[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

බූටාවත්තේ සරණංකර නා හිමි

මැලේසියාවේ සෙන්ටූල් (Sentul) විහාරස්ථ, බූටාවත්තේ සරණංකර අධිකරණ නා හිමියන්ගේ 65 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

පුරාකෘත කුසලය මහිමයෙන් ශ්‍රද්ධාමාමක මව්පියන්ට දාව 65 වසරකට පෙර උපන් හපන්කම් ඇති සරණංකර නා හිමියන් පැවිදි වූයේ තලංගම, කොස්වත්තේ, අන්නාසිවත්ත පන්සලේ අධිපතින් වහන්සේ වූ පිටිපන සිරිසුමන මා හිමියන් වෙතිනි. ගුරු හිමියන්ගෙන් පැවිදි ආචාර සමාචාර ද, බණපොත් කියවීම් හා ශාසනික සම්ප්‍රදායන් ද , පිරිවෙන් දෙකකින් අධ්‍යාපනය ද ලැබූ සරණංකර තරුණ භික්ෂුව මැලේසියාවට පැමිණියේ 29 වන වියේ දී ය. අප හිතවත් ශිෂ්‍ය භික්ෂුවගේ (වැල්ලවත්තේ ශාන්ත හිමි) කලණ මිත්‍ර භාවය නිසාම මැලේසියාව (Sentul) විහාරය දියුණු කිරීමට වඩින මෙන් අප විසින් දැනුම් දෙන ලදී. ඒ 30 වසරකට පෙර ය. ඊට 15 වසරකට පෙර අපි නිතර බත්තරමුල්ලේ හා නාවල දෙපළාතේ නිතර හමු වී වැදගත් බෞද්ධ උත්සව හා පින්කම්වල නිරත වූයෙමු.

එකල මා කැලණිය සරසවියේ බෞද්ධ දර්ශනය හදාරන සිසුවෙක් වශයෙන් කටයුතු කරන සමයෙහි, මා ගම්රට (සිංගප්පූරුව හා මැලේසියාව) බලා ආ අලුත, 1981 පමණ දී සරණංකර හිමියන්ගේ පරිපාලන දක්ෂතා මත ක්වාලාලාම්පූර් අගනුවරට (සෙන්ට්‍රල් විහාරයට) වැඩම කරවන ලදී. ගතවූයේ වසර කිහිපයකි, (Sentul) ගම්වරය නාගරීකරණයට භාජනය වනවාටත් වඩා අප විහාරස්ථානයේ ආගමික, සංස්කෘතික, සුබ සාධක හා අධ්‍යාපනික ආධාර පාසල්

ළමයින්ට (රටවල් කිහිපයක) හා බෞද්ධ රටවල තරුණ සිසුන්ට ද ශිෂ්‍යත්ව සහිත උනන්දු කිරීමේ කටයුතු රැසක් ම සරණංකර නාහිමියන් විසින් ඉතා මැනවින් සිදු කෙරුණු බව ඉතා සොම්නසින් සිහිපත් කරමි.

සරණංකර හිමියන් දුප්පතාගේ හිතවතා ය. රෝගියාගේ සුවදායකයා ය. අතරමං වූවන්ට, අසරණයන්ට සරණ වූ ලෝක හිතෝ ගුණයෙන් සපිරුණු, කුළුණු ගුණයෙන් තෙත් වූ සංඝ පීතෘවරයෙකි. ධර්මදූත සේවයක් වශයෙන් සතිපතා කථා, දේශන, ප්‍රායෝගික සාකච්ඡා හා මැලේසියානු බෞද්ධ සංගම් හා සහයෝගීතාව මෙන් ම ජාත්‍යන්තර බෞද්ධ කටයුතු ගැන සැලසුම් කිරීම ද, ආගම් අතර සංවාද හා ජාතීන් අතර සාමය පවත්වාගෙන යෑම සඳහා දිවා රාත්‍රී දෙකේ වැඩ රැසක් ඉටු කරන සමාජ සන්නිවේදන මනාව දැන කටයුතු කරන ආදර්ශමත් නේතෘවරයෙකි. වර්තමාන ලංකාවේ තිබෙන අර්බුදකාරී ජාතිවාද හා ආගම් අන්තවාදී අදහස් දරන ගිහි පැවිදි කාටත් සරණංකර නාහිමියන්ගෙන් උගතමනා කරුණු රැසකි. ගෝලීයකරණයේ සිරකරුවකු නොවන ආකාරය ද මනාව දත් ඒ හිමියන් ලාංකික භික්ෂු සමාජයේ උන්නතියට සැලසුම් කීපයක් ම දියත් කර තිබේ. පසුගිය දශකය තුළ ශිෂ්‍ය භික්ෂූන්ට අවශ්‍ය පහසුකම් මෙන් ම මූල්‍යාධාර ද විහාරයේ අරමුදලකින් වෙන් කරන ලදී.

