[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාංසාරික ප්‍රශ්න

සාංසාරික ප්‍රශ්න

අද අප කතා කරන්නේ ප්‍රශ්න කියන මාතෘකාව යටතේ යි. ප්‍රශ්න, හැම දෙනෙකුටම අඩු වැඩි වශයෙන් කුඩා කල සිටම මියැදෙන තෙක්ම ඇති වෙන දෙයක්.

අප පාසල් යන කාලයේ දී ප්‍රශ්න වලට පිළිතුරු සපයා යම් යම් අධ්‍යාපනික කඩඉම් ජය ගත්තා. අධ්‍යාපන කඩ ඉම් ජය ගැනීමට පිළිතුරු සැපයූ අපට අධ්‍යාපනයෙන් බැහැරව සමාජගත වුණාට පසුවත්, ජීවිතය නමැති ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. ඇතැම් කෙනෙක් ඒ ප්‍රශ්නවලට ඉතාමත් ම හොඳින් පිළිතුරු සපයලා, ජීවිතය ජය ගන්නවා ලෞකික වශයෙන්. ලෞකික වශයෙන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමත්, මිනිස් ජීවිතයේ ලබන ලොකු ජයග්‍රහණයක්. නමුත්, සාංසාරික ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ දී ලෝක සත්ත්වයන් අසරණ භාවයට පත් වෙනවා. ලෝක සත්ත්වයන්ගේ සාංසාරික ප්‍රශ්නවලට විසඳුමක් හැටියට යි, බුදු කෙනෙකුගේ ධර්මයක් ලෝකයේ පවතින්නේ.

බුදු කෙනෙක් ලෝකයේ පවතින කාලයක සාංසාරික ප්‍රශ්න වලට පිළිතුරු සොයාගෙන සදාකාලික ප්‍රශ්නවලින් අපට අත්මිඳෙන්නට පුළුවන්කම ලැබෙනවා. ධර්මය තුළ ප්‍රශ්න කියන වචනය හරියාකාරව තේරුම් ගත්තොත්, ප්‍රශ්න කියන වචනයට නිර්වචනයක් දෙන්න පුළුවන් ‘කෙලෙස්’ කියලා, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙලෙස් ප්‍රහාරණය කර, නිකෙලෙස් බව කරා යන ධර්මයක්. ඒ නිකෙලෙස් බව කරා යද්දී අපට කෙලෙස් නිසා ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. කෙලෙස් ඉතාමත්ම හොඳින් දැන හඳුනා ගැනීම, කෙලෙස් පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම , කෙලෙස් හට ගන්නේ කෙසේද? කුමන හේතූන් නිසා ද? කෙලෙස් නැති වීම යනු කුමක්ද? කෙලෙස් නැතිවීමෙන් ලැබෙන සහනය කුමක්ද? ඒ කෙලෙස් නැතිවීමට තියෙන මාර්ගය, ප්‍රතිපදාව කුමක්ද? යනුවෙන් අප ධර්මය තුළින් ඉතාමත් හොඳින් දැන අවබෝධ කරගත යුතු යි.

කෙනෙක් ජීවත්වන විට ලෞකික ප්‍රශ්න යම් පමණකින් ජය ගන්නට යි උත්සාහය, වෙර වීර්යය දරන්නේ. ඇතැම් කෙනෙක් ලෞකිකව හට ගන්නා ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීල , තමන් ජයග්‍රාහකයෙක් යැ’යි සිතනවා. ඉඩමක් ගෙන නිවසක් තනාගෙන, ඒ නිවසට අදාළ ගෘහ උපකරණ, අත්‍යවශ්‍ය මෙවලම් ලබාගෙන , වාහනයක් මිලදී ගෙන, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී, දරුවන්ගේ කල වයස ආවාට පසුව ආවාහ විවාහ කටයුතු සිදු කර දී, කෙනෙක් ඉතාමත් ම හොඳ ගොවිතැනක් , වෙළෙඳ ව්‍යාපාරයක් , රැකියාවක් කිරීමෙන් පසුව ජීවිතයේ අවසාන කාලයේ සිතනවා, ‘මා මහා පින්වන්ත මනුස්සයෙක් , මා ජීවිතයේ ජය ගත්තා කියලා’ පින්වතුනි, ඒ ජීවිතය ජය ගැනීමේ එක පැත්තක් විතරයි.

