[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිහඬ බව නිවැරැදිව තේරුම් ගනිමු

නිහඬ බව නිවැරැදිව තේරුම් ගනිමු

මී පැණි රස ය, නමුත් ඒ රසය නියම අයුරින් දැනෙන්නේ එය දිව ගා බලන විට ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ උත්තමයෙකු බව අපි දනිමු. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන නිවැරැදි අවබෝධයක් ලබාගැනීමට නම් බුදුගුණ රස වින්දනය කර තිබිය යුතු ය.

බුදුගුණ නමැති රසය විඳින්න විඳින්න ඒ බුදුරදුන් ගැන ඇතිවන හැඟීම කියා නිම කළ නොහැකි ය. ත්‍රිපිටකය තුළින් පෙනෙන බුදුහාමුදුරුවෝ අපේ විහාරය තුළ වැඩ සිටින බුදුහාමුදුරුවන්ට වඩා වෙනස් ය. විහාරය තුළ වැඩ සිටින්නේ අචේතනික බුදුකෙනෙකි. ත්‍රිපිටකය තුළින් ජීවමාන, සචේතනික බුදුවරයෙකු දැකගන්නට පුළුවන. බුදුහාමුදුරුවන් කතා කරන හැටි, බණ කියන හැටි, ප්‍රශ්න විසඳන හැටි, පිඬු සිඟා වඩින හැටි, හැම මොහොතකම අනුන් වෙනුවෙන් කැපවෙන හැටි, වෙහෙස මහන්සිය නොතකා පා ගමනින් වඩින හැටි, අනුන්ගේ දුක වේදනාව කඳුළ නැති කිරීමට සානුකම්පිතව ක්‍රියා කරන හැටි, උන්වහන්සේ සිතන පතන හැටි යන මේ සියල්ල ත්‍රිපිටකය තුළින් දැකගත හැකි ය. ත්‍රිපිටකය තුළින් අප දකින්නේ ජීවමාන බුදු කෙනෙකි. ත්‍රිපිටකය කියවන්න කියවන්න ජීවමාන බුදුරුව මැවී පෙනේ. ඒ තුළින් නොදැනුවත්වම තව තවත් අප බුදුරදුන් වෙත ළං වනු ඇත.

සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේ එක් දිනෙක උදෑසනින් ම පාසිවුරු ගෙන පිඬු පිණිස වැඩියහ. පිණ්ඩපාතය සඳහා කාලවේලාව ඇති හෙයින් පොට්ඨපාද පරිබ්‍රාජකයා සිටින මල්ලිකාරාමය දෙසට ගොස් ඔහුගේ ගෝලයින් සමඟ කතාබස් කිරීම වැදගත් වේ යැයි සිතා මල්ලිකාරාමය දෙසට වැඩම කළහ.

බුදුරදුන් තම ආරාමය දෙසට වඩින බව දුටු පොට්ඨපාද දෙතිස් කතාවෙන් ඝෝෂාකාරීව හැසුරුණු තම පිරිස නිහඬකරලීමට “භවත්නි, ඔබලා නිහඬ වන්න, කිසිම ශබ්දයක් කරන්න එපා, ශ්‍රමණ භවත් ගෞතමයන් මෙහාට එනවා. උන්වහන්සේ නිහඬ බවට කැමැති කෙනෙක්. නිහඬතාවයෙහි ගුණය කියන කෙනෙක්, ඔබලා නිහඬ පිරිසක් කියල උන්වහන්සේට වැටහුණොත් උන්වහන්සේ මෙතනට පැමිණෙනවා ඇති,”

මේ අනුව බුදුහාමුදුරුවන් තම ආරාමය දෙසට වඩින විට පොට්ඨපාද පරිබ්‍රාජකයා ඉතා ඕනෑකමින් බුදුරදුන් පිළිගැනීමට සූදානම්වූ බව දැකගන්නට පුළුවන්.