කොතරම් කාර්ය බහුල වුවත්, තමා හමුවට පැමිණෙන පින්වතුන් හා පි‍්‍රය සම්භාෂණයේ යෙදීම දිනපතා ම කරන උන්වහන්සේ මිත්‍රශීලී තෙර නමකි. සිය උපන් බිමේ ශාසනස්තිථියට හා පාසල් සංවර්ධනයට යුහුසුළු වූ මේ නා හිමියන්ගේ කරුණාවට ලක් නොවූ දිස්ත්‍රික්කයක් නැති තරම් ය. මැලේසියාවේ ප්‍රාන්ත රැසක ම සම්බන්ධතා ඇති කරගෙන, ලෝක ශාසන දෙකට ම යහපත සලසන අපේ කල්‍යාණ මිත්‍රත්වයේ 45 වන වර්ෂය සපිරෙන උන්වහන්සේගේ 65 වන ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේට ප්‍රගතිය කරා යාමට, යහපත් සෞඛ්‍ය හා ත්‍රිවිධ රත්නයේ සරණ, සරණංකර යතිවරයාණන්ට ඉත සිතින් පතමි.

****

වත්තේගම ධම්මින්ද නාහිමි

වත්තේගම ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ ගිහි පැවිදි සමාජයේ විවිධාංශ කෙරෙහි තම සේවය ව්‍යාප්ත කරමින් ලෝක ශාසමෝන්නතියට මහෝපකාරී වූ සංඝපීතෘන් වහන්සේ නමකි.

විහාරස්ථාන විස්සකට සම්බන්ධ ආගමික හා ශාසනික වශයෙන් වූ උදාර සේවයකට නියාමකත්වය සපයා ඇති උන්වහන්සේ ජනතාවගේ සාමාජික සුබසාධනය සඳහා ද අත්‍යන්තයෙන්ම උපස්ථම්භක වී ඇති යතිවරයාණ නමකි. මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නම් ගම් පියසෙහි විසූ එස්.ජී. නුවරතැන්න හා වයි. වටගොඩගේ නම් වූ දම්පතීන්ගේ පුත් රුවනක ලෙස 1914 අප්‍රේල් 08 දින ජන්මලාභය ලත් උන්වහන්සේ 1929 ජූලි 08 වැනි දින මහනුවර පාතදුම්බර වත්තේගම ඉහළ යටවර ඛෙත්තාරාම විහාරාධිපති සූරියගොඩ සුගතපාල හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් සසුන්ගත වූ හ. සිරි සද්ධම්මකිත්ති විනයාචාර්ය උපාධ්‍යාය අංගොඩ සෝමානන්ද නාහිමිපාණෝ උපාධ්‍යායත්වයෙන් අනුග්‍රහය දැක්වූහ. පානදුර වලානේ ශ්‍රී සෞගතෝදය පිරිවෙනින් මූලික ශාසනික අධ්‍යාපනය ලබා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් ව උසස් අධ්‍යාපනයෙහි යෙදුණු වත්තේගම ධම්මින්ද හිමිපාණෝ පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් ගෞරව පන්තියේ සාමාර්ථයක් ලබා ගැනීමට සමත් වූ හ. උන්වහන්සේ 1936 ජූලි 22 වැනි දින උඩරට අමරපුර මහා නිකායේ මහානායක භදන්ත පණ්ඩිත විදුරුපොල පියතිස්ස මාහිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් හා සූරියගොඩ නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් සුපරිශුදෙධා්පසම්පත්තියෙහි පිහිටියහ.

