[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභිනව නායක පදවි ලබන තුම්බෝවිල ධම්මරතන නාහිමි

අභිනව නායක පදවි ලබන තුම්බෝවිල ධම්මරතන නාහිමි

ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද පඤ්ඤාසාර ගෞරව නාම සම්මුතිය සහිතව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද තුම්බෝවිල ධම්මරතන නාහිමි.


ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමක්

“යො හොති වියත්තො ච විසාරදො ච
බහුස්සතො ධම්මධරො ච හොති
ධම්මස්ස හොති අනුධම්මචාරි
ස තාදිසො වුච්චති සංඝසොභනො”

ව්‍යක්ත බව, විනීත බව, බහුශ්‍රැත බව, ධර්මධර බව යනාදිය භික්ෂුවක සතු සියලු ගුණාංග වේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන එබඳු භික්ෂුව සංඝශෝභන යැයි නම් ලබයි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හෙළ බිමෙහි ජනිත අරිට්ඨ කුමරුන්ට අනුරාධපුර මහමෙව්නා මහා විහාරයේ දී පැවිදි උපසම්පදාව ලබා දී බිහි කළ ශ්‍රී ලාංකික යතිපරපුර මහාවිහාර වංශික නමින් හැඳින් විණ. එතැන් පටන් ශ්‍රී ලංකාද්වීපයෙ හි ප්‍රතිෂ්ඨාපිත සංඝ පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් ඉටුකළ ජාතික, ආගමික, පොදුජන මෙහෙවර අත්‍යුදාර වන්නේ ය. සිංහල සංඝ පරම්රාව අත්‍යන්තයෙන් අත්නොහළ හැකි ලෙස ජාතිය විසින් ම උරුම කර දෙන ලද මෙම පරමෝදාර කාර්ය භාරය ඉටුකරලීම යුගයෙන් යුගයට ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා පහළවීම ජාතියේ භාග්‍යයකි.චිරන්තන විනය නීතිත්, සමයානුකූල චින්තනයත් නොඉක්මවා නවීන තාක්ෂණික සමාජ තන්ත්‍රයෙහි ක්‍රියාත්මකව ප්‍රබුද්ධ මෙහෙවරක් ඉටුකිරීමට හැකි භික්ෂු පිරිසක් සම්බුද්ධ සසුන හෙබවීම අපගේ නිරන්තර ප්‍රසාදයට හේතුවෙයි.

අපේ මල්වතු විහාර පාර්ශ්වයේ කොළඹ සල්පිටි කෝරළයේ ද්විතීය අධිකරණ සංඝ නායක අපවත්වී වදාළ පදවිගම්පොල ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මානන්ද ගුණානන්දාභිධාන නායක ස්ථවිරයන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර තුම්බෝවිල ධම්මරතන ස්ථවිරයන් වහන්සේ ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි. අනාගතයේදීත් ජාතික ආගමික කර්තව්‍යයන්හි නියැඳීමට ත්‍රිවිධ රත්නයේ රැකවරණින්, ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය ලැබේවායි ආශිංසනය කරම්හ.


සිදුකළ මෙහෙවර ප්‍රශංසාවට පත්වේ

පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන ස්ථවිරයන් වහන්සේ වෙනුවෙන් ආශිංසනාත්මක පණිවුඩයක් නිකුත් කරන්නට ලැබීම ඉමහත් භාග්‍යයක් කොට සලකම්හ.දිවයිනේ ආගමික සංස්කෘතික සාමාජික හා අධ්‍යාපනික ප්‍රබෝධය උදා කිරීමෙහිලා භික්ෂූන් වහන්සේලාගෙන් සිදු වූ උත්තරීතර සේවය යුගයෙන් යුගය අමරණීයත්වයට පත්වෙමින් අපගේ වංශ කථාවේ ස්වර්ණමය පරිච්ඡේදයක් සටහන් කරනු ඒකාන්ත ය. සුප්‍රතිපන්න, උජුපටිපන්න ආදී සංඝ ශෝභන ගුණවලින් සමලංකෘත ගුණගරුක විනයගරුක, සුපේෂල ශික්ෂාකාමී යතිවරයාණන් කෙනෙකු වශයෙන් ද ධම්මරතන ස්ථවිරයන් පුගුණ කළ බුද්ධි මහිමය ස්මරණය කරන්නට මෙය අවස්ථාවක් කොට ගනිම්හ. බොරලැස්ගමුව මහා විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ආදී ප්‍රාදේශික ජාතික විද්‍යාස්ථානයන්හි ආචාර්යවරයෙකු වශයෙන් සේවය කිරීමෙන් අනතුරුව පසළොස් වසකට ආසන්න කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලංකාවේ විශාලතම බාලක පාඨශාලාව වන කොළඹ රාජකීය විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්යයන් වහන්සේ ලෙසින් සිදු කළ මෙහෙවර අපගේ ප්‍රශංසාවට පත් වෙයි.

