණා දුටුවා. ඇය ඉමහත් සතුටට පත් වුණා. තමන් විසින් සූදානම් කරන ලද ආහාරය බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමට සුදුසුම අවස්ථාවක් උදාවූවා යැයි සිතා දන් දීමට සිත් පහළ කරගත්තා. මීට පෙර පුණ්ණාට බුදුරජාණන් වහන්සේ හමු වුවද කිසිම දවසක පූජා කිරීමට තරම් කිසිම දෙයක් ඇය ළඟ තිබුණේ නෑ. මෙදින ඇය සතුටින් ප්‍රමෝදයට පැමිණියේ අනෙකක් නිසා නම් නොවෙයි. බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට සුදුසු ආහාරයක් තමන් සතුව තිබෙන නිසයි. ඇය තම අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීමේ අදහසින් තම හිසෙහි වූ පැසෙන් එළියට ගත් රොටිය දෑතට ගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගියා. උන්වහන්සේට දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කොට බුදුරජාණන් වහන්සේට දානමය ආහාරය පූජා කළා. එසේ පූජාකොට බුද්ධාදී උත්තමයන් වහන්සේ අවබෝධ කරගත් අමා මහ නිවන් සුවය තමන්ටත් ලබා ගැනීමේ පින ඒකාන්තයෙන් ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා.

දරුවනේ, පුණ්ණා ගේ දාන වස්තුව පිළිගත් බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් ඇයට පුණ්‍යානුමෝදනා පැවැත්වුවා. එහිම ගසක් මුල වැඩ හිඳිමින් ආහාරය වැළඳුවා. එය දැකීමෙන් මහත් වූ ශ්‍රද්ධාවට පත් පින් ඇති පුණ්ණාගේ සිත දැනගත් බුදුරජාණන් වහන්සේ ඇයගේ සිත තවත් පහන් කරනු පිණිස කෙටි ධර්ම දේශනාවක් පැවැත්වූවා.

“පින්වත් පූණ්ණාවනි, ඔබ ජීවත්වීම සඳහා දිවා රෑ වෙහෙස නො බලා නිදිවරාගෙන කටයුතු කරනවා නේද? මගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට එබඳු කරදරයක් ඇත්තේ නෑ. එසේ වුවද උන්වහන්සේලා දිවාරාත්‍රී නිදි නැතිව බණ භාවනා කරනවා. ඒ සංසාර දුකින් එතෙරවීමටයි. ඉපදීම දුකක්. ජීවත්වීම දුකක්. ලෙඩ රෝග ඇතිවීම දුකක්. මහලු වීම දුකක්. අවසානයේ මරණයට පත්වීමත් දුකක්. එසේ නොයෙක් ආකාරයේ දුක් ගොඩකට මුහුණ දීමට උපන් සත්ත්වයාට සිදුවෙනවා පුණ්ණා. දුක නැතිකර ගැනීමේ එකම මාර්ගය නිර්වාණය යි. ඒ නිසා ලෝභ, දෝස, මෝහ අකුසල් මුල් සිඳ බිඳ දමා දාන, සීල, භාවනා දී කුසල් සිත් වඩන්නට ඕනෑ. කෙලෙස් මුල් බිඳින්නට ඕනෑ. කෙලෙස් මුල් බිඳින තාක් උපන් සත්ත්වයා මරණයට පත්වෙනවා. නැවත උපදිනවා.දුක් විඳිනවා. ඒ නිසා ධර්මාවබෝධයෙන් කටයුතු කළ යුතුයි.” කියලා බුදුරජාණන් වහන්සේ බණ දේශනා කළා.

ධර්ම දේශනාව අවසානයේ පැහැදුණු සිත් ඇති පුණ්ණා සෝවාන් බවට පත් වුණා. පෙනෙනව නේද දරුවනේ, රොටියක් පූජා කර ඒ පින් මහිමයෙන්, ධර්මය අවබෝධ කරලා සෝවාන් බවට පත්වුණා.

දන්දීම ඉතාම වැදගත් කරුණක්. ශ්‍රද්ධාවෙන් දන් දීමෙන් බොහෝ දේ දැන ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා දරුවනේ, පුණ්ණා වගේ මහන්සිවෙලා, එකතු කරගත් දෙයින් දන් දෙන්නට මේ පින්වත් දරුවනුත් පුරුදු පුහුණු වෙන්නට ඕනෑ.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]