[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 45: පොළොන්නරුවේ කුමාර පොකුණ රාජකීය ස්නාන තටාකය

පොළොන්නරුවේ කුමාර පොකුණ රාජකීය ස්නාන තටාකය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

" ස්නානය කිරීමේ දී ඒ අසලින් මණ්ඩපයක් නිර්මාණය කිරීම පොකුණූ නිර්මාණයේ සුවිශේෂ ලක්ෂණයකි. මෙවැනි මණ්ඩප සීගිරියේ එම පොකුණු අසල ද දක්නට ඇත."

පොළොන්නරු රාජධානි සමයෙහි රාජකීය මාළිගා සංකීර්ණයක දක්නට ඇති ලක්ෂණයක් නම් ස්නාන තටාක ය යි. තෝපාවැව අසල නිශ්ශංකමල්ල රජුගේ මාලිගය පිහිටියාක් මෙන්, මහා පරාක්‍රමාබාහු රජුගේ මාළිගා සංකීර්ණයෙහි ද අත්‍යවශ්‍ය ලක්ෂණය වූයේ, රාජකීය පොකුණ ය. මහා පරාක්‍රමබාහු රජුගේ රජ මාළිගයේ මගුල් උයනෙහි පිහිටි “ශිලාමය පොකුණ” යන අරුතින් වංසකතාව (මහාවංසයේ දෙවැනි කොටසේ) එය “ශිලා පොක්ඛරණි” යනුවෙන් හඳුන්වා තිබේ.

මෙය මෙකල කුමාර පොකුණ නමින් හැඳින්වේ. පොළොන්නරුවේ ඇතුළු නුවර ප්‍රාකාරයේ සිට ,පොකුණට යෑම පිණිස පහළට යොදා ඇති පියගැට පේළියකි. එම උයන ආයත චතුරස්‍රාකාර හැඩයකින් යුක්ත ය. එමෙන් ම නැගෙනහිර සිට, බටහිරට අඩි 44 සහ උතුරේ සිට දකුණට අඩි 38 පමණ වේ. ශිලාමය වු මුහුණතින් යුක්ත පියගැට පෙළ ඉහළ සිට පහළට අනුක්‍රමයෙන් කුඩා වන ලෙසට නිර්මාණය කර ඇත. මෙම කුමාර පොකුණට බැසීම සඳහා බටහිර දිසාවෙන් ගල් අතුරන ලද පියගැට පේළියකි. දොරටුව දෙපස සිංහරූප දෙකකි. බටහිර දිසාවෙන් මකර හැඩයෙන් යුත් පිහිලි දෙක කි. අනෙක් තුන් දිසාවෙන් ද මෙම ස්වරූපය දක්නට ලැබේ.

එම පොකුණට ජලය ලබාගෙන ඇත්තේ මකර කටක හැඩයෙන් යුත් ගල් පිහිළිවලිනි. ඒවා පොකුණට පිවිසෙන ප්‍රධාන දොරටුව දෙපස හා අනෙක් පැතිවල එකක් බැගිනුත් දක්නට ඇත. පොකුණේ වටා ඇති බිත්තිය පැති විශාල සංඛ්‍යාවක් සහිත ව පිටත ට පන්නා නිර්මාණය කර ඇත.

(පොළොන්නරුවේ පැරැණි ස්මාරකයන්හි චිත්‍රගත සැරසිලි හා මෝස්තර මහාචාර්ය සරත් ඤාණසිරි මල්දෙණිය පි. 87- 2016)

මේ අනුව පොළොන්නරුවේ නටබුන් අතර ආගමික ගොඩනැගිලි ආශි‍්‍රත ව සංඝ රත්නයෙහි ප්‍රයෝජනය සඳහා ඉදිකළ පොකුණු මෙන්ම රජ පවුල හා ප්‍රභූන් සඳහා ද ඉදිවූ පොකුණූ දැකිය හැකි ය. සංඝයා වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කරන ලද පොකුණු සෑහෙන ප්‍රමාණයක් පොළොන්නරුවේ නටබුන් අතර තිබෙන නමුදු ඒවා විවිධ මූර්ති කැටයමින් අලංකාර කර නැත.