ස්වකීය ජන්ම ග්‍රාමය වූ තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානය සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත්කිරීමත්, සිසුන් දහසක් පමණ අධ්‍යාපනය ලබන විහාරස්ථ සාදු ධර්ම විද්‍යාලයෙහි ප්‍රධානාචාර්යවරයාණන් ලෙසත් පතුරවාලන ධර්ම ශාස්ත්‍රීය හා ආගමික ප්‍රබෝධය අති මහත් ය. ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය සඳහා අවස්ථා ගණනාවක දී යොමු වෙමින් මහා බ්‍රිතාන්‍යය, මැලේසියාව, ඉන්දියාව ආදී රටවල සිදු කළ ධර්ම ප්‍රචාරක කටයුතු ද ශ්‍රී ලංකාවේ වැඩ සිටින බුරුම ජාතික ස්වාමීන් වහන්සේලා වෙත තම විහාරස්ථානයෙහි ප්‍රත්‍ය පහසුකම් සලසමින් ඉටු කරන මෙහෙවර ද සත්පුරුෂ ගුණයන් ලෙස සලකා අගය කරම්හ.

බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙනුත් මානව වර්ගයාගේ සාමය හා සුබසිද්ධිය වෙනුවෙනුත් ඇපකැප වෙමින් එම සත්කාර්යයන් ඉදිරියට ගෙන යමින් උභය ලෝක ශාසනික සේවයන් සැලසීමට අපේ තුම්බෝවිල ධම්මරතන ස්ථවිරයන් වහන්සේහට ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සහ ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාව බලයෙන් ධෛර්යය, ශක්තිය, දීර්ඝායුෂ ලැබේවා යි ආශිංසනය කරම්හ.


සසුන් කෙතට එළියක් වූ මහ තෙර නමක්

කොළඹ සල්පිටි කෝරළේ පල්ලෙපත්තු බද පිළියන්දල තුම්බෝවිල නම් ග්‍රාමයේ ජන්ම ලාභය ලබා 1983 මැයි මස 17 වන දින මල්වතු පාර්ශ්වයේ කොළඹ සල්පිටි කෝරළයේ ද්විතීය අධිකරණ සංඝ නායක පදවිගම්පොල ගුණානන්ද හිමිපාණන් වහන්සේගේ සහ ඌව ස්‍යාමවංශික මහා නිකායේ වර්තමාන මහානායක අග්ගමහා සද්ධම්මජෝතිකධජ අඹේවෙල පඤ්ඤාසාර මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් ප්‍රවුජ්‍යා සම්පත් ලබා කැප්පෙටිපොල සුභද්‍රාරාම මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

නිට්ටඹුව සාරිපුත්ත ගුරු අභ්‍යාස විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද මුන්වහන්සේ බොරලැස්ගමුව මහා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ද ධර්මාචාර්යවරයන් වහන්සේ නමක් ලෙස සේවය කිරීම බෙහෙවින් ම අගයකළ යුතු විශිෂ්ට ශාසනික සේවාවකි. ස්වකීය ආචාර්යයන් වහන්සේලාගේ අපවත්වීමෙන් පසු තුම්බෝවිල සද්ධර්මාරාමය සහ උඩපමුණ්වේ බණගේතැන්න යන මහා විහාරස්ථානයේ අධිපතිත්වයට පත් තුම්බෝවිල ධම්මරතන නා හිමිපාණන් වහන්සේගෙන් විහාරස්ථානයේ නූතන නවෝදයටත්, දායක කාරකාදීන්ටත් තම සහෝදර භික්ෂූන්වහන්සේලාටත් සිදු වූ සේවය මෙවැනි කෙටි සුබාශිංසනයකින් විස්තර කිරීම පහසු නොවේ. පැවිදි ජීවිතයට අවශ්‍ය සියලු ගුණ දහම්වලින් පරිපූර්ණ වූ මුන්වහන්සේ ප්‍රදේශයේ ශාසනික සහ සමාජ සේවාවන් වෙනුවෙන් සිදුකරන දායකත්වය වෙනුවෙන් ගෞරවනාම රැසකින් පිදුම් ලැබීම අගය කළ යුතු ක්‍රියාවකි. එමෙන් ම දෙස් විදෙස්හි සුපතල ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රාශියක් සසුන් කෙතට දායාද කිරීම බෙහෙවින් ම මුන්වහන්සේගේ චරිතය බැබළීමට මහත් පිටුවහලක් බව කිව යුතු ය.


