[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනපි‍්‍රය වීම

ජනපි‍්‍රය වීම

ඔබ සමඟම ජීවත්වන පිරිසට නිