[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඳුරට එළියක් 06 : සුවඳ පූජාවේ අනුසස්

සුවඳ පූජාවේ අනුසස්

පහන් පූජා , සුවඳ පූජා ආදියෙහි බලවත් බව හොඳින් සිහියේ තබාගෙන, බලවත් ඕනෑකමකින්, ශ්‍රද්ධාවකින් යුක්තව ම පූජා විධි අනුගමනය කළොත්, අසනීප, අපල, උපද්‍රව, නවග්‍රහ දෝශ දුරුකරගන්න පුළුවන්. අවිඳු අඳුර දුරු කරගන්න පුළුවන්. පින්වන්ත, ගුණවන්ත ජීවිතයක් ගත කරගන්න පුළුවන්. සුගතියක ම වාසයෙන් නිවන් පසක් කරගන්නට පුළුවන්. එය වැදගත් ම ආනිසංස ඵලය යි.

සුවඳ පූජාව ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පැවැත්වීම ශ්‍රේෂ්ඨතම පූජාව යි. දුමක් වශයෙන්, වතුරක්, තෙලක්, කල්පයක්, චූර්ණයක් වශයෙන් ද , හඳුන් , කපුරු , සුවඳ මල් ආදී ද්‍රව්‍යයෙන් ද සුගන්ධ පූජාව කළ හැකි යි. සුවඳ පූජාව සුවිශේෂී ම පූජාවක්.

බුද්ධ ශාසනයේ ධූපදායක නමින් රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. මේ උත්තමයන් වහන්සේ මෙලෙස වදාරනවා. කල්ප අනූහතරකට පෙර ලොව සිද්ධාර්ථ නමින් ලොවුතුරා බුදුන් වහන්සේ නමක් පහළ වුණා. උන්වහන්සේ වැඩ වාසය කළ කුටිය හා ඒ අවට එක්තරා සැදැහැවතෙක් සුවඳ දුම් අල්ලමින් බොහොම සුගන්ධවත් කළා. ඒ සුවඳ පූජාවේ ආනිසංසයෙන් ගෞතම බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් ලෙස කල්ප අනූහතරක් මනුෂ්‍ය සම්පත් , දෙව්ලොව ශක්‍ර සම්පත් ආදිය ලබා කාටත් ප්‍රිය මනාප අයෙක් ව ආයු , වර්ණ, සැප, බල , ප්‍රඥා ආදී ආනිසංස දහයක් ද උපභෝග පරිභෝග ආදී වස්තූන් ද සීමාවක් නැතිව ලැබුවා. මේ කල්ප අනූ හතරම සතර අපාගාමී වුණේ නැහැ. අවාසනාවන්තයෙක් ලෙස උපත ලැබුවේ ම නැහැ. රහත් වන තුරාම මනුස්ස, දේව ආත්මභාවයන්හි පමණක් ම උපත ලැබුවා. සුවඳ පූජාවේ ආනිශංසයෙන් ලැබිය හැකි සියලුම සම්පත් ලැබුවා. මෙලෙස භවයක් පාසා කල්ප අනූහතරක් සුගතියක වාසය කර, ගෞතම බුද්ධ ශාසන කාලයේ පැවිදි බව ලබා සිව්පිළිසිඹියාවට පත්ව , මහරහත් භාවයට පත් වුණා.

ඒ අනුව ඔබ අප සියලු දෙනාම, මේ අනුසාරයෙන් සුවඳ දුම් පූජාවෙන් ලැබෙන පින, කල්පනා කර, අප්‍රමාණ බව වටහා ගත යුතු යි. එලෙසම තවත් එක්තරා රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේගේ මුවින් මානෙල් මල් සුවඳ විහිදී ගියා. බලන්න, කෙතරම්, පිනක්ද? එයත් මෙවැනි වූ පින්කම්වල විපාක වෙයි. හොඳ වචන කතා කිරීම නිසා සුවඳවත් ජීවිතයක් ලැබුණා. සුවඳ ධූප පමණක් නොවෙයි, සුවඳ වර්ග පූජාවෙන් ද මෙවන් පූජාවක් කළා හා සමාන වෙයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් අප මේ මහා සුවඳ පූජාව කරන්නේ. ඒ නිසා, කවුරුත් මෙය හොඳින් කියවා, ඉතිපි සෝ ... ගාථාව සජ්ඣායනා කරමින් සුවඳ ධූප දල්වා නියමිත තැන තැන්පත් කර දෙදණ නවා වැඳ මේ සුවඳ ධූප මාගේ බුදුරජාණන් වහන්සේට පූජා කරමි. පූජා වේවා යනුවෙන් සිතා පින සම්පූර්ණ කළ යුතු යි. එවිට කිසිවකින් අඩුපාඩුවක්, කරදරයක් වන්නේ ම නැහැ. සිත හොඳයි, නුවණ හොඳයි, පින වැඩි වෙයි. එබඳු පින්දහම් කරන අය ලොවේ බොහොම විරල වෙයි.