“බුදුරදුහු නිහඬතාවයට කැමැති කෙනෙක්, නිහඬ බව අගය කරන කෙනෙක්, නිහඬ ජීවිතය පුරුදු කළ කෙනෙක්.” යනුවෙන් බුදුරදුන්ගේ වටිනා ගුණයත් පොට්ඨපාද විසින් පෙන්නුම් කරනු ලැබුවා. නිහඬතාවය අපේ ජීවිතවලට වටිනා ආභරණයක්. අපේ පැරැණි ශ්‍රී ලාංකිකයින් නිහඬ ජීවිත ගතකළ අය. එදා ගම නිහඬයි, ශාන්තයි දාන්තයි, එදා ගමේ ඝෝෂාකාරී, කලබලකාරී පරිසරයක් තිබුණේ නැහැ. එනිසාම ගම සැනසිලිදායකයි.

එක දවසක් බුදුහාමුදුරුවන් බැහැදකින්න හාමුදුරුවරු පන්සිය නමක් දුරබැහැර සිට ජේතවනාරාමයට වැඩමකළා. උන්වහන්සේලා ජේතවනාරාමයට පැමිණීමෙන් පසු කලබලකාරී, තරමක් ඝෝෂාකාරී බවක් විහාරස්ථානය තුළ ඇතිවුණා.

හාමුදුරුවරු පන්සියනමක් වැඩමකළ අවස්ථාවක් නිසා තරමක කලබලයක් ශබ්දයක් ඇතිවීම ස්වභාවිකයි. හෙමින් හෙමින් කතා කළත් තරමක ශබ්දයක් ඇතිවෙනවා. මේ හාමුදුරුවරු හැන්දෑවේ වැඩම කළේ උදේ පාන්දරින්ම බුදුහාමුදුරුවන් බැහැ දැක වැඳල යන්න හිතාගෙනයි. බුදුහාමුදුරුවන්ට මේ ඝෝෂාකාරී ශබ්දය ඇහිලා ආනන්ද හිමියන් කැඳවලා ‘ආනන්ද, කවුද ඔය ඝෝෂා කරන්නෙ’ කියල ඇසුවා. ‘බුදුහාමුදුරුවනේ, මේ හැන්දෑවේ භික්ෂූන් පන්සියයක් පැමිණියා. හෙට උදෙන්ම ඔබවහන්සේ මුණ ගැසීමේ අදහසින් තමයි උන්වහන්සේලා ඉන්නෙ,උන්වහන්සේලාගේ ශබ්දය තමයි ඔය ඇසෙන්නේ, කියල ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දුන්නා. බුදුහාමුදුරුවෝ කියනවා ‘ආනන්ද ඒ අයට වහා පන්සලෙන් පිටවෙන්න කියන්න” ඒ වෙලාවෙම ආනන්ද හාමුදුරුවො පණිවුඩයක් ඇරියා. ඒ භික්ෂූන්ට ආරාමයෙන් පිටවන ලෙසට මෙය බුදුරදුන්ගේ නියෝගයක් බවත් දන්වා සිටියා. ඔබ වහන්සේලා අනවශ්‍ය විදියට ඝෝෂාකිරීම මෙබඳු නියෝගයක් පැනවීමට හේතුව වූ බවත් දන්වා සිටියා. පන්සීයක් භික්ෂුහු බුදුරදුන්ට ගෞරවයක් ලෙස එම නියෝගය පිළිපදිමින් ආරාමයෙන් පිටත්ව ගියා. මේ භික්ෂූහු යන ගමන් “ඔබ වහන්සේලා තමයි අනවශ්‍ය විදියට කෑගැසුවේ” යනුවෙන් ඔවුනොවුන්ට දොස් කියා ගත්තා. අවසානයේ මේ සියලු දෙනාම සාකච්ඡා කර තම තමන් තුළ පැවැති අඩුපාඩු තේරුම් ගත්තා. බුදුහාමුදුරුවන්ට අවශ්‍ය වූයේ තමන් කළ වරද තමන්ට අවබෝධ වන විදියේ අවස්ථාවක් උදාකරන්න.

