[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසමසම ගුණ මහිම: සංසාරේ පුණ්‍ය මහිමය

සංසාරේ පුණ්‍ය මහිමය

වෙසක් පුර පසළොස්වක මැයි 18 වනදා පත්‍රය හා සම්බන්ධයි.

දිග් විලුඹක් ලබනවා. දිගු ඇඟිලි ලබනවා. බ්‍රහ්මයෙකුට වගේ ඍජු කයක් ලබනවා.මෙවන් මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබූ පුද්ගලයා ගිහි ගෙදරක වාසය කරන්නේ නම් සක්විති රජ කෙනෙක් බවට පත්වෙනවා.

එවන් සක්විති රජු සතර මහාද්වීපයන්ට ම අධිපතිව සියලු රත්නයන් ලබනවා. මේ ආකාර වූ සක්තිවි රජ කෙනෙකුට ලැබෙන ආනිසංස වන්නේ, දීර්ඝායුෂ ලැබීම ය. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන කිසිදු පුද්ගලයෙකුට, විරුද්ධවාදියෙකුට රජු ඝාතනය කළ නොහැකි ය. නමුත් දෙවියන්ට, බ්‍රහ්මයන්ට මාරයාට සක්විති රජුට හානියක් කළ හැකි ය.

ඒ වගේ ම මෙම කුසල කර්මය කළ පුද්ගලයා ගිහිගෙය අත්හැර පැවිදි දිවියට පත්වූවොත්, සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. එසේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ පසු ලබන ආනිසංස වන්නේ, දීර්ඝායුෂ ලැබීමයි. ඒ වගේ ම සම්මා සම්බුද්ධත්වයට පත් වූ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට මනුෂ්‍ය ලෝකයේ කිසි ම විරුද්ධවාදියෙකුට , සතුරෙකුට එපමණක් නොව, ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙකු හෝ වේවා, දෙවියෙක් හෝ වේවා, මාරයෙක් හෝ වේවා මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඝාතනය කළ නෙැහැකියි. එනම් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සිදුරුවෙන ආකාරයෙන් උපද්‍රවයක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ.

එයට හොඳම උදාහරණය වන්නේ, දේවදත්ත හාමුදුරුවෝ ගිජුකුළු පව්වේ සිට ගලක් පෙරළීමයි. දේවදත්ත හාමුදුරුවන්ට ඇත්තු පස් දෙනෙකුගේ ශරීර බලයක් පවතිනවා. එවන් ශරීර ශක්තියක් පවතින දේවදත්ත හාමුදුරුවෝ එකල පැවැති දියුණු යන්ත්‍රයක ආධාරයෙන් තමයි ගල පෙරලා තියෙන්නේ. ඒ ඇත්තු පස්දෙනෙකුගේ ශක්තියටත් එසවිය නොහැකි ප්‍රමාණයේ විශාල ගලක් පෙරලූ බවයි ධර්ම කතාවේ සඳහන් වන්නේ. ඒ පෙරලූ ගල භාග්‍යවතුන් වහන්සේගේ සසරේ පුණ්‍ය මහිමය නිසාවෙන් ඒ මොහොතේ පොළොවෙන් ගලක් මතුවුණා. පෙර සසරේ උන්වහන්සේ කළ අකුසල කර්මයක් හේතුවෙන් ඒ පැන නැගුණ ගලෙහි ගැටී ගල් පතුරක් විසි වී උන්වහන්සේගේ ශ්‍රී පාදයේ මහපටැඟිල්ලේ වදිනවා. මහපටැඟිල්ලේ ලේ කැටියක් පමණයි හටගන්නේ.

