[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සත්පුරුෂයා හඳුනා ගනිමු

සත්පුරුෂයා හඳුනා ගනිමු

පිරිහෙමින් යන ලෝකයේ සත්පුරුෂ ගුණ ධර්ම ද ඉතා වේගයෙන් පිරිහීි යමින් පවතිනවා. අසත්පුරුෂයන්ගේ ඇසුර නිසා සමාජයේ බාල, තරුණ, මහලු බොහෝ දෙනාගේ සත්පුරුෂ ගුණධර්ම ගිලිහී යමින් පවතින්නේ. සත්පුරුෂ ගුණධර්ම බුදුපියාණන් වහන්සේ ඉතා ඉහළින් අගය කළ අතර, මුළු බුද්ධ ශාසනයම රඳා පවතින්නේ සත්පුරුෂයා මත බව වරක් උන්වහන්සේ වදාළ සේක.

එසේම තමා තුළ තිබෙන සත්පුරුෂ ගුණ පිළිබඳවද නිතර නිතර සිහිකරන ලෙසද වදාළා. කෙළෙහි ගුණ සැලකීම, කල්‍යාණ මිත්‍ර සේවනය, දෙමාපියන්ට සැලකීම, මේ වාගේ ගුණ අප කා තුළත් තිබෙනවා. ඒවා බොහෝම හොඳයි. නමුත් සත්පුරුෂයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය ඔබ අසා ඇති. බුද්ධ ධර්මයේ ඉගැන්වෙන සත්පුරුෂයා ගැන මෙසේ දැනගන්න.

යමෙක් තෙරුවන් සරණ ගියේ නම්, ඒ සත්පුරුෂයෙක් කියා බුදුහාමුදුරුවෝ වදාළා. ඔහු සත්පුරුෂයෙක් පමණක් නොවෙයි, ඔහු සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයෙක් ද වෙනවා. මේ ලෝකයේ සිටින සත්පුරුෂයන් අතර ඉහළම සත්පුරුෂයා අප සරණ ගිය බුදුපියාණන් වහන්සේ යි. උන්වහන්සේ අපගේ සත්පුරුෂයා වන්නේ ඇයි? ඒ බුදුරජාණන් වහන්සේ හැම දෙනාටම කල්‍යාණ මිත්‍රත්වයේ පිහිටා මඟ පෙන් වූ නිසා යි.

සත් යන වචනය සාමාන්‍ය වචනාර්ථයෙන් ගත් විට එහි තේරුම යහපත් හොඳ ආදී වශයෙන් ගන්න පුළුවන්. අයහපත් දේට අපි අසත් කියා කියනවා. යහපත් පුද්ගලයන් සත්පුරුෂයන් වශයෙන් ද අයහපත් පුද්ගලයන් අසත්පුරුෂයන් වශයෙන් ද හඳුන්වනවා. සියලු සත්පුරුෂකම් අතර කෙළෙහි ගුණ සැලකීම ඉහළින්ම සත් පුරුෂකම ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. දැන් ඔබ කෘතඥතාවය සහ කෘතවේදීත්වය කියන වචන දෙක පිළිබඳව අසා තිබෙනවානේ. කෙළෙහි ගුණ සැලකීම කියන්නේ එකක්. ඒ කෘතඥතාවය යි. කෘතවේදී කියන්නේ තවත් එකක්. මේ දෙකේ වෙනස කුමක් ද? කෘතවේදය කියන්නේ කරපු උපකාරය දැනගෙන සිටීම යි. වේදය කියන්නේ දැන ගැනීම යි. කළගුණ සැලකීම කියන්නේ එයට ප්‍රති උපකාර කිරීමට යි. ඒ කෘතඥතාවය යි. එසේනම් සියල්ලෝම ප්‍රති උපකාර කියන එක කරන්න පුළුවන්ද? අපට කරන ලද උපකාරය හා සමාන උපකාරයක් අපට හැම තිස්සේම කරන්න බැහැ. විවිධ අය විවිධාකාර උදව් උපකාර කරනවා. ඒ හැම උදව්වකටම ඒ හා සමාන ප්‍රතිඋපකාරයක් කරන්න අපට පුළුවන්කමක් නැහැ.

නමුත් කෙනෙක් අපට කළ උදව්ව සුවිශේෂ හැටියට සලකා උදව් කළ පුද්ගලයා අගයන අතරම ඒ කළ උදව්ව මතකයේ රඳවාගෙන සිටීමේ හැකියාවත් අපට තිබෙනවා. එසේ මතක තබාගෙන කියා ඇවිදින්න වුවමනාත් නැහැ. කිවයුත්තේ අවශ්‍ය තැනදී පමණයි. එය තමන්ගේ සිතේ තිබිය යුත්තක්. නමුත් එහෙම කියවන්නේ නැති වුණාමත් සමහරු ඔයාට මං කරපුවා මතක නෑ ආදී වශයෙන් කියනවා. කොහොමද මතක නෑ කියලා ඒ අය කියන්නේ? ඒ අයට පරචිත්ත විජාණනය තියෙනවාද? නැහැ. එහෙම කියන්නේ අර කරපු උදව් ගැන කතා නො කොට, එය ප්‍රකට නො කර සිටීම නිසයි. ඉතින් එහෙම එය ප්‍රකට නො කර ඉඳලත් හරියන්නේ නැති අවස්ථාවන්් තිබෙන බව ඔබ සිහි තබා ගන්න.

තව්තිසා දිව්‍ය ලෝකයේ සිටින දෙවියන් සත්පුරුෂයන්ට ගරු කරනවා. සත් පුරුෂයනට වඳිනවා කියා ඔබ අසා ඇති. තාවතිංස දෙවියන්ට අනුව සත්පුරුෂයෙකු තුළ තිබිය යුතු ලක්ෂණ කීපයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ මෙසේයි.

*මව්පියන්ට සැලකීම (අම්මාට තාත්තාට උපස්ථාන කිරීම)

* කුලදෙටුවන් පිදීම, ඒ අයට ගරු කිරීම. (සිය මව්පියන් ගෙදරින් පිටව ගොස් නැවත එන විට දරුවන් හුනසුනෙන් නැගිටීම කුල දෙටුවන් පිදීම ලෙස හඳුන්වන්න පුළුවන්. අද කාලයේ ළමයි අම්මේ වාඩිවෙන්න කියා කියන්නේ තමන් පුටුවේ ඉඳගෙන ඉන්න ගමන්ම යි. සිටි තැනින් ළමයා නැගිටින්නේවත් නැහැ. සමහර ළමයි අම්මා තාත්තා ගැන කිසිදු තැකීමක් නොකොට මව්පියන් දුටුවිට ඒ අය අහක බලා ගන්නවා. එසේ නොකොට තමන්ගේ මව්පියන් වැඩිහිටියන් දුටු විට අසුනෙන් නැගිටීම සත්පුරුෂකමක්. දරුවන්ට එවැනි ගුණාංග පුරුදු කිරීම මව්පියන්ගේ යුතුකමක් වෙනවා.

* පි‍්‍රයශීලී මුදු මොළොක් වචන කතා කිරීමත් සත්පුරුෂකමක් ලෙස සැලකෙනවා.

* කේළමින් වැළකීම (කේළමින් වැළකීම වගේ සමගිය ඇතිවෙන අයුරින් කතා කරන්නත් ඕනෑ. තවත් සමහරු කේළාම් නො කිව්වත් මම ඔයා නම්, ඔය විදිහට මම නම් ඉවසන්නේ නැහැ ආදී වශයෙන් කියමින් දෙදෙනෙක් විරසක කිරීමට මග හදනවා. කේළාම් නොකිව්වත් දෙදෙනෙක් භේද කරනවා. රණ්ඩු ඇති කරවන කතා කීමෙන් වෙන්නේ රණ්ඩුවකට සහයෝගය දීමයි.

* මසුරුකමින් වැළකීම (ලෝභකම්

මසුරුකම් යහපත් ගුණාංග නොවේ)

* සත්‍යවාදී වීම

* ක්‍රෝධය නැති බව

මේ ආකාරයට තව්තිසාවේ සිටින දෙවිවරු ඉහත සඳහන් ලක්ෂණයන්ගෙන් හෙබි පුද්ගලයා සත්පුරුෂයා ය කියා හඳුන්වන බව ධර්මයෙහි සඳහන් වෙනවා. මෙය බුදුපියාණන් වහන්සේ ද අනුමත කොට වදාළා.මේ කියන සත්පුරුෂ ධර්ම ඇතිව කටයුතු කරන අය ඇසුරු කරන්නට සුදුසු අය බව ධර්මයෙහි සඳහන් වෙනවා.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]