ඕනෑවට එපාවට පහන දල්වන්නට, සුවඳ දුම් අල්ලන්නට , මල් ටික අපිළිවෙළට පසෙකින් තබන්නට කිසිවිටකත් එපා. ඒ නිසා නිවැරැදිව එක පින්කමක් කළොත්, එය සංසාරයටම අගෙයි. ඉහත සඳහන් සුවඳ පූජාව කළ වාසනාවන්තයා, කල්ප අනූහතරක් සුගතියක ම වාසය කර නිවනට පත්වීම කෙතරම් අගනේ දැ’යි බලන්න. එලෙසම අපත් ගෞතම බුද්ධ ශාසනය තුළ දී හැකිතාක්, දාන, ශීල, භාවනා, පින්කම් වැඩි කළ යුතු යි. බුද්ධ පූජා, වන්දනා මාන වැඩි කළ යුතු යි. එවිට කිසිවකින් අඩු පාඩුවක් නැහැ. පුණ්‍යවන්ත , ගුණවන්ත, නැණවන්ත ජීවිත පෙළක් ලබාගෙන සංසාර සාගරයෙන් පවා එතෙර විය හැකි යි. තමාගේ ජීවිත පෙළ සකස් කර ගැනීම සඳහා මෙවැනි සුවඳ පූජා වැනි දේ ගෞරවයෙන් සිදු කළ යුතු යි.

සුවඳ පූජාවන් කිරීමට සුදුසු එකම ශාස්තෘවරයා සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණ යි. අද උන්වහන්සේ වෙනුවෙන් කෙතරම් සුවඳ පූජාවන් කරනවා ද? පෝය දිනයක කෙතරම් සුවඳ පූජා කරනවා ද? මේවා නිවැරැදිව කරගත්තා නම්, සිහි කල්පනාවෙන් කළා නම්, තම තමාට නිවන් දකින ජාති දක්වාම ආනිශංස ලැබිය හැකි යි. එලෙස පින නැතිවුණොත් සංසාරේ අන්ත අසරණ දුගී දුප්පත් කමෙන් පෙළෙන්නට වෙනවා. පින නැති නිසා සත්ත්වයන්ගෙන් සතර අපායන් පිරී පවතිනවා. මේවා ඉගෙන කියාගෙන , බහුලව පිනට දහමට යොමු වුණොත්, තම තමාටත් මෙලෙස අනුසස් ලබාගෙන මහා ඥාන සතරක් ලැබිය හැකි යි. එනම්, අත්ථපටිසම්භිදා ඥානය, ධම්ම පටිසම්භිදා ඥානය, නිරුක්ති පටිසම්භිදා ඥානය සහ පටිභාන පටිසම්භිදා ඥානය යි. මෙය සිව්පිළිසිඹියා ඥාන වෙයි. මේවා ලබා ගැනීම සඳහා ගැඹුරු බණ ඇසිය යුතු යි. ගැඹුරු ධර්මය දේශනා කළ යුතු යි. ගැඹුරින් සිතීම, මෙනෙහි කිරීම ආදිය කළ යුතු යි. එවිට ඥානය ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඥානය ලබා ගැනීම යි, වැදගත් කාරණය. ඥාන ශක්තිය ලබා ගැනීමේ ක්‍රම අනුගමනය කිරීමේ ක්‍රම වැදගත්. එයින් පිහිටා අප සුවඳ පූජාව කළ යුතු යි. පහන් පූජා , සුවඳ පූජා ආදියෙහි බලවත් බව හොඳින් සිහියේ තබාගෙන, බලවත් ඕනෑකමකින්, ශ්‍රද්ධාවකින් යුක්තව ම පූජා විධි අනුගමනය කළොත්, අසනීප, අපල, උපද්‍රව, නවග්‍රහ දෝශ දුරුකරගන්න පුළුවන්. අවිඳු අඳුර දුරු කරගන්න පුළුවන්. පින්වන්ත, ගුණවන්ත ජීවිතයක් ගත කරගන්න පුළුවන්. සුගතියක ම වාසයෙන් නිවන් පසක් කරගන්නට පුළුවන්. එය වැදගත් ම ආනිසංස ඵලය යි.