ඉටුවී ඇත්තේ සුවිශේෂ මෙහෙවරකි

පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමාධිපති තුම්බෝවිල ධම්මරතන ස්ථවිරයන් වහන්සේ ධර්මධර, විනයධර ශික්ෂාකාමී තෙර නම කි “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය, සුඛාය දේවමනුස්සානං” යනාදී බුදුවදන සඵථ කරමින් අද්‍යතන යුගයෙහි වැඩ සිටින ස්ථවිර නමක වශයෙන් ධම්මරතන ස්ථවිරයන් හඳුන්වනු කැමැත්තෙමි.

ගුවන් විදුලි සහ රූපවාහිනි ධර්ම දේශකයාණන් වහන්සේ නමක වශයෙන් ද, පරිත්‍රාණ ධර්ම දේශක හිමිනමක වශයෙන් ද, ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන හිමි නමක වශයෙන් ද උන් වහන්සේ වෙතින් ඉටු වී ඇත්තේ සුවිශේෂි මෙහෙවරකි. පාඨශාලාචාර්යවරයෙකු වශයෙන් ද, ධර්ම විද්‍යාල ප්‍රධානාචාර්යවරයෙකු වශයෙන් ද, ශ්‍රී ලංකාද්වීපයේ ධර්මශාස්ත්‍රෝන්නතිය උදෙසා මෙම ස්ථවිරයන් අතින් සිදු වූ මෙහෙවර අත්‍යුදාර වෙයි. මේ අනුව ධම්මරතන ස්ථවිරයන් වහන්සේ ඉටු කර ඇති මෙහෙවර ලංකාවාසී අප සැමට සතුටට පත්විය හැකි කරුණකි. ධර්මධර විනයධර වියත් භික්ෂුවකගෙන් ඉටු විය යුතු අපරිමිත සේවාව මෙම ස්ථවිරයන් වෙතින් ඉටු වී ඇත.

ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රයේ ආනුභාවයෙන් සහ රක්ෂාවරණයෙන් තව තවත් සම්බුද්ධශාසනාභිවෘද්ධිය පිණිස වැඩ වැඩීමට තුම්බෝවිල ධම්මරතන ස්ථවිරයන්හට ශක්තිය ධෛර්යය ලැබේවායි ආශිංසනය කරමි.


විනය ගරුක ධර්ම කථික හිමිනමක්

එක්දහස් හැත්තෑ ගණන්වල මා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකි. එදා දහස් ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ගුරු චිත්තාරාධනය ලබමින් කැපී මතු වී පෙනුණු එක් ශිෂ්‍යයෙක් විය. හේ හුරු බුහුටිය. කථිකයෙකි. බුද්ධාගම, සිංහල, සාහිත්‍යය, නාට්‍යය ආදී විවිධ විෂයයන්හි උපන් හපන්කම් ප්‍රදර්ශනය කළ සිසුවෙකි. ගුරු ගෞරවයත්, ආගමාලයත් උපරිම මට්ටමෙන් ඒ චරිතයේ දිස්විය.

මාස්පතා ධර්මදේශනාවන් පැවැත්වීමට විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සිදුකිරීම එදා සම්ප්‍රදාය විය. චිර ප්‍රසිද්ධ ධර්ම කථික හිමි නමක් එක් ධර්ම දේශනාවක දී දහම් දෙසමින් පැවිදි වීමේ වටිනාකම පැහැදිලි කෙළේය. අපේ ශිෂ්‍ය නායකයාගේ සිත පැවිද්දෙහි තදින් ඇලුණේ වැඩිකල් නොයාදීම අපගේ ද ආචාර්යත්වයෙන් හේ ශාසනික පැවිද්ද ලබා තුම්බෝවිල ධම්මරතන නමින් හඳුන්වනු ලැබීය.