ධම්මින්ද නාහිමිපාණන්ගෙන් විහාරස්ථාන රාශියක සංවර්ධන කටයුතුවලට මෙන්ම විහාරස්ථාන හා සම්බන්ධ ජනතාවගේ සාමාජික සුබ සාධනයට උදාර මෙහෙවරක් සිදු වී තිබේ. වත්තේගම යටවර ඛෙත්තාරාමය, පොල්ගොල්ල වත්ත සෝමාරාමය, මූනමලේ බෝධිමල්කඩ විහාරය, අම්පිටිය මීකණුව විමලරතනාරාමය, අනුරාධපුර නුවර වැව බෞද්ධාශ්‍රමය හා කන්තලේ වෙළුන්නා රාජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන විස්සක නියමුවන් ලෙස ආගමික කටයුතු සඳහා අනුශාසකත්වයෙන් අනුග්‍රහය දක්වන උන්වහන්සේට කන්තලේ වෙළුන්නා රාජ මහා විහාරස්ථ අග්‍රබෝධි පිරිවෙනෙහි අධ්‍යක්ෂ වශයෙන් පිරිවෙනෙහි දියුණුව උදෙසා කැපවීමට ද සිදු වී තිබේ. 1945 දී ශ්‍රී රාහුල නමින් ළදරු පාසල් හතක් ආරම්භ කිරීමට පුරෝගාමී වූ උන්වහන්සේ විශේෂයෙන් මහනුවර ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විපුල සේවයක නිරත වූ හ. දිනපතා පාසල් තුනක් ඇරඹීමට සිය අනුග්‍රහය දක්වා ඇති උන්වහන්සේ උයන්වත්ත පොල්ගොල්ල අභ්‍යාස විද්‍යාල දෙක, පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, වාවින්න අඳ ගොලු බිහිරි විද්‍යාලය, කුණ්ඩසාලේ කාර්මික ජනපදය, පාතදුම්බර අත් යන්ත්‍ර රෙදි මධ්‍යස්ථාන හා උයන්වත්ත මීගම්මන විදුලිබල පේෂ කර්මාන්ත වැනි ආයතන පිහිටුවීම සඳහා විශේෂ මෙහෙවරක නිරත වූ හ. මඩවල මදීනා මුස්ලිම් විද්‍යාලය සඳහා ඉඩම ලබා ගැනීමට, පොල්ගොල්ල, රඹුක්පතංග හා මඩවල බසාර් යන ගම් තුනෙහි තැපැල් කාර්යාලයන් පිහිටුවීම හා මහනුවර රෝහලේ බෞද්ධ සමිතියක් අරඹා එහි භික්ෂු වාට්ටුවක් පිහිටුවා වාට්ටුවල රෝගීන්ට පිරිත් දේශනා කිරීමේ ආගමික මෙහෙයක් සිදු කිරීම වැනි සේවාවන්ට ද උන්වහන්සේගේ අනුග්‍රහය පිරිනැමිණ.

උඩරට අමරපුර මහා නිකායේ ශ්‍රී ශාරිපුත්‍ර භික්ෂු සමිතියේ ලේකම් හා ත්‍රිසිංහල භික්ෂු බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් වශයෙන් අනුග්‍රහය පිරිනමා ඇති ධම්මින්ද හිමිපාණන් වහන්සේ උඩරට සංවර්ධන සමිතියේ සභාපති වශයෙන් ද උදාර සේවයකට දායක වූ අතර ශාස්ත්‍රීය සේවයට අනුග්‍රහය දැක්වීමට ද අමතක නොකළහ. පූජාවලි ගැටපද විවරණය, මහා ශාන්ති පිරිත හා ජල නන්දන පිරිත යන ග්‍රන්ථ උන්වහන්සේගේ සංස්කාරකත්වයෙන් එළිදැක්වී ඇත. අපවත් වී වදාළ යටවර ශ්‍රී රාහුල හිමි කන්තලේ වෙළුන්නා රාජමහා විහාරාධිපති හා අග්‍රබෝධි පරිවෙනාධිපති අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී පණ්ඩිත කිතුල්ගොල්ලේ ජිනානන්ද නාහිමිපාණන් ඇතුළු විශාල ශිෂ්‍ය භික්ෂු පිරිසකගේ ආචාර්යත්වයට පත් වත්තේගම ධම්මින්ද හිමිපාණන් වහන්සේ ස්වනිකාය මගින් විමලකීර්ති ශ්‍රී සද්ධම්ම භාණක සුගතපාල වංශාලංකාර පණ්ඩිතාචාර්ය යන ගෞරවාභිධානයෙන් පිදුම් ලද සංඝපීතෘන් වහන්සේ නමකි.

එමෙන්ම උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද විහාරස්ථානවලින් වර්ථමානයේ ඒ ඒ ප්‍රදේශවලට සුවිශාල සමාජ සේවාවන් රැසක් සිදු වේ. එම සේවාවන්හි නිරත වී කටයුතු කරන උන්වහන්සේගේ ශිෂ්‍යයෝ වන උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක යටවර පුඤ්ඤරතන නාහිමි, උතුරුමැද හා නැගෙනහිර ප්‍රධාන සංඝනායක කන්තලේ විමලසිරි නාහිමි, පාතදුම්බර උප ප්‍රධාන සංඝනායක තැන්නේ කුඹුරේ විමලානන්ද නාහිමි යන හිමිවරුන්ගෙන් වන සේවාව ද ඉතා ප්‍රශංසනීය වේ. 2003 ඔක්තෝබර් මස 14 වන දින උන්වහන්සේ අපවත්වී වදාළහ. උන්වහන්සේ අපවත් වී මෙම මස 14 වන දිනට වසර 16 ක් සපිරිණි. උන්වහන්සේට අමාමහ නිවන්සුව පතමු.

****

පොද්දල්ගොඩ ධම්මාරාම නා හිමි

1963 මැයි මස 19 වැනි දා වෙසක් පොහෝ දින මහනුවර පොද්දල්ගොඩ ගම්මානයෙහි ටී.එම්.ජී. සුදර්ශන බණ්ඩාර සහ ඒ.එම්. පළිඟුමැණිකේ අදිකාරම් යන දම්පති යුවලට අභිජාතව ටී.එම්.ජී. ටිකිරි බණ්ඩාර තෙන්නකෝන් යන නමින් ජන්ම ලාභය ලැබූ කුමරුවා පොද්දල්ගොඩ කණිෂ්ට විද්‍යාලයෙන් හා උඩිස්පත්තුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික සිප් සතර හදාරන ලදී.

මෙම කුමරුවා තම මව්පියන්ගේ ආශිර්වාදය මැද සසුන් ගතවීම පිණිස සිය මව්පියන්ගෙන් අවසර ඉල්ලී ය. ඒ අනුව හසලක තෝරපිටිය ශ්‍රී නිග්‍රොධාරාමාධිපති පෝප්පිටියේ ශ්‍රී සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත භාරදීමෙන් අනතුරුව උන්වහන්සේ යටතේ පැවිදි වීමට අවශ්‍ය බණ දහම් පොත් ඉගෙනීමෙන් පසුව වයස අවුරුදු 13 දී පෝප්පිටියේ ශ්‍රී සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1976 ජූනි 10 වන දින පොද්දල්ගොඩ ධම්මාරාම යන නමින් සසුන් ගත විය.

උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනය සඳහා කෝට්ටේ ජයවර්ධනපුර සිරි පැරකුම්බා පිරිවෙනට ඇතුළත් කරන ලදී. එහිදී මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා හුණුපිටිය ශ්‍රී ඥානේෂ්වර විද්‍යායතන පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ උගත යුතු සිංහල පාලි සංස්කෘත හා අනෙකුත් භාෂාවන් ද ප්‍රගුණ කොට මනා ගුණ දහම් සපුරාලමින් අනතුරුව විසිවස් සම්පූර්ණ වීමත් සමඟ ම 1985 ජූනි 25 වන දින මහනුවර අස්ගිරි මහා විහාරයේ දී පලීපාන ශ්‍රී චන්දානන්දාභිධාන මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවී ය. උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා 1992 දී ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්තේ ය. 1995 වර්ෂයේ පශ්චාත් උපාධිය හා අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය ද ලබා ගැනීමට තරම් උන්වහන්සේ අතිදක්ෂ විය.

සිය ගුරුදේවෝත්තම පෝප්පිටියේ ශ්‍රී සරණපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු හසලක තෝරපිටිය ශ්‍රී නිග්‍රොධාරාමය සහ පෝප්පිටිය අභිනවාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ධූරයට පත් වූහ. අනතුරුව තම දායක කාරකාදීන්ගේ ආගමික කටයුතුවල නියැළෙමින් සිටි උන්වහන්සේ 1990 සිට මේ දක්වා ම ගුරුවරයෙකු ලෙස හා නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස මප/ තෙල් / ගාමිණී දිසානායක විද්‍යාලයේ සේවය කර අනතුරුව 2008 වර්ෂයේ සිට මේ දක්වා මප/ තෙල්/ කීණපැලැස්ස බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් ද කටයුතු කරති. තවද තෝරපිටිය ශ්‍රී සරණපාල දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස වසර 35 ක පමණ කාලයක් සේවය කරන අතර, මිනිපේ තෛ‍්‍රනිකායික සංඝ සභාවේ ලේකම් ලෙසත්, මිනිපේ දහම් පාසල් ගුරු සංගමයේ ප්‍රධාන සභාපති ලෙසත්, මිනිපේ අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති වශයෙන් ද, සුහද රාජ්‍ය සේවා සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙසත් මේ වන විට උන්වහන්සේ කටයුතු කරති.

උන්වහන්සේගේ ශාසනික, සමාජීය, අධ්‍යාපනික මෙහෙවර අගයමින් ධර්ම කීර්ති ශ්‍රී සරණපාල ගෞරව නාමය සහිතව උඩදුම්බර ප්‍රධාන සංඝ නායක පදවිය මහනුවර අස්ගිරිය කාරක සංඝ සභාව මඟින් අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිරිනමා ඇත.

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]