මේ ගැන හසල දැනුමකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වන තුරු සංසාරයේ දුක් විඳිය යුතු යි. ඒ නිසා දුකෙන් නිදහස් විය යුතු යැ’යි යමෙක් සිතුවා නම්, කල්පනා කරා නම්, සැමටම මේ කියන ආනිසංස ටික හොඳින් ලැබෙයි. ලොවුතුරා බුදුවරු ලොවේ දුලබ බැවින්, සිල්වත්, ගුණවත් උතුමෝ ලොවේ දුලබ වෙයි. එසේනම්, බුද්ධ ශාසනය පවතින තුරා, වැඩි වැඩියෙන් දානාදී කුසල ධර්ම රැස් කළොත්, එයම පාරමී සංඛ්‍යාවට වැටී නිවනට පත් වෙන්න තිබෙන්නේ. බුද්ධ ශාසනයක දී තුනුරුවන් වෙනුවෙන් යම් පූජාවක් කළොත්, එය දිගු කලක්ම තමන්ට සැප විපාක ලැබිය හැකි යි. එසේනම් සුවඳ පූජාවට අගෞරව නොකර එය බහුලව නිවන් සුව පතාගෙන කරගත යුතු යි. එවිට කිසිවකින් අඩු පාඩුවක්, කරදරයක්, නැතිව මේ සංසාර සාගරයෙන් පවා නිදහස් විය හැකි යි. මේ ගැන හසල දැනුමකින් ශීලාදී ප්‍රතිපත්තිවැඩි කරගෙන , තම තමාට සංසාර ගමනේ කෙළවරක් දැක ගත හැකි යි. ඒ නිවන් සුව පතා ගත්ත අයට යි. නිවන් සුව ලැබේවා පැතුමෙන් ඕනෑම කෙනෙක් පිනක් දහමක් කළොත්, එයින් තමන්ට සැප විපාක ලැබෙනවා ම යි. අපාය ආදියෙන් අත්මිදී සුගතියක වාසයෙන් නිවනට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ගැන සිතා, කල්පනාවෙන්, පින වැඩිකර ගැනීමෙන් තමන්ට සැප විපාක ලැබෙනවා.

එසේනම්, බුද්ධ, ධම්ම , සංඝ ත්‍රිවිධ රත්නයට ජාති,ආගම් , භේද වංශවලින් තොරව ඕනෑම කෙනෙක් සුවඳ පූජාව කළොත්, ඒ සැමටම සැප විපාක ලැබෙයි. දාන, ශීල, භාවනා වශයෙන් තියෙන්නේ පින් වැඩි කරගන්නයි, මවට පියාට, සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ආදියෙන් තම තමා දියුණු තියුණු කරගත් විට විපාකය තමන්ටම ලැබෙයි. මේ ගැන සිතා කල්පනාවෙන් කවුරුත්, සුගන්ධ ධූප ආදී පූජාවන් ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් , ඕනෑකමෙන් කළොත්, තමන්ටත් දිගු කලක්ම සැප විපාක පිණිස ම පවතියි. මේ ගැන සිතා කල්පනාවෙන් තුනුරුවන් වැඩ සිටින කාලයේ උපත ලබා, තුනුරුවන්ට මෙබඳු පූජාවක් කරගත් විට අපට නිවන් දකිනා ජාති දක්වා ම සැප විපාක ලැබෙයි. කිසිවකින් අඩු පාඩුවක් කරදරයක් වෙන්නේ නැහැ. සිහි කල්පනාවෙන් යුක්තව දාන මාන පිළියෙළ කළොත්, එයින් ලැබෙන විපාකය දිගු කලක්ම සැප විපාක ලැබීම යි. මෙලෙස කලාතුරකින් ලැබුණා වූ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන සීලාදී ප්‍රතිපත්ති ද දියුණුවෙන් කටයුතු කළොත්, අපටත් පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ති ලක්ෂණ නිවන් සම්පත් අවබෝධ කරන්නට. එහෙමනම් කාගෙත් සිත පිරිසුදු කරගෙන මේ සුවඳ පූජාව කරගත යුතු යි. සූදුව, සුරාව, දුරාචාරය වැළකී පංච සීලය රැකගත යුතු යි. දාන මාන පින්කම් ආදිය කරගැනීමෙන් සංසාරෙටම වැදගත්. එවැනි ශ්‍රද්ධාවකින් , ගෞරවයකින්, ඕනෑකමකින් , චිත්ත ප්‍රසාදයෙන් කරගනු ලබන පින්කමෙන් මෙලොව යහපත, පරලොව සුගතිය සහ නිවන් පසක් කර ගැනීමටත් ප්‍රාර්ථනාව තබා ගන්න.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]