කැලණියේ විද්‍යාලංකාර මහ පිරිවෙණෙන් හා නිට්ටඹුව ශාරිපුත්ත විද්‍යාපීඨයෙන් ද අධ්‍යාපනය ලබා අවශ්‍ය සුදුසුකම් ඇතුව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ම උප ගුරුවරයෙක් වශයෙන් රජයෙන් පත්කරන ලදුව, ඉතා හොඳින් සේවය කොට කොළඹ රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු වශයෙන් සාර්ථක සේවයක නිරත විය. කලකට පසු රජයේ අවශ්‍යතා මත පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට මාරුවී උසස් අන්දමින් සේවය කරයි. තුම්බෝවිල පොඩි ආවාසයක් ව පැවැති ශ්‍රී සද්ධර්මාරාමය දෙමහල් මැදිරිවලින් පිරිපුන් සකල විහාරාංගයන්ගෙන් සමන්විත දර්ශනීය විරස්ථානයක් බවට පත්කර ඇත.


සුවිශාල ශාසනික පැවතුම්වලින් හා උසස් භික්ෂු ආකල්පයන්ගෙන් යුක්තය

තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති, කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය, තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව පළමුව මාගේ ඉමහත් ප්‍රසාදය ප්‍රකාශ කර සිටිමි.

ගරු තුම්බෝවිල ධම්මරතන නාහිමියෝ සුවිශාල ශාසනික පැවතුම්වලින් හා උසස් භික්ෂු ආකල්පයන්ගෙන් යුක්ත වූහ. ඊට හේතු වූයේ උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවනට ඇතුළත්ව මහාචාර්ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, නාත්තන්ඩියේ ප්‍රඥාකර, ආචාර්ය වැලමිටියාවේ ධර්මරක්ඛිත , ප්‍රාචීන භාෂා චක්‍රවර්ති රත්කරැව්වේ විමලධම්ම, මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම වැනි සුප්‍රකට ප්‍රාඥ ධර්මධරයන් වහන්සේලාගේ පා සෙවණෙහි වර්ග පටිපාටියෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නිරත වීම ය.

නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් හා කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයෙන් උසස් අධ්‍යාපන කටයුතු සපිරූ ගරු තුම්බෝවිල ධම්මරතන නාහිමියෝ බොරලැස්ගමුව මහා විද්‍යාලයේත්, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ හා කොළඹ රාජකීය විද්‍යාලයේත් ධර්මාචාර්ය පදවි හොබවා මේ වන විට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ධර්මාචාර්යයන් වහන්සේ නමක ලෙස කටයුතු කරති.

තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමය හා උඩපමුණුවේ බණගේතැන්න යන උභය විහාරයන්හි විහාරාධිපතිත්වයට පත්වූ අප නාහිමිපාණෝ එකී විහාර කාලානුරූපව නවීකරණය කොට ඒවායේ පුනර්ජීවනය සැලසූහ. තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමයේ සාදු දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ධූරය දරන අතර එහි ඉංග්‍රීසි මාධ්‍ය අංශයක්ද ආරම්භ කරමින් උන්වහන්සේ කළ මෙහෙය ප්‍රශස්තය. මහත් ශාසනික හා සමාජීය තනතුරු හොබවන අතර ගරුතර නාහිමියෝ ගෞරවෝපාධි රැසකින් ද පුද ලදහ. උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ද අධ්‍යාපනයෙන් මෙන්ම ධර්ම ඥානයෙන් ද විශිෂ්ටත්වයට පත් වූවාහු අද අනගි ලෝක ශාසනික සේවාවන්හි නිරත වෙමින් සිටිති.ගරුතර තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ ශාසනික ආගමික හා සමාජීය සේවාව අගයමින් සියම් මහා නිකායේ ඌව පාර්ශවය මඟින් ධර්ම කීර්ති ශ්‍රී ගුණානන්ද ප්‍රඥාසාර ගෞරව නාම සම්මුතිය සහිතව කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමනු ලැබීම පිළිබඳව මාගේ ඉමහත් සන්තෘෂ්ටිය ද ශුභාශිංසනය ද ප්‍රණාම පූර්වකව ප්‍රකාශ කරන අතර, ඒ නිමිති කොට මැයි මස 25 වැනි දා පැවැති සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවයටත්, ජුනි මස 05 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන නාහිමියන් පිළිගැනීමේ උත්සවය වෙනුවෙනුත් ශුභ ප්‍රාර්ථනය කරමි.


අපරිමිත මෙහෙවර වෙනුවෙන් ගෞරව සම්මාන රැසක් දිනා ඇත

තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරය, මාවනැල්ල උඩපමුණුව බණගේතැන්න පුරාණ විහාරය යන උභය විහාරාධිපති, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ධර්මාචාර්ය, කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත සියම් මහ නිකායේ ඌව පාර්ශ්වය මගින් ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද ප්‍රඥාසාර ගෞරව නාම සම්මුතිය සහිතව කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම සම්බන්ධයෙන් හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.1966 වසරේ පිළියන්දල තුම්බෝවිල ග්‍රාමයේදී උපත ලබා 1983 වසරේ පැවිදි දිවියට එළැඹි අප නායක ස්වාමින් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් දැන උගත් වියත් සිල්වත් මහා යතිවරයාණන් වහන්සේලා ඇසුරේ ධර්ම ශාස්ත්‍ර අධ්‍යයනයන් සපුරා නිට්ටඹුව සාරිපුත්ත ගුරු අභ්‍යාස විද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපන කටයුතු සිදු කොට ආචාර්ය ස්වාමින් වහන්සේ නමක ලෙස දිවයිනේ පසල් ගණනාවක සේවය කොට ඇත.

තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානය, මාවනැල්ල උඩපමුණුව බණගේතැන්න පුරාණ විහාරය යන විහාරස්ථානයන්හි විහාරාධිපති ධුරය දරමින් එම විහාරස්ථානයන්හි නූතන අභිවෘද්ධිය උදෙසා කැප වූ උන්වහන්සේ සැදැහැවතුන්ගේ අධ්‍යාත්මික දියුණුව පිණිස ද, දහම් පාසල් අධ්‍යාපනය තුළින් ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ ගුණදම් වර්ධනය පිණිස ද කැප වී කටයුතු කළහ.අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෙන්ම ශාසනික සමාජ අභිවෘද්ධිය උදෙසා ද ස්වකීය පැවිදි දිවිය තුළ ඉටු කළ අපරිමිත මෙහෙවර වෙනුවෙන් තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෞරව සම්මාන රැසක් දිනා ඇත. අභිනව ප්‍රධාන සංඝනායක ධුරය ද උන්වහන්සේගේ විශිෂ්ට ශාසනික, සමාජ මෙහෙවර ඉදිරියටත් සාර්ථකව ඉටුකිරීමට මහත් පන්නරයක් වනු නිසැකය. අතිපූජ්‍ය තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත්, චිර ජීවනයත් මෙත් සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමි.


සමාජයට අනුශාසනා කරන නාහිමිනමක්

පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරය මාවනැල්ල උඩපමුණුව බණගේතැන්න පුරාණ විහාරය යන උභය විහාරාධිපති පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ධර්මාචාර්ය ගෞරවාර්හ තුම්බෝවිල ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශවය මගින් ”ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද ප්‍රඥාසාර” යන ගෞරව නාම සම්මුතිය සහිතව කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව මම අතිශය සතුටට පත් වෙමි.මීට වසර 53 කට පෙර ජන්මලාභය ලැබ වසර 36 කට පෙර උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් උන්වහන්සේ නිසි වයස් සම්පූර්ණ වීමෙන් අනතුරුව අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වූහ.සිය ගුරුදේවයන් වහන්සේ වෙතින් මූලික බණ දහම් හදාරා පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයට යොමුවූහ.තමන් ලබාගත් දැනුම් සම්භාරය දැයේ දූ දරුවන්ට ලබා දීමේ අරමුණින් ගුරු වෘත්තියට එළඹ බොරලැස්ගමුව මහා විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය කොළඹ රාජකීය විද්‍යාලය යන විදුහල්වල සේවය කළ අතර වර්තමානයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලැබේ.ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලය, විහාරාධිපති සංගමය ඇතුළු සංවිධාන රැසක නිලතල දරමින් කටයුතු කරන උන්වහන්සේ විවිධ ශාසනික ගෞරවෝපාධි හිමි කරගත් යතිවරයාණන් වහන්සේ නමකි.

සඟ සසුන බැබළෙන්නේ උගත්, ධර්මධර, විනයධර ස්වාමීන් වහන්සේලා නිසාය අප නාහිමියන් වහන්සේද බහුශ්‍රැත ස්වාමීන් වහන්සේ නමක වශයෙන් සිය විහාරස්ථාන දියුණු කරමින් මුළු මහත් සමාජයටම අර්ථයෙන් සය ධර්මයෙන් අනුශාසනා කරන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි.එබඳු ස්වාමීන් වහන්සේ නමකට මෙබඳු නායක පදවියක් පිරිනැමීමට ගත් උත්සාහය පිළිබඳ ස්ව නිකායට මාගේ බලවත් ප්‍රසාදය පළ කරමි.

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි 02වන දා ඉරිදා අපර භාග 4.40ට ලබයි. 03 වන දා සඳුදා අපර භාග 3.31 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජුනි 10 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]