[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉපදීමේ දුක

ඉපදීමේ දුක

" ඔබ දන්නවා, දරුවෙක් මෙලොවට බිහිවන්නේ සිනාවීගෙන ද? එසේ නැත්නම් අඬාගෙන ද? සියලුදෙනා ඉපදෙන්නේ අඬාගෙන යි. අඬන්නේ නැත්නම් අඬවනවා."

මෙලොව ඉපදෙන අප සැමටම ඉපදෙන විට ඇතිවෙන දුකක් තිබෙනවා. ඒ වගේම ජීවත්වෙන කාලය තුළ විඳින්නට සිදුවෙන දුකක් තිබෙනවා. මේ දුක් දෙකටම ජාතිපි දුක්ඛා කියා බුද්ධ දේශනාවේ දී අපට කියා දෙනවා.

මෙහිදී ජීවත් වන කාලය ලෙස අදහස් කරන්නේ වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම ම නොවේ. අප ඉපදිලා වයසට යන තුරුම ගත වෙන කාලයක් තිබෙනවා. ඒ වයස්ගත වෙන කාල සීමාව තුළ ජීවිතය පවත්වාගෙන යාම සඳහා දුක් ප්‍රමාණයක් විඳින්න වෙනවා. අන්න ඒ දුකත් ඉපදීම නිසා ඇති වූ දුකක් ලෙස සඳහන් වෙනවා. ඒ අනුව ජාතිපි දුක්ඛා කියන්නේ ඉපදෙන විට විඳින්න තිබෙන දුකම නොවෙන බව සිහි තබා ගත යුතුයි.

ඉපදෙනවා කියන්නේ මොකක්ද? ජාති, සංජාති යනුවෙන් කොටස් දෙකක් තිබෙනවා. ජාති කියන්නේ පහළවීමට යි. සංජාති කියන්නේ බිහි වීමට යි. පහළවීම සහ බිහිවීම කියන්නේ කාරණා දෙකකට යි. මෙතැනදී පහළවීම නම් කුස තූළට පිවිසීම යි. එසේ නම් ජාති යනුවෙන් හැඳින්වෙන්නේ යමෙක් යම් තැනකින් චුත වී නැවත ගැබකට පිවිසීමයි. එය පහළවීම ලෙස හඳුන්වන්න පුළුවන්. බිහිවෙනවා කියන්නේ කුස තුළින් එළියට ඒමට යි. එයට සංජාති කියා කියනවා. අඟ පසඟ සියල්ල පරිපූර්ණ වූවාට පසු කුස තුළින් එළියට පිවිසීම සංජාති නම් වෙනවා. තවත් විස්තර වශයෙන් පැවසුවොත් ජාතියෙහි දී විඤ්ඤාණය රූපයක් සමඟ එකට එකතු වීමසිදුවෙනවා. රූපය තුළ විඤ්ඤාණය පහළ වු විට ඒ රූපය සත්ත්වයෙකුට අවශ්‍ය වන ස්වභාවයට වර්ධනය වීම, එසේනැත්නම් ඒ රූපයෙහි ඔළුව, අත් පා,ඇඟ ආදිය වෙන් වෙන් වශයෙන් සකස්වීමක් සිදු කෙරෙනවා. මේ කටයුත්ත සිදුවන්නේ එක් වරම නොවෙයි. ගර්භාෂය තුළ ජීවත්වන කළලය වර්ධනය වන්නේ අනුක්‍රමයෙනු යි.

ඒ අයුරින් සෑදුණු රූපය ගර්භය තුළින් බිහිවීම සංජාති කියා හඳුන්වනවා. මේ ජාති සහ සංජාති යන දෙකම ජාති වශයෙන් එසේ උපදිනවා කියා සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උපන් දිනය ලෙස ගන්නේ මව් කුසෙන් බිහි වූ දිනය යි. ඒ වගේම ස්වාමීන් වහන්සේලා උපසම්පදා කිරීමේ දී ඒ උපසම්පදාවට හාමුදුරුවන්ගේ වයස මදි වෙන අවස්ථා තිබෙනවා. ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා වීමට වයස අවුරුදු 20 ක් සම්පූර්ණ වෙන්න ඕනෑ. නමුත් සමහර ස්වාමීන් වහන්සේලාට උපසම්පදා විනය කර්මය කරන මාසය වෙන විට වයස අවුරුදු 19 යි මාස 4ක් යැයි කියා අපි හිතමු. එහිදී ඒ ස්වාමීන් වහන්සේ මව් කුසේ සිටි කාල සීමාවෙන් මාස ටිකක් අරගෙන අර අවුරුදු විස්ස සම්පූර්ණ කර ගැනීම සිදු වෙනවා. ඒ මව්කුසට පැමිණීම ද උපතක් සේ සලකන නිසයි.

මේ කියන මව් කුසට පිවිසි දින සිට මව් කුසින් බිහිවෙන දවස දක්වාත්, ඒ වාගේම ඉන් පසුවත් අපට නොයෙකුත් දුක් විඳීමට සිදුවෙනවා. ඒ සියලු දුක් ජාති දුක් ලෙස හැඳින්විය හැකියි. මව් කුසට පිවිසෙන දුක ගර්භාවක්‍රාන්ති දුක ලෙස නම් වෙනවා. ගර්භාවක්‍රාන්තිය නම් ගැබට පිවිසීම යි. මෙහිදී පිවිසෙනවා යනුවෙන් අදහස් කරන්නේ පිළිසිඳ ගැනීමට යි. සත්ත්වයෙකුට ගර්භාෂ බිත්තියක් සොයා ගොස් එහි තුළ රැඳී සිටීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදු වෙනවා. මෙයත් එක්තරා ආකාරයක දුකක්ම යි, ඊළඟට ගැබ පරිහරණය කරන කාලයත් ඒ වාගේ ම දුකක්. එහිදී අර කලලයට තමන් කැමැති ආකාරයට අත පය දිග හැරලා ඉන්න පුළුවන් ද? එහෙම ඉන්න බැහැ. දෑත්, දෙපා අකුලාගෙන එහාට මෙහාට ඇඹරෙමින් දුක් විඳිමින් සිටින මේ කාලය ගර්භ පරිහරණ දුක ලෙස හැඳින්වෙනවා. ඊළඟට ගර්භ විපත්ති දුක නමින් තවත් දුකක් තිබෙනවා. ඒ දුක මෙහෙමයි. අමාරුවෙන් ගර්භාෂය තුළ ඉන්න අතරේ අම්මාට ඇඹුල් කන්න හිතෙනවා. සැර කෑම ජාති හෝ සැර බීම ජාති කන්න බොන්න හිතෙනවා. ඒ වගේ අම්මලාගේ විවිධ රුචි අරුචිකම් මැද්දේ අර ගැබ ඇතුළේ ජීවත්වන ප්‍රාණියාට අප්‍රමාණ දුක් විඳින්න සිදු වෙනවා. ඒක ලෙහෙසි දෙයක් නොවෙයි.

ඒ වගේ ම ගර්භ විපත්ති දුක කියලා තවත් දුකක් තිබෙනවා. මේ ප්‍රාණියා පිළිසිඳ ගත් දින සිට වෛද්‍යවරු මේ ගැබට එහෙන් මෙහෙන් අනිනවා. නානාප්‍රකාර පරීක්ෂණ කරනවා. එක් අවස්ථාවක දරුවා දඟලනවා ද බලනවා.තව අවස්ථාවක දරුවා හරියට හැරිලාද බලනවා. හරියට හැරිලා නැත්නම් හරවන්න හදනවා. ගර්භාෂය තුළ මේ වගේ නොයෙකුත් දුක් අර අසරණ ජීවියාට විඳින්න වෙනවා. ගර්භ විපත්ති දුක් කියන්නේ ගර්භාෂය තුළ සිටින කාලය තුළ මේ අයුරින් විඳින්න වන නානාප්‍රකාර දුක්වලට යි.

ඊළඟට දරුවා මව් කුසෙන් බිහිවෙද්දී ඒ සඳහා දරුවාට විඳින්න ඇති දුක් සමූහය විජායන මූලක දුක යනුවෙන් හඳුන්වනවා. දරුවෙකු බිහිවෙද්දී අම්මා කෙතරම් නම් දුක් කන්දරාවක් විඳිනවා ද? ඒ දුක කෙනෙකුට ලෙහෙසියෙන් විඳගන්න පුළුවන් එකක් නොවෙයි. මෙතැනදී අම්මාත් මේ දුකට සම්බන්ධ වෙනවා. දරුවත් ඒ දුකෙන් පීඩා විඳිනවා. මේ දුක කෙනෙකු විඳින බලවත්ම දුකක් ලෙස සලකන්න පුළුවන්. මෙසේ දරු ගැබේ සිට මෙලොවට බිහි වීමේ ක්‍රියාදාමය තුළ දරුවාට විඳින්න තිබෙන අප්‍රමාණ දුක් පීඩා බාහිර නිෂ්ක්‍රමණ දුක ලෙස හැඳින්වෙනවා.

ඔබ දන්නවා දරුවෙක් මෙලොවට බිහිවන්නේ සිනාවීගෙන ද? එසේ නැත්නම් අඬාගෙන ද? සියලුදෙනා ඉපදෙන්නේ අඬාගෙන යි. අඬන්නේ නැත්නම් අඬවනවා. මේ දරුවා එළියට එන්නේ ජරාව ඇඟේ හැම තැනම ගාගෙන, අමාරුවෙන් හුස්ම අරගෙන, ලොකු වෙහෙසක් දරලා, අනේක පීඩා, විඳල දරුවා එළියට එන්නේ. ඉතාම සිනිඳු රෙදි කෑල්ලකින් පිසදැම්මත් පොඩි දරුවාගේ සමට එය මහත් පීඩාවක් . මේ දුක පරෝපක්‍රම දුක යනුවෙන් හඳුන්වනවා. ඉතින් මේ ඉපදෙන විට විඳින්න තිබෙන දුක් වර්ග සමූහය යි.

ඒ වාගේ ම තමන්ගේ ම නො දැනුවත්කම හේතුකොට ගෙන ආත්මෝපක්‍රම යනුවෙන් හැඳින්වෙන ශරීරයට විවිධ දුක් පීඩා ගෙන දෙන තවත් දුක් වර්ගයක් තිබෙනවා. ජීවත් වන කාලය තුළදී ඇවිදීමෙහි දී, දිවීමෙහි දී හෝ අප කරන විවිධ ක්‍රියාකාරකම් තුළදී වැටීම්, තැලීම්, කැඩීම් වැනි විවිධ දුක් විඳින්න සිදුවෙනවා. මේවා සිදුවන්නේ ඉපදුණ ගමන්ම නොවේ. කෙනෙක් මරණයට පත්වන තුරුම, අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. මේ කියන සියලු දුක්වලට මුල ඉපදීම යි. ජාතිපි දුක්ඛා කියා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. කිනම් භවයක හෝ ඉපදීම දුක් සහිතයි.

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි 02වන දා ඉරිදා අපර භාග 4.40ට ලබයි. 03 වන දා සඳුදා අපර භාග 3.31 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජුනි 10 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]