මෙම මහා පුරුෂ ලක්ෂණ තුන ලැබූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරය සිදුරු කරන්න, හානියක් සිදු කරන්න කිසිවෙකුටත් පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ. මේ ආකාරයෙන්වත් සිදුවීමක් සිදු වූයේ උන්වහන්සේගේ පෙර සසරේ සිදු කළ අකුසල කර්මයක් නිසයි.තවත් වටිනා කාරණා කිහිපයක් අට්ඨ කතාවේ සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙර සසරේ පුණ්‍යකර්ම සිදු කළ ආකාරයත් සමඟයි, මේ පුරුෂ ලක්ෂණ තුන ලැබෙන්නේ. උදාහරණයක් ලෙස සඳහන් කරන්නේ නම්, “යමෙක් සතුන් දඩයමේ හෝ ප්‍රාණඝාතයක් සිදු කරන්න යන විට ඒ සතාට ඇසෙයි කියා පාදය අගින් හෝ ඇඟිලි තුඩුවලින් පාදය තබා ගමන් කරන්නේ. පෙර ජීවිතයේ දී ඒ ආකාරයෙන් ප්‍රාණඝාතය සිදු කළ පුද්ගලයෙකුට ලැබෙන අකුසල විපාකය වන්නේ, පාදය තබන විට පාදය වක්වෙලා පිහිටනවා. තවත් සමහර අයෙකුගේ පාදය තබන විට වී අකුරේ හැඩයට දෙපැත්තට බර වෙනවා. එනම් එළියට වක්වීම හා ඇතුළට වක්වීම යැයි එයට පවසනවා. තවත් සමහරෙක් උක්කුටියෙන් එනම් බකල ආකාරයට පාදය තබනවා. ඒවගේ ම සමහර අයෙකුගේ පාදයේ අගින් හෝ මුලින් ඇද සහිතයි.

මේ කියන කිසිදු ආකාරයකට බෝසතාණන් වහන්සේ ප්‍රාණඝාතය සිදු නොකළ හෙයින් “ආයතපණ්හි” මහා පුරුෂ ලක්ෂණය ලබනවා. “ආයතපණ්හි” නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය කොටස් හතරකට බෙදන්නේ නම් එක් කොටසක් සම්පූර්ණයෙන් ම පවතින්නේ විලුඹයි.

තවත් සමහර අය ප්‍රාණඝාතයක් සිදු කරන්නට යන විට කවුරුන් හෝ දකීවි යැයි සිතා හිස, කොන්ද නමාගෙන ගමන් කරනවා. ඒ ආකාරයෙන් ප්‍රාණඝාත සිදු කළ අය කුදුව, මිටිව එසේ නැතිනම් අතක් හෝ පාදයක් කොරව උපදිනවා. බෝසතාණන් වහන්සේ පෙර සංසාරේ ඒ ආකාරයට ප්‍රාණඝාත නොකළ නිසා උන්වහන්සේ “බ්‍රහ්මුජුගත්ත” නම් වූ මහා පුරුෂ ලක්ෂණය ලබනවා. එනම් මනා වූ ඍජු කයක් ලබනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන විට, නැවක රැගෙන යන පිළිමයක් සේ නොසෙල්වෙන ඍජු කයක් පවතිනවා.

යමෙක් ආයුධයකින්, මුඟුරකින්, දෑතින්, පාදයෙන් පහර දී ප්‍රාණඝාතය සිදු කරන අවස්ථා දැක තිබෙනවා ද? සසරේ එසේ ප්‍රාණඝාත සිදු කළ අය මේ ආත්මභාවයේ දී කොට ඇඟිලි සහිත ව උපදිනවා. දෑත් කොට වීම, ඇඟිලි වක්වීම. දෑත ඉදිරියට දිගු කළ විට අත්ල පෙන ගොබයක් සේ වීම. මෙවැනි ශරීරාංග අඩුපාඩුකම් ලබන්නේ, ඉහත පැවසූ සේ ප්‍රාණඝාත සිදු කිරීම නිසයි.

භාග්‍යවතුන් වහන්සේ සසරේ ප්‍රාණඝාත සිදු නොකළ බව මේ ලෝකයේ මනුෂ්‍යයන් දැන ගනිත්වා යන සංඥාවෙන් “දීඝඪිගුලි” නම් වූ මහා පුරුෂ ලක්ෂණය ලබා තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ මහපටැඟිල්ල හැර අනෙක් ඇඟිලි හතරම සමාන්තරව දිගු ඇඟිලි ලෙස පිහිටා තිබෙනවා.මෙම මහා පුරුෂ ලක්ෂණ තුනම ලැබූ නිසා උන්වහන්සේ දීර්ඝ ආයුෂයක් ලබනවා යැයි ද සඳහන් වේ.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]