[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියදිවි හානි කර ගන්නේ ඇයි?

සියදිවි හානි කර ගන්නේ ඇයි?

තමන්ගේ හෝ අනුන්ගේ ජීවිතයට හානි කර ගැනීම හෝ හානි කිරීම බුදු දහම අනුමත කරන්නේ නැහැ. තමන්ගේ හෝ අනුන්ගේ ජීවිතයට හානි පමුණුවා ගැනීම හෝ නසා ගැනීම බරපතළ පාප කර්මයක් ලෙසයි දැක්වෙන්නේ. කෙනෙක් සිය දිවි නසා ගැනීම අනුන්ගේ ජීවිතය නැති කරනවාට වඩා අඩුවෙන් පව් සිදු වන ක්‍රියාවක් ලෙසට සැලකිය හැකියි.

නමුත් වැඩියෙන් පව් සිදු වන්නේ සිය දිවි හානි කරගැනීම හෙවත් සියදිවි නසා ගැනීම තුළිනු යි. මේ ලෝකයේ ජීවත් වන අයගෙන් අප වඩාත් වැඩියෙන් ආදරය කරන්නේ අපට යි. තමන් නසා ගන්නවා කියන්නේ ඒ වඩාත් වැඩි ආදරය, මැඩ පවත්වා ගැනීමට සමත් ද්වේශයක් සිත තුළ ඇති කර ගත්තා ය කියන අදහස යි. එවන් දැඩි ද්වේශයකින් සිදු කරනු ලබන ඝාතනයෙන් සිදු වන පව ප්‍රබල යි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ මේ ප්‍රබල පාප කර්මය බහුල ව සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා. විවිධ හේතුන් නිසා සියදිවි හානි කරගන්නා අයගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවකුයි පෙනෙන්නේ.

කෙනෙක් සිය දිවි හානි කර ගන්නේ ඇයි? දරාගත නො හැකි මානසික පීඩාවන්ට ලක් වන අය ප්‍රශ්නයෙන් මඟ හරින්නට තාවකාලික විසඳුමක් ලෙස සිය දිවි හානිකර ගැනීම සිදු කර ගන්නා බවක් මූලිකව ම පෙනී යන කරුණක්. තාවකාලික විසඳුමක් ලෙස එය සිදු කළත්, සාංසාරික වශයෙන් ප්‍රශ්නයෙන් මිදීමට එය විසඳුමක් නොවේ. එයින් තමාගේ ආධ්‍යාත්මයට ද වන හානිය කියා නිම කරන්න බැහැ. මිනිසුන් දරා ගත නොහැකි කායික හා මානසික වේදනාවන්ට පත් වන්නේ ඔවුන් විසින් ම සංසාරයේ කරන ලද අකුසල කර්මවල විපාක වශයෙන් බව බොහෝ දෙනා වටහා ගන්නේ නැහැ. ඔවුන් එලෙසින් ඉපදී සිටින්නේ ම තමන් විසින් පූර්ව ජන්මවල සිදු කරන ලද අකුසල කර්මවලට මුහුණදීම පිණිස යි. එසේ නම් එයින් පලායාම විසඳුම නොවේ. ඒවාට ශක්තිමත් ව මුහුණ දී අතීත කර්ම ශක්තිය ගෙවා දැමීම යි, කළ යුතු වන්නේ. දියුණු කිරීමට හැකි මනසක් ලැබී තිබෙන මොහොතේ, එවන් බරපතළ අකුසල කර්ම විපාකවලට මුහුණදීමට ශක්තිය තිබෙන මොහොතේ, ඒවාට මුහුණදීලා ම, තමන්ගේ කර්ම විපාක ප්‍රමාණය අඩු කරගන්නට උත්සාහ කරනවා වෙනුවට, ඒ කර්ම විපාක හමුවේ ඒවා සමඟ යළි යළිත් ගැටී තවත් අකුසල කර්ම රැස් කර ගන්නට පෙළඹීම සැබැවින් ම නො දැනුවත්කම මත සිදු කරන්නක්.

තවත් පැත්තකින් බලන විට සිය දිවි හානි කර ගන්නේ ආත්මාර්ථකාමී බව නිසයි. යමෙක් යම් වේදනාවක් විඳින විට, ඔහු අන් අය ගැන නො සිතා තමා ගැන ම පමණක් සිතා, තමන්ගේ වේදනාව නැති කර ගැනීම පිණිස, තමන්ගේ ප්‍රශ්නයෙන් මිදෙනු පිණිස සිය දිවි හානි කර ගන්නේ නම් එය ආත්මාර්ථකාමී ක්‍රියාවක්ම යි. සියදිවි තොර කර ගැනීමෙන් ඔහු තමන්ගේ ප්‍රශ්නයෙන් තමන්ට මිදෙන්න හැකියාව තිබෙනවා යැයි සිතුවත්, ඔහු තමන්ගේ එම ක්‍රියාව නිසා ඔහුට සම්බන්ධ වී සිටි, ඔහුට ආදරය කළ, දෙමාපියන්, දූදරුවන්, ස්වාමි භාර්යාවන්, ඤාතීන්, හිතමිතුරන් ආදී තවත් බොහෝ දෙනා වේදනාවට ඇද දමනවා. තමා විසින් බරපතළ අකුසල කර්මයක් රැස් කර ගන්නවා පමණක් නොව, අන් අයට ද බරපතළ දුකකට වැටෙන්නට මග සලසා දෙනවා. මෙලෙසින් සිය දිවි හානි කර ගැනීමට හුදෙකලාව, මානසික අවපීඩනය වැනි කරුණු ද හේතු වන බව එවන් සිදුවීම් දෙස බලන විට වටහා ගැනීම අපහසු නොවේ. එසේම ඇතැමෙක් තව කෙනෙකුගෙන් පලිගැනීමට, කෙනෙකුට පාඩමක් ඉගැන්වීමට ද සිය දිවි හානි කර ගන්නා අවස්ථා දකින්නට තිබෙනවා. සිය දිවි නසා ගන්නේ ඍණාත්මක සිතිවිලි ඇති අය යි. කිසිවෙකුගේ සිතට ඍණාත්මක සිතිවිල්ලක් ඇති වූ සැණින් කළ යුත්තේ එම සිතිවිල්ල සිතින් අයින් කර දැමීම යි.

ඉවසීමක් නැතිකම ද සිය දිවි හානි කර ගැනීමට හේතු වෙන ප්‍රධාන මානසික ස්වභාවයක්. මේ ඉවසීමක් නැතිකම හමුවේ ඇති වන ශාරීරික හා මානසික පීඩන, ආර්ථික ප්‍රශ්න, පවුල් ආරවුල්, මව්පිය දූදරු අඬදබර, මව්පිය සෙනෙහස අහිමිව යාම, පේ‍්‍රම සබඳතා කඩවීම් ආදි ගැටලු පාදක කර ගෙන බොහෝ දෙනා විසඳුම් සොයන්නේ සියදිවි හානි කර ගැනීම තුළිනි. බොහෝ දෙනා එය ක්ෂණික විසඳුමක් ලෙස සලකා ගෙන සිදු කළත් සැබැවින් ම එය දීර්ඝ සංසාරයේ අප්‍රමාණ දුක් වේදනාවන්වලට, ප්‍රශ්න අර්බුදවලට තමන් ඇද දමා ගැනීමක්. යමෙක් තමන්ට අල්ප මාත්‍ර වූ ත් ආදරයක් තිබෙන්නේ නම්, කිසිදා සිය දිවි හානි කර ගැනීමට පෙළඹෙන්නේ නැහැ.

කවර හේතුවක් නිසා හෝ සියදිවි හානි කර ගත්තත්, එය සමාජයට අහිතකර දෙයක්. මෙකල ඇතැම් තරුණ තරුණියන් සියදිවි හානි කර ගැනීමට පෙළඹී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව වන්නේ ඇතැම් විට මව්පියන් සමඟ ඇති කර ගන්නා අඬදබර ය. නැතහොත් පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටීම් ය. සැබැවින් ම මෙවන් අවස්ථාවල දී කළ යුත්තේ සිය දිවි හානි කර ගැනීම නොවේ. කිසියම් ප්‍රශ්නයක්, ගැටලුවක් උද්ගත වූ අවස්ථාවක එවන් ගැටලුවක් උද්ගත වුණේ ඇයි දැයි නුවණින් කල්පනා කර බැලිය යුතු වෙනවා. මෙසේ බලන විට තමන්ගේ පැත්තෙන් ද වරදක් වී තිබේ නම් අනතිමානී ව එම වැරැද්ද පිළිගෙන නිවැරැදි විය යුතු වෙනවා. සිදු වූ වැරැද්ද තුළින් තමන් ද පාඩමක් ඉගෙන නැවත එවන් තත්ත්වයක් ඇති කර ගන්නේ නැතිව කටයුතු කරනවා යැයි සිතට ගත යුතු වෙනවා. තමන්ගේ සිතට වේදනා දෙන කිසියම් ප්‍රශ්නයක් වේ නම් තමන්ට අතිශයින් ම විශ්වාසවන්ත කෙනෙකු සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගත යුතු වෙනවා.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]