මේ පන්සීයයක් හාමුදුරුවරු බුදුරදුන්ගේ නියෝගය තේරුම් ගනිමින් වරද පිළිගෙන එමගින් තම ජීවිතය අඩුපාඩුවක් නැතිව සකස්කර ගන්නට තීරණය කරගත්තා. මේ හාමුදුරුවරු එදාම රාත්‍රී ළඟ ඇති කැලෑවකට වැඩම කර ගස් මුල් ළඟ නිදාගෙන සිට කැලෑව අයිනෙන් ගලායන වග්ගුමුදානදිය අසබඩ ගස්මුල් ඇසුරු කරමින් භාවනා කර සියලු කෙලෙස් නැතිකර රහත්ඵලයට පත් වූවා, බුදුරදුන් දිවැසින් බලා එදා හවස ම ආනන්ද හිමියන් සමඟ මේ වනයට වැඩම කළා. උන්වහන්සේලා සමඟ පි‍්‍රයශීලීව හා සුහදශීලීව සතුටු සාමිචීයෙහි යෙදුණා.

වැරැද්ද දුටුවිට බුදුරදුන් එම වැරැද්ද පෙන්වා දුන් අයුරුත්, ඒ අනුව ඔවුන් තමන් අතින් සිදු වූ වැරැද්ද තේරුම්ගෙන වැරැද්ද නිවැරැදි කරගත් අයුරුත්, එනිසාම තම මූලික අරමුණ ජයගත් අයුරුත් මෙම සිද්ධිය අපට පෙන්නුම් කරයි. පණ්ඩිත ජවහර්ලාල් නේරුතුමා ලංකාවට පැමිණි අවස්ථාවක එතුමා පිළිගැනීමේ උත්සවයක් පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ දී පවත්වා ඇත. එහිදී එතුමා විද්වත් පිරිස ඉදිරිපිට දේශනයක් පැවැත් වූ අතර එහි දී එතුමාම ප්‍රශ්නයක් මතුකර එයට පිළිතුරක් ද එතුමා විසින් සපයන ලදී. එතුමා මතුකළ ප්‍රශ්නය වූයේ සංස්කෘතිය යනු කුමක්ද? යන්නයි. එතුමාම එයට දුන් පිළිතුර වූයේ සංස්කෘතිය නම් කෑකෝ ගැසීම, ඝෝෂා කිරීම නොව නිශ්ශබ්දතාවය යන්නයි. බෞද්ධයෙකු නූනත් බුදුදහමෙහි සඳහන් නිහඬතාවය එතුමා අගය කළා. මේ අනුව බුදුසමය පෙන්වා දී ඇති නිහඬතාවය යනු හික්මීමේ, ශීලාචාරකමේ ඇති මූලික අංගයක් ලෙස පෙන්නුම් කළ හැකියි.

අජාසත්ත රජතුමා ජීවක ඇමැතිතුමා ඇතුළු පිරිස සමඟ ජීවක අඹ උයනවෙත ගියා. අඹ උයනේ දොරටුව ළඟට පැමිණි රජු, ජීවක ඇමැතියෙනි, ඔබ කීවේ බුදුරදුන් සමඟ එක්දහස් දෙසිය පණහක් භික්ෂූන් මෙහි වැඩ සිටින බවයි. එසේ කීවාට කිසිම අයෙකු අඹ උයනේ නැති බවයි මට දැනෙන්නේ. නැහැ රජතුමනි, ඇතුළට ගොස් බලන්න. බුදුරදුන් සමඟ එක්දහස් දෙසිය පණහක් භික්ෂූහු වැඩ සිටිනවා.

