[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක 2019.09.28

පොත පත සුලබ ය කියවන්නෝ විරල ය

මෙලොව එළිය දකින බිළිඳා පළමුව සිය මෑණියන්ගෙන්, පියාණන්ගෙන් ලෝකය හඳුනා ගනී. ඉන්පසු පියවරෙන් පියවර, පවුලේ සාමාජිකයන්ගෙන්, පාසලෙන්, පන්සලෙන්, ගමෙන්, සමාජ සාමාජිකයන් වෙතින් ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගනී. ඒ අනුව සිය හැසිරීම් හසුරුවා ගනී.

අනුකරණයට පි‍්‍රය වීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන්නේ ය. එහෙත් අනවබෝධයෙන් යුතු අනුකරණය ජීවිතයට අනර්ථය සදන්නේ ය. අදැහැමි, අසංවර , අවිචාරවත් අය අනුකරණය කරන පුද්ගලයා යන්නේ ද ඒ මඟම ය. යහපත්, සාර්ථක ජීවිතයකට කලණ මිතුරු ඇසුරෙහි ඇති වැදගත්කම බුදු දහම තුළ වඩාත් අගය කෙරෙන්නේ මේ නිසා ය. වර්තමාන සමාජයේ නම් යොවුන් වියේ, තාරුණ්‍යයේ බොහෝ පිරිස් ජීවිතය වරදවා ගන්නේ පසමිතුරු ඇසුරින් පමණක් නොවේ. විද්‍යූත් මාධ්‍ය පරිහරණය, ජංගම දුරකථන, අන්තර්ජාලය ආදි තාක්ෂණික උපකරණ, අවභාවිතය තුළ, ඒවායෙහි සැරි සැරීම තුළ අසන, දකින දේ සිය ජීවිතවලට ආදේශ කරගන්නට ගොස් විපතේ වැටෙන්නෝ අපමණ ය. මේ නිසා ප්‍රවේශම් විය යුතු පුද්ගලයන් ඇසුරින් පමණක් නොවේ. විවිධ විකෘති මනස් ඇති පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ඇතැම් තාක්ෂණික මෙවලම්වලින් ද ආරක්ෂාකාරී විය යුතු වේ.

මෑත ඉතිහාසය වනතුරුම අප ජීවත් වූ සමාජය ජීවිතාදර්ශය ලැබුවේ චරිතානුකරණයෙන් පමණක් නොවේ. එදා පොත පත විරල වුව ද ,ඒවා භාවිත කරන්නෝ සුලබ වූ හ. ඔවුහු එකම පොත හුවමාරු කරගෙන කියවා, ධාරණය කොටගෙන සිය ඤාණ කෝෂය පුළුල් කරගත් හ. ඒ පොත පත ජීවිතාවබෝධය ද ලබා දුණි. ජිවිතයට ආලෝකයක් ද වුණි.

අද විවිධ විෂයයන් සම්බන්ධව පොත පත සුලබ ය. එහෙත් කියවන්නෝ විරල ය. දැන් බොහෝ දෙනෙක් කියවන්නේ මුහුණුූ පොත ය. ඒ තුළ බොහෝ විට ඇත්තේ ද වැදගැම්මකට නැති දේ ය. වෙසෙසින් ඕපාදූප ය. ඒ තුළ කාලය ද, සිත ද හැසිරවීම තුළ නිර්මාණය වන අයහපත විශාල ය.

අතපොත් තැබූ දා සිට මිය යන මොහොත දක්වාම හොඳ පොතකින් ජීවිතයට උකහා ගත හැකි දේ බොහෝ ය. අද ළමයින්ට බාහිර පොතක් පතක් කියවන්නට වේලාවක් නැතැයි ඇතැම් මව්පියවරු මැසිවිලි නගති. එසේ කියමින් ඔවුන් බොහෝවිට දරුවන් යොමු කරන්නේ ද විෂයානු බද්ධ පොතපතට ම ය. විෂයය පිළිබ ඳ පුළුල් ඤාණයක් ලබා ගැන්මට එය මහත් රුකුලකි. එහෙත් ළමයින්ට විෂයය ඤාණය සේ ම සමාජ දැනුම ද, අධ්‍යාත්මික පෝෂණය ද ලැබිය යුතු ම ය.

විශේෂයෙන් බොදු සමාජයට අධ්‍යාත්මික සංවර්ධනයට පමණක් නොව සාර්ථක ජීවිතයක් ගොඩනංවා ගන්නට උපකාරි වන බෞද්ධ සාහිත්‍ය කෘති මෙකල අපමණ ය. මායාව බැහැර, සත්‍ය තෝරා ගන්නට එවැනි පොත පත පරිශීලනය මහෝපකාරී වෙන්නේ ම ය.

වචනයෙන් දෙන ඔවදනකට වඩා පොතක් කියැවීම තුළ ලැබෙන ආදර්ශය බොහෝවිට සිතට කා වදී. බෞද්ධ ග්‍රන්ථ අතර සරල ලෙස අර්ථ ගන්වා ඇති පිරිත් පොත් වහන්සේ අද සුලබ ය. ව්‍යක්ත, විශාරද පඬිවරුන් විසින් රචනා කරන ලද මෙවැනි ග්‍රන්ථ කුඩා දරුවන්ගේ සිට මහල්ලා දක්වා ම ප්‍රයෝජනවත් ය. බෝසතාණන් වහන්සේ උතුම් සම්බුදු පදවිය පතා පාරමී දම් පුරන කාලයේ සිදුවීම් ඇසුරින් ලියැවුණු ජාතක කතා පොත් වහන්සේ කියැවීමෙන් ලද හැකි ජීවිතාවබෝධය අවුරුදු දහස් ගණනක් ජීවත්වීමෙන් වුව ද ලද නො හැකි ය. මිනිස් සිත ක්‍රියාකරන ආකාරය, ගැටලුවලට මුහුණ දෙන ආකාරය, විවිධ මිනිසුන්ගේ චරිත ස්වභාවයන් ආදී විවිධ අංශයන් තුළ ලද හැකි අවබෝධය පෘථුල ය. සම්බුද්ධ චරිතය පමණක් නොව සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිළිබඳව ද ලියැවුණු පොත පත සුලබ ය. රට ජාතිය වෙනුවෙන් සැබෑ නායකත්වය දෙමින් දේශය සමෘද්ධිමත් කළ නරපතීන් හා ගුණ නැණ බෙලෙන් යුතු චරිත කතා නැවත කියවිය යුතුම ය. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]