[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිලින්ද ප්‍රශ්නය 11:  ඤාණය හටගත් සැණින් මුළාව නිරුද්ධ වෙයි

ඤාණය හටගත් සැණින් මුළාව නිරුද්ධ වෙයි

'මිළිඳු රාජ ප්‍රශ්න' නම් දුර්ලභ දහම් සංවාදය තුළින් නාගසේන මහ රහතන් වහන්සේගේ විශ්මිත ප්‍රඥාවත්, ඉවසීමත්, අවබෝධයත්, ශාස්තෘ ගෞරවයත් මැනවින් ඉස්මතු වේ.

නාගසේන මහරහතන් වහන්සේ විනා වෙන කවරෙකුටවත් මිළිඳු රජුගේ මෙම ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු දීමට නොහැකි වනු ඇත. නාගසේන මහරහතන් වහන්සේ ඉතා පහසුවෙන් අංග සම්පූර්ණ ලෙස බුද්ධ වචනය ඉස්මතු කරමින් මැනවින් පිළිතුරු දුන් සේක. අද තවත් ගැටලුවක් මෙසේ සාකච්ඡා කරමු.

මිළිඳු රජතෙමේ මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, යමෙකුට ඤාණයක් උපදිනවා ද?, ඔහුට ම ද ප්‍රඥාව උපදින්නේ?”

“එසේය මහරජ, යමෙකුට ඤාණයක් උපදිනවා ද, ඔහුට ම යි ප්‍රඥාව උපදින්නේ.”

“කිම? ස්වාමීනි, යම්මැ වූ ඤාණයක් ඇද්ද, ඒ ප්‍රඥාවත් එයම ද?

“එසේය. මහරජ, යම් මැ වූ ඤාණයක් ඇද්ද, ඒ ප්‍රඥාවත් එයම වන්නේ ය.”

“ස්වාමීනි, යමෙකුගේ යම් ඤාණයක් ඇද්ද, යම් ප්‍රඥාවක් ඉපදුණේ වෙයි ද, ඒ තුළින් ඔහු මුළාවකට පත්වෙනවා ද? නැත්නම් මුළාවක් ඇති නොවෙයි ද?”

”මහරජාණෙනි, ඇතැම් තැනක දී මුළා විය හැකියි. ඇතැම් තැනක දී නො මුළා විය හැකියි”

“ස්වාමිනි මුළාව ඇතිවන්නේ කවර තැනක දී ද?

“මහරජාණෙනි, කලින් තමන් නො දන්නා වූ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳවත්, කලින් නො ගියා වූ ප්‍රදේශ පිළිබඳවත් , කලින් නො ඇසු නම් ගොත් ආදිය පිළිබඳවත් මුළා විය හැකියි.”

“ස්වාමීනි, මුළාව ඇති නො වෙන්නේ කවර තැනක දී ද?

”මහරජාණෙනි, ඒ ප්‍රඥාව භාවිතා කිරීමෙන් ලද යම් අවබෝධයක් ඇද්ද, එනම් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ලත් අවබෝධයක් ඇද්ද, එහිලා ඔහු මුළා නො වෙයි.”

“ස්වාමීනි, එසේ වී නම් ඔහුගේ මෝහයට කුමක් සිදුවූයේ ද?

“මහරජාණෙනි, ඤාණය හටගත් සැණින් මෝහය එතැන ම නිරුද්ධ වෙයි.”

“ස්වාමීනි, උපමාවක් වදාළ මැනැව“

“මහරජාණෙනි, පුරුෂයෙක් අන්ධකාර නිවසක පහනක් දල්වයි. ඒ පහන් එළියෙන් අඳුර නිරුද්ධ වෙයි. ආලෝකය පහළ වෙයි. මහරජාණෙනි, ඤාණය උපන් සැණින් මෝහය එතැන ම නිරුද්ධ වෙයි. ඒ ප්‍රඥාවෙන් යමක් කරන ලද්දේ ද, එනම් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ඇතිකළ අවබෝධයක් ඇද්ද, ඒ අවබෝධය නිරුද්ධ නොවේ.”

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ප්‍රඥාව ස්වකීය කෘත්‍ය කොට නිරුද්ධ වෙන බවත්, අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ඒ ප්‍රඥාවෙන් කරන ලද යම් අවබෝධයක් ඇද්ද එය නිරුද්ධ නොවන බවත් පැවසූ සේක. එය තේරුම් ගැනීමට උපමාවක් වදාළ මැනැව“.

”මහරජාණෙනි, පෙරදිග ජනපදවල මිනිසුන් නිවසක් පාසා වතුර කළගෙඩි පහ බැගින් නිතර තබා තිබේ. එසේ තබන්නේ යම් හෙයකින් නිවාස ගිනි ගතහොත් එසැණින් නිවාදැමීම පිණිස යි. නිවසක් ගිනිගත් විට ඒ වතුර කළගෙඩි පහ නිවසට උඩින් නමති. ඒ ජලයෙන් ගින්න නිවී යයි. කිම? මහරජාණෙනි, එවිට ඒ මිනිසුන්ට මෙසේ සිතෙන්නේ ද? යළිත් වතුර කළගෙඩි ගෙනත් නැවත නැවත ගෙට උඩින් වතුර කළ ගෙඩි නවමු’යි කියා.”

“නැත, ස්වාමීනි තිබුණු කළගෙඩි ප්‍රමාණවත් විය. නැවත වතුර කළගෙඩි කුමක් පිණිස ද?