පුදුමයි ඇමතිය, මෙතරම් පිරිසක් ඉඳලත් කතා කරන ශබ්දයක් නැහැ. කහින ශබ්දයක් වත් නැහැ. අඩු ගානේ කිඹුහුමක් යන ශබ්දයක් වත් නැහැනේ. හරිම ආශ්චර්යයක්. උයන ඇතුළට ගොස් වට පිටාව බලනවිට එක්දහස් දෙසිය පණහක් භික්ෂූහු තැන් තැන්වල ගස්මුල් ඇසුරු කරගනිමින් භාවනායෝගීව වැඩ සිටින බව දැක්කා. මෙය දුටු රජු කීවේ කුමක්ද? හරිම සිත්කළු ශාන්ත දාන්ත නිහඬ දැක්මක් මේක. අනේ මගේ පුතණුවන් ද මෙබඳු ශාන්ත දාන්ත නිහඬ තැනැත්තෙකු බවට පත්වේවා කියා එතුමා ප්‍රාර්ථනා කළා. මෙහ ිදී අප අගයන, වර්ණනා කරන නිහඬතාවය යනු හැමතැනක දී ම නිහඬවීම නොවේ. අවස්ථාව බලා සුදුසු යෝග්‍ය කරුණක දී අදහස් දැක්වීම අවශ්‍යයි. මෙහිදී ස්ථානය කාරණය, උචිත බව, ඵලදායිත්වය අපගේ අවධානයට ලක්විය යුතු යි. නිහඬවීම යන්නෙන් විශේෂයෙන් අදහස් වන්නේ දෙලොවටම ප්‍රයෝජනයක් නැති දෙතිස් කතාවලින් වැළකී සිටීම යි. අද සමාජය දෙස බලන්න. මොනතරම් කාලයක් වැඩක් නැති නිෂ්ඵල කතාවලට ගත කරනවාද? උදේ සිට රාත්‍රී නින්දට යනතෙක් ගත වූ කාලය දෙස ආපසු හැරී බැලුවහොත් මොනතරම් කාලයක් අනවශ්‍ය කතා වෙනුවෙන් ඔබ ගතකර ඇත්දැයි ඔබටම පෙනේවි. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ වැඩ සඳහා යොමුව ඇති කාලය අඩුම මට්ටමක පවතී. උදේ 6 සිට රාත්‍රී 10 දක්වා පැය භාගයෙන් භාගයට ඔබ කළ දේ සටහන් කර වගුවක් ලෙස සකසා බලන්න. එවිට ඔබටම තේරේවි කාලය ගතවී ඇත්තේ කුමන ආකාරයකට ද යන්න. කොතරම් කාලයක් නිකරුණේ යෙදුවාද එක් එක් පුද්ගලයන්ගේ අඩුපාඩු, වගතුග, ඇද පලුදු, වංහුං අප මොනතරම් අවුස්සනවා ද? සමහරවිට අප අතර ඇත්තේ කතා කිරීමේ වැනි සන්දර්ශනයන් ය. එක් අයෙකු කතා කර අවසන් වූ පසු අනෙක් තැනැත්තා ඊට නොදෙවෙනිව කතා කරයි. අවමඟුල් හා වෙනත් නොයෙක් උත්සවවලදී අනවශ්‍ය ලෙස මොනතරම් කාලයක් අප කතාවෙනුවෙන් වැය කරනවාද? පුද්ගලයාගේ දියුණුවටත් රටක දියුණුවටත් මූලිකම සාධකය කාලයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගැනීමයි. භස්සාරාමතා, ගණ සංඝණිකාරාමතා යනුවෙන් නිතරම කතාවෙහි ඇලී ගැලී සිටීමත්, කණ්ඩායම් වශයෙන් අනවශ්‍ය කතාවල නියුක්ත වීමත් භික්ෂුවගේ මූලික අරමුණට බාධාවක් බව බුදුරදුහු පෙන්වා දී ඇත. මෙය භික්ෂුවට පමණක් නොව පොදුවේ සෑම දෙනාටම වැදගත් වනු ඇත. මේ අනුව නිහඬබව නිවැරැදිව තේරුම්ගෙන අපගේ කාලය අපතේ නොහැර ජීවිතවල කාර්යක්ෂමතාව හා ඵලදායිත්වය නංවා ගැනීමට උත්සාහ කළහොත් හෙට දිනය දියුණු ජාතියක් ලෙස උදම් ඇනිය හැකි මට්ටමට අප පත්වනු ඇත.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]