පරලොව ප්‍රශ්න එලෙසම යි. පරලොව ඇතිවන ප්‍රශ්නයට පිළිතුරු සපයන්ට උතුම් භාග්‍යවත් වූ අරහත් වූ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කරන්නේ, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න කියලයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියන්නේ කුමක් ද? ජීවිතය තේරුම් ගන්නවා කියන එකයි. ජීවිතය තේරුම් ගන්නවා කියන්නේ කුමක්ද? අප දුකකට පත්වෙලා ඉන්නා බව තේරුම් ගැනීම යි. කුමක්ද? දුකකට පත්වෙලා ඉන්නවා කියන්නේ? පින්වතුනි, ඉපදීම නිසා දුකට පත්වෙලා. උපන් සත්ත්වයා දිරාපත්වීමට හසුවීම නිසා දුකට පත් වෙලා. උපන් සත්ත්වයා නිතර නිතර රෝගී වන ස්වභාවයට නතු වීම නිසා දුකට පත් වෙලා. මරණයට පත්වීමට සිදු වීම නිසා දුකට පත්වෙලා, ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා දුකට පත් වෙලා. අප්‍රියයන් හා එකට එක් වන්නට සිදු වීම නිසා දුකට පත් වෙලා. කැමැති දේ පතාගෙන සිටියත් , අපේක්ෂා කරගෙන සිටියත්, බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ බලාපොරොත්තු, ඒ අපේක්ෂා , ඒ කැමැති දේ තමන්ට නො ලැබීම නිසා , අපේක්ෂා භංග වීම නිසා, බලාපොරොත්තු සුන් වීම නිසා දුකට පත් වෙලා. කායිකව දුකට පත් වෙනවා, මානසිකව දුකට පත් වෙනවා. ඔය අතර හඬනවා, වැළපෙනවා. සෝක කරනවා. විළාප නඟනවා. තමන්ට වුණ ප්‍රශ්න ගැන කල්පනා කර, කර සුසුම්ලනවා. මෙය ලෝක සත්ත්වයන්ගේ සාංසාරික ප්‍රශ්නයක් හැටියට බුද්ධිමත් මනුස්සයා අවබෝධ කර ගන්නවා. ඇත්තෙන්ම රූප, වේදනා, සංඥා , සංඛාර, විඤ්ඤාණ කියන පංචඋපාදානස්ඛන්ධයන් දුකක් බව අවබෝධ කර ගන්නවා. දුකක් බව තේරුම් ගන්නවා. ඒ දුක හදන හේතුව ආසාව නිසාම යි, උපදින්නේ කියලා තේරුම් ගන්නවා. ආසාව යනුවෙන් කියන්නේ කාමයන් පිළිබඳ තිබෙන ආසාවත්, සැපවත් උප්පත්තියක් කරා යන්නට ඇති ආසාවත්, ඒ වගේම නූපදින්නට තිබෙන ආසාවත් යනුවෙන් මේ කාම, භව, විභව ආදී ත්‍රිවිධ තණ්හා වරින් වර විවිධ අයුරින් සත්ත්වයන්ගේ සන්ථාන තුළ ක්‍රියාත්මක වෙනවා.

ලෝක සත්ත්වයන් දුක් විඳින්නේ ආස කරන දේ නිස යි, කැමැති කරන දේ නිස යි යනුවෙන්, අවබෝධ කර ගන්නවා. එනම් දුක්ඛ සමුදය අවබෝධ කර ගැනීම යි. ආසා කරන දේ වලින්, කැමැති දේ වලින් වෙන්වීම , ආසා නොකර සිටීම කෙලෙස් දුරු කරන ක්‍රමය යි. කෙලෙස් නසන ක්‍රමය යි. කෙලෙස් සංසිඳන ක්‍රමය යි. කාම තණ්හාවෙන්, භව තණ්හාවෙන්, විභව තණ්හාවෙන් නිදහස් වීම අත්දකින්නට ඕනේ. එයට කියනවා, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා කියලා. ත්‍රිවිධ තණ්හාවෙම ටිකක්වත් ඉතිරි නොකොට මුළුමනින්ම නිරුද්ධ වීමෙන් දුක හට ගන්නා වැඩපිළිවෙළ නැවැත්වීමෙන් දුක්ඛ නිරෝධය අපට සාක්ෂාත් කරගන්නට හැකි වන්නේ. ඒ දුක් නැති කරන, වැඩපිළිවෙළක් තියෙනවා. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩද්දී ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළ යුතු යි. මෙහි පරිපූර්ණත්වයට පත් වූ පසුව මේ ලෝකයේ යම් වශයෙන් ලෞකික ප්‍රශ්න තිබුණා නම්, සාංසාරික වශයෙන් යම් කෙලෙස් නිසා ප්‍රශ්න තිබුණා නම්, ඒ සියලු ප්‍රශ්න වලින් අත්මිදී, ප්‍රශ්න වලින් සදාකාලික නිමාව වන අමා මහ නිවනට පත් වන්නට ශ්‍රාවකයාට හැකියාව ලැබෙනවා. ඒ නිසා අවබෝධ කළ යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය යි. ඒ සඳහා ඔබ හැම දෙනාටම තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය , ශක්තිය , ධෛර්ය, වාසනාව, ශ්‍රද්ධා, විරිය , සති, සමාධි , ප්‍රඥා ආදී සේඛ බලවල අනන්ත ආනුභාවයෙන් සියලු සැනසිල්ල උදා වේවා! සැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ භාග්‍ය ,වාසනාව ලැබේවා!

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]