“මහරජාණෙනි, වතුර කළගෙඩි පහ යම් සේ ද, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් තේරුම් ගත යුත්තේ එසේ ය. ඒ මිනිසුන් යම් සේ ද, ධර්මයේ හැසිරෙන තැනැත්තා ද තේරුම් ගත යුත්තේ එසේ ය. ගින්න යම් සේ ද, කෙලෙසුන් තේරුම් ගත යුත්තේ එසේ ය. වතුර කළගෙඩි පහෙන් ගින්න නිවා දැමුවේ යම්සේ ද, ඒ අයුරින් ම පංච ඉන්ද්‍රියයන්ගෙන් කෙලෙස් සංසිඳී යන්නේ ය. නිවී ගිය කෙලෙස් යළි යට නො චගන්නේ ය. මහරජාණෙනි. ඒ අයුරින් ම මනැවින් පිහිටි ප්‍රඥාව තමන්ගේ කෘත්‍යය කොට එතැන ම නිරුද්ධ වන්නේ ය. අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ප්‍රඥාවෙන් ලත් යම් අවබෝධයක් ඇද්ද, එය නිරුද්ධ නො වන්නේ ය.”

“ස්වාමීනි, නැවතත් උපමාවක් වදාළ මැනැව“

“මහරජාණෙනි, වෛද්‍යවරයෙක් බෙහෙත් පස් පංගුව ගෙන රෝගියෙකු සමීපයට ගොස් ඒ බෙහෙත් පස් පංගුව සකස්කොට ඒ ගිලනාට පොවයි. ඒ හේතුවෙන් ගිලන් තැනැත්තාගේ කිපුණු වා, පිත්, සෙම් දොස් නැතිවී යයි. එවිට මහරජාණෙනි, ඒ වෛද්‍යවරයා හට මේ අයුරින් සිතෙන්නේ ද? “නැවතත් බෙහෙත් පස්පංගුව ගෙනැවිත් මොහුට ඖෂධ කෘත්‍යය කරන්නට ඕන’ යනුවෙන්.

“නැත .ස්වාමීනි, ඒ පස්මුල් බෙහෙතින් අවශ්‍යතාවය ඉටුවිය . නැවතත් පස්මුල් බෙහෙත් කුමට ද?

මහරජාණෙනි, පස්මුල් බෙහෙත් යම් සේ ද, සද්ධා , විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රියයන් එසේ ය. වෛද්‍යවරයා යම් සේ ද, ධර්මයේ හැසිරෙන තැනැත්තා ද එසේ ය. රෝගය යම් සේ ද, කෙලෙසුන් එසේ ය. පස්පංගුවෙන් ගිලනාගේ වා , පිත්. සෙම් දොස් දුරු වුයේ ද, දොස් දුරු වූ කල්හි ගිලනා නිරෝගී බවට පත්වේ. ඔය අයුරින් ම පංච ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්ව නිසා කෙලෙස් දුරු වී යයි. දුරු වී ගිය කෙලෙස් යළි හට නො ගනී. මහරජාණෙනි, ඒ අයුරින් ම ප්‍රඥාව තමන්ගේ කෘත්‍යය කොට එතැනම නිරුද්ධ වන්නේ ය. අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ප්‍රඥාවෙන් ලත් යම් අවබෝධයක් ඇද්ද, එය නිරුද්ධ නො වන්නේ ය.”

“ස්වාමීනි, නැවතත් උපමාවක් වදාළ මැනව“

“මහරජාණෙනි, යුද්ධයට බැසගත් යුද භටයෙක් පස් අයුරකින් යුතු ඊතල ගෙන පරසේනා මැඬීම පිණිස යුද්ධයට පිවිසෙයි. ඔහු ඒ යුද්ධයේ දී පස් අයුරකින් යුතු ඊතල විදින්නට පටන් ගනී. ඒ හේතුවෙන් සතුරු සේනාව බිඳී යයි. කිම? මහරජාණෙනි, යුද්ධයෙහි බැසගත් ඒ යුද භටයාට මෙසේ සිතෙන්නෙ ්ද? නැවතත් ඊතල රැගෙන විත් විදින්නට ඕන’ යනුවෙන්.

‘නැත. ස්වාමීනි, ඒ ඊතලවලින් කළ යුතු දේ කරන ලදී. තවත් ඊතල කුමට ද?

“මහරජාණෙනි, පස් අයුරකින් යුතු ඊතල යම් සේ ද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි , ප්‍රඥා , එසේය. යුද්ධයේ බැසගත් භටයා යම් සේ ද, ධර්මයේ හැසිරෙන තැනැත්තා එසේය. පරසේනා යම් සේ ද, කෙලෙසුන් එසේය. පස් අයුරකින් වූ ඊතලවලින් පරසේනා බිඳින්නේ යම් සේ ද, පංච ඉන්ද්‍රියයන්ගෙන් කෙලෙස් බිඳින්නේ එසේ ය. බිඳී ගිය කෙලෙස් යළි හට නො ගන්නේ ය. මේ අයුරින්ම මහරජාණෙනි, ප්‍රඥාව තම කෘත්‍යය අවසන් කොට එතැනම නිරුද්ධ වන්නේ ය. අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ඒ ප්‍රඥාවෙන් කරන ලද යම් අවබෝධයක් ඇද්ද, එය නිරුද්ධ නො වන්නේ ය.”

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබවහන්සේ ඉතා දක්ෂ වන සේක” යැයි රජතුමා කී ය.

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]