[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අව අටවක 2019.11.19

අත නොහැර යන සෙවණැල්ල


කායික, වාචසික සංවරය පුද්ගල ජීවිතයට ආභරණයකි. දෙලොව වැඩ සලසන්නකි. එහෙත්, බොහෝ දෙනෙකු වෙත නො පිහිටන්නේ ද එයම බව ඇස ගැටෙන, කන වැකෙන බොහෝ දෙයින් ගම්‍ය වන්නේ ය. මිනිසා අසංවර වීම නිසා සමාජය උඩු යටිකුරු වී යන ස්වභාවයක් ඇතැම් අවස්ථාවන් හි දෘෂ්‍යමාන වේ. මමත්වය බැහැර කරන බුදු දහම වෙසෙසින් ගිහියාට පළමුකොට උගන්වන්නේ කායික, මානසික සංවරයෙන් යුතු ව ජීවිතය හැඩ ගස්වා ගන්නා ලෙස ය. ඒ සඳහා ගිහි ප්‍රතිපදාවක්, නිත්‍ය ශීලයක් ‘පංච ශීලය’ නමින් හඳුන්වා දී තිබේ. එහෙත් ඒ ප්‍රතිපදාව සැබැවින්ම අප ජීවිතයට ප්‍රතිපත්තියක් කරගන්නවා ද?

ඉන් බැහැරවන්නෝ සිටිත් නම් ඔවුහු කිසිදු ලෙසකින් හෝ බෞද්ධයන් ලෙස අර්ථ ගැන්විය නොහැකි ය. සැබෑ බෞද්ධයා නම් මනා අවබෝධයෙන් යුතුව ත්‍රිවිධ රත්නය සරණගිය පුද්ගලයා ය. උපාසක යන නාමය හිමිවන්නේ ඔහුට ය. හේ, සම්බුදු රජාණන් වහන්සේට කීකරු ය. ශ්‍රී සද්ධර්මයට කීකරු ය. උතුම් සංඝරත්නයට කීකරු ය. කීකරුකම නම් කී දෙය කිරීම ය. ඒ අනුව යෑම ය.

සම්බුදු දහම මනසට මුල්තැන දුන් ශ්‍රේෂ්ඨ දහමකි. සිත දවන, තවන, දැඩි ලෙස වධ වේදනාවන්ට ලක් කරන, අවුල් වියවුල් කරන ලෝභ, ද්වේෂ, මෝහාදී අකුසල මූලයන්ගෙන් මිදුණු මනසින් කටයුතු කරන පුද්ගලයා තමන්ගේ යහපත තමන් ම උදා කරගන්නා බව, තථාගතයන් වහන්සේ දේශනාකොට වදාළහ. ඒ සදහම් මග යනවා නම් අප නිරන්තරයෙන් උත්සාහ කළ යුතු ඒ අකුසල මූල ප්‍රහාණය කොට අලෝභ, අද්වේෂ, අමෝහ ආදී කුසල සිතිවිලි වඩා වර්ධනය කර ගැනීමට ය. තමන් තමන්ට ම අවංක වී, තමන් ගැනම යම් විමසීමක් කරනවා නම් සැබැවින් ම අපගේ ශාස්තෘවරයාණන් වහන්සේට කීකරු බුද්ධ ශ්‍රාවකයෙකු වේ ද, නොවේ ද යන්න තමන්ට ම නිශ්චය කරගත හැකි ය.

නිරන්තරයෙන් අකුසල සිතිවිලි දුරු කරන්නට ම සිතිවිලි මෙහෙයවන සුපසන් පුද්ගලයාට පන්සිල් පද පහ ආරක්ෂා කර ගැන්ම අසීරු නොවේ. පන්සිල් සුරකිනවා යනු පළමුකොට තමන් සුරැකීම ය. දෙවනුව සමාජය ම සුරැකීම ය.

සුපසන් සිතිවිලි පුද්ගල මනස නිරෝගී කරයි. ගත ද නිරෝගී කරයි. කෙළවරක් නොවී පැමිණෙන අනේකවිධ ප්‍රශ්න, ගැටලු, අභියෝග ඉදිරියේ ඒවාට ශක්තිමත් ව මුහුණ දීමට හැකි කීයෙන් කී දෙනාට ද? ඒ නොහැකියාව ඇති වන්නේ සිතිවිලි නිරවුල් නොවූ විට ය. ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරී සිතිවිලිවලින්, පළි ගැනීමේ සිතිවිලිවලින් මිදී සකල ලෝක සත්ත්වයාට ම කරුණාව, දයාව, මෛත්‍රීය පැතිරවීමට හැකි තැනට සිත සකසා ගත හැකි නම්, ඒ ආධ්‍යාත්මික ජයග්‍රහණයකි. එහි වටිනාකම අමිල ය.

අස්වනු ලැබෙන්නේ අප වපුරන දේ අනුව ය. තල වපුරා මුං හෝ, මුං බීජ වපුරා තල බලාපොරොත්තු විය නොහැකි ය. එමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ අප කරන කියන දේ අනුව ය. සිතිවිලි මෙහෙයවන ආකාරය අනුව ය. අපට වැරැදුණු පසු එහි වරද කිසිවෙකුටත් පැවරිය නොහැකි ය. තමන්, තමන් ගැන ආරක්ෂාකාරී විය යුතු යි. ඒ සඳහා අපට උතුම් මාර්ගෝපදේශයක් ඇත.

ජීවිතය ගෙවී ගිය කාලය අවුරුදු කීයක් ද? ඒ කාල සීමාවේ වෛරී සිතින්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ලෝභයෙන්, මෝහයෙන් මත් වී ලද ජයග්‍රහණයක් වේ ද? අවබෝධයෙන් සිතා බැලුවේ නම් ලැබුණේ පරාජය, හිස්බව මිස අන් කිසිවක් නොවන්නේ ය.

මඩේ සිට වූ ඉන්නට ශක්තිමත් බවක් නැත. කවර අතටත් සැලෙන්නේ ය. එය ගිලීහී වැටෙන්නට ද පුළුවන. නැතිනම් මඩෙහිම ගිලී යන්නට ද පුළුවන. අප ඇසුරු කරන ඇතැම් පුද්ගලයන් ද මේ ගොහොරු මඩ වැනි ය. අයහපත් ආශ්‍රය කරන පුද්ගලයා ද ගොහොරු මඩක සිට වූ ඉන්නක් වැනි ය. අප වහා ම මේ අන්ධ බවින් ගොඩ ආ යුතු වේ. අපට දෙලොව ම යහපත සලසන කල්‍යාණ මිතුරකු අපට සිටී. ඒ උතුම් සද්ධර්මය යි. ඒ දහම ජීවමානව අප සමීපයේ ම වේ. කළ යුතු අවබෝධයෙන් ඒ ධර්මය ජීවිතයට ගළපා ගැනීම ය. ධර්මානුකූලව සිතිවිලි මෙහෙය වීම ය.

කුසල ධර්මයන්ට මුල් වන්නේ සිතම ය. ඒවා සිත ම පෙරටු කොට පවතී. ශ්‍රේෂ්ඨ කොට පවතී. සිතින් ම උපදී. හොඳ සිතින් යමක් කියයි නම්, කරයි නම් සිරුර හැර නොයන සෙවණැල්ල සේ සැපය ඔහු පසු පස ලුහු බඳින්නේ ය. ඒ බුදු වදන ය.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]