කුමාර පොකුණ හෙවත් මඟුල් පොකුණ පොළොන්නරු ඇතුළු නගරයෙහි නැගෙනහිර දිසාවට පහත බැසීම සඳහා ඇති පියගැට පෙළ කෙළවර පිහිටියේ ය. කුමාර පොකුණ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ගොඩනගන ලද නිර්මාණයකි. නන්දන උයනේ පිහිටි එම පොකුණ හැඳින්වූයේ “ශිලා පොක්ඛරණි” යන නමින් ය. කුමාර පොකුණට අවශ්‍ය ජලය රැගෙන ඇත්තේ ඒ අසල පිහිටි පරාක්‍රම සමුද්‍රයෙනි. පොකුණුවලට ජලය ලබා ගැනීමේ දී ඊට යාබදව පිහිටි ඇළ දොළ වැව් යනාදිය ඊට සම්බන්ධ කර ගත් බව පෙනේ. සීගිරියේ පිහිටි පොකුණු සංකීර්ණයට අවශ්‍ය ජලය ඊට යාබද ව පිහිටි වැවෙන් ලබාගන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. අපවිත්‍ර ජලය පිට කිරීමට පොකුණේ නැගෙනහිර දෙසින් සොරොව්වක් දක්නට ඇත. සොරොව්වේ සිට නැගෙනහිර දෙසින් ඇති පහත්බිම දක්වා අගලක් කපා ඇත. මෙය වැසි ජලය රැඳි, පොකුණ පිරී යෑම වැළැක්වීම සඳහා කරන ලද්දකි. කුමාර පොකුණට අසලින් ගොඩනැගිල්ලක අත්තිවාරම් හමු වී ඇත. ගොඩනැගිල්ලට නැගෙනහිරින් පවුර මැදින් වැසුණු දොරක් තිබී ඇති අතර, එයින් පොකුණේ මායිම් ව පියගැට පෙළක් තිබී ඇත. පොකුණේ විශේෂත්වය අනුව මෙය ස්නානය කිරීම සඳහා ගොඩනගන ලද එකක් බව සඳහන් වෙයි. ස්නානය කිරීමට පැමිණීමේ දී ඇඳුම් පැළඳුම් ආභරණ ආදිය ඉවත්කොට ස්නානය සඳහා ඇඳුම් ඇඳීමට උපකාරවීමට මෙම ගොඩනැගිල්ල අසලින් පිහිටා තිබෙන්නට ඇත. ස්නානය කිරීමේ දී ඒ අසලින් මණ්ඩපයක් නිර්මාණය කිරීම පොකුණූ නිර්මාණයේ සුවිශේෂ ලක්ෂණයකි. මෙවැනි මණ්ඩප සීගිරියේ එම පොකුණු අසල ද දක්නට ඇත. කුමාර පොකුණ අලංකාරයක් මිස නාන පොකුණක් වශයෙන් නම් අනුරාධපුරයේ මඟුල් උයනේ පොකුණ තරම් උසස් නොවන බවට දක්වන අදහස් ද ඇත. තුන් නලයකින් යුක්ත කුමාර පොකුණ පොළොන්නරුවේ පිහිටි නෙළුම් පොකුණට වඩා නිර්මාණ ශිල්පය අතින් උසස් ය.

(පුලතිසි වංශය ග්‍රන්ථය සංස්කරණය නිහාල් පී. ජයතුංග මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන ලියූ පොළොන්නරුවේ නාගරීකරණය සහ වාස්තු විද්‍යා සම්ප්‍රදාය ලිපිය පි. 365-366 - 2009 සංස්කෘතික කටයුතු හා ජාතික උරුමය පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රකාශනයකි. )

කුමාර පොකුණ හා බාහිර ඇළ අතර සුපරීක්ෂාකාරීව පිහිටුවන ලද කැසිකිළිය වෙයි. මෙම උද්‍යානයෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් නම්, වෑස්සෙන ජලයෙන් ස්නානය කිරීම සඳහා පිහිටුවන ලද ස්ථානය යි. එය නළ මගින් සෙමෙන් වැස්සෙන ජල ධාරාවක් හෙයින් වලාකුළු වැස්සක් හෙවත් තුෂාර වර්ෂාවක් සේ හඳුන්වා ඇත. වෘක්ෂලතා මල් පැළ ද උද්‍යාන තටාකය වටා වර්ධනය වී ඇත. වර්ග තුනකින් යුක්ත පිච්ච , රතු හා නිල්, පැහැයෙන් යුක්ත නෙලුම් ද, විශාල වශයෙන් මුළු පරිසරය පුරාම විහිදී තිබෙනු දක්නට ලැබේ. පොළොන්නරුව පුරවරයේ නැගෙනහිර ප්‍රාකාරය සැතපුම් කාලක් පමණ උතුරු දෙසට ප්‍රාකාරයෙන් පිටත පිහිටි කුමාර පොකුණට මායිම් ව ඇත. එලෙසින් ම බටහිර ප්‍රාකාරය නැගෙනහිර ප්‍රාකාරයට සමාන්තර ව ප්‍රාකාරව සමුද්‍රය දෙසින් මහාපරාක්‍රමබාහු රජුගේ රජ මාළිගය දෙසට විහිදෙයි.

පොළොන්නරුවේ මධ්‍යකාලීන ලක්දිව අගනගරය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 137 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. – 1998)

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]