[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසමසම ගුණ මහිම : කුසලයෙහි බලය

කුසලයෙහි බලය

“පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො අහොසි”

භාග්‍යවතුන් වහන්සේ පෙර මනුෂ්‍ය ආත්මභාවයන් හි උප්පත්තිය ලැබූ සමයන්හි ප්‍රාණඝාතය අත්හැර තියෙනවා. ප්‍රාණඝාතයෙන් විශේෂයෙන් ම වැළකී තියෙනවා. ප්‍රාණඝාතය අත්හරිනවා සහ ප්‍රාණඝාතයෙන් විශේෂයෙන් ම වැළකෙනවා කියන කාරණා දෙක සියුම් ව තේරුම් කර ගත යුතුයි.

වර්තමාන සමාජයේ බොහෝ අය සිතන්නේ තමා සතුන් මරන්නේ නැහැ කියලයි. ඒ තමන් අලි, කොටි වැනි විශාල සතුන් මරන්නේ නැහැ කියන අවස්ථාවේ දී අප සතුන් මරන්නේ නැති අය” ලෙස සිතනවා. නමුත් මේ අවස්ථාවේ දී ප්‍රාණඝාතයෙන් නිදහස්වීම කියන කරුණ ඇත්තට ම හරියට දන්නේ භාග්‍යවතුන් වහන්සේ යි. ඒක මේ ප්‍රමාණයට නොමරණ කෙනා තමයි ප්‍රාණඝාතයෙන් නිදහස් වුණා කියා කියන්න බැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ඤාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරනවා, ඇසට පෙනෙන කුඩා ප්‍රාණියෙක් වුව යමෙක් මරණයට පත්කරනවා නම්, අන්න ඒ ක්‍රියාව ප්‍රාණඝාත අකුසල කර්මයට අයිතිවෙනවා. මෙම අවස්ථාවේ දී උන්වහන්සේ දේශනා කරන්නේ අන්න ඒ ප්‍රමාණයට යමෙක් ප්‍රාණඝාතයෙන් නිදහස් වෙනවා නම්, සතුන් නොමරා සිටී නම්, අන්න ඒ පුද්ගලයාට කියන්නේ සියලු ප්‍රාණඝාතයෙන් නිදහස් ව කුසල කර්මයක් ලෙස සමාදන් ව සිටිනවා කියලයි.

උදාහරණයක් ලෙස වර්තමාන සමාජයේ විවිධ කෘමිනාශක ද්‍රව්‍යයන් පාවිච්චි කිරීමත් ප්‍රාණඝාත අකුසල කර්මයට අයත් වෙනවා. මේ ද්‍රව්‍යයන්ගෙන් සිදුවන්නේ සතුන් මරණයට පත්වෙන එකයි, එවිට මෙන්න මේ ප්‍රමාණයට තමයි ප්‍රාණඝාතය කියන අකුසල කර්මය කියා කියන්නේ. ඒ ප්‍රමාණයෙන් වළකිනවා නම් තමයි ඇත්තට ම යමෙක් ප්‍රාණඝාත අකුසල කර්මයෙන් මම හරියට ම නිදහස් වුණා කියා කියන්න පුළුවන් වෙන්නේ.

බෝසතාණන් වහන්සේ අන්න ඒ ක්‍රමයට සංසාරේ ප්‍රාණඝාත කියන අකුසල කර්මයෙන් වැළකිලා. ප්‍රාණඝාත යන අකුසල කර්මය අත්හැර, විශේෂයෙන් ම වැළකිලා තියෙනවා. විශේෂයෙන් ම වළකිනවා කියන්නේ, සියුම් සත්වයෙක්වත්, එනම් කුරා කුහුඹියෙක්වත් නොමරණ තැනට උන්වහන්සේ කර්මය සිදු කර තියෙනවා.

බෝසතාණන් වහන්සේ “නිහිතදණ්ඩො” දඬු ගැනීමේ ක්‍රියාවෙන් වැළකී, “නිහිතසත්ථො” ආයුධ ගැනීමෙනුත් වැළකී තියෙනවා. “ලජ්ජී” පවට ලජ්ජාව, පවට බය ඇති වෙලා තියෙනවා. ඒ වගේ ම පව් කරන්න අවස්ථාවක් ආ විට හැකි ළෙනවා. ඒ සඳහා උනන්දු වෙන්නෙ නැහැ. උත්සුක වෙන්නෙ නැහැ. ප්‍රීතියට පත් වෙන්නෙත් නැහැ. ලජ්ජාවට පත්වෙනවා. ආපස්සට එනවා. තමන්ගේ ක්‍රියාව නවත්වනවා.

“දයාපන්නො” බෝසතාණන් වහන්සේ සියලු සත්වයන්ට කරුණාව දැක්වූවා. ඒ වගේ ම උන්වහන්සේ සියලු සත්වයන්ට හිතවන්තව, අනුකම්පා සහිතව වාසය කිරීම “සබ්බපාණභූත හිතානුකම්පී විහාසි” යනුවෙන් සඳහන් කරනවා. මේ ආකාරයට උන්වහන්සේ සංසාරේ ප්‍රාණඝාතයෙන් නිදහස් වී තියෙන්නේ. කොහොම ද කියනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකිලා විශේෂයෙන් ම වැළකිලා. එනම් “කටත්තා” - බෝධිසත්වයන් වහන්සේ ඒ පුණ්‍ය කර්මය සිදු කළා. “උපචිතත්තා” – විශේෂයෙන් රැස් කළා. “උස්සන්නත්තා” – අධික ලෙස පුණ්‍ය කර්ම රැස් කළා. “විපුලත්තා” – මහත් ලෙස එනම් පැතිරෙන ආකාරයෙන් උන්වහන්සේ පුණ්‍ය කර්ම රැස් කළා. “සතපුඤ්ඤ” ලක්ෂණයෙන් යුතුව උන්වහන්සේ සංසාරේ බොහෝ වාර ගණනාවක් මේ අකුසල කර්මයෙන් වැළකී තියෙනවා.

මේ ප්‍රමාණයෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණු පුද්ගලයෙක් මරණයට පත් වූ පසු දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා. දිව්‍ය ලෝක උප්පත්තියෙන් පසු නැවතත් මනුෂ්‍ය ලෝකයේ උපතක් ලබනවා. මනුෂ්‍ය ලෝකයට පැමිණි පුද්ගලයාට පෙර සසරේ සිදු කළ පුණ්‍ය කර්මයේ ආනිසංසයක් වශයෙන් මහා පුරුෂ ලක්ෂණ තුනක් ලබනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස වෙසක් අව අටවක පෝදා(මැයි 26) පත්‍රයේ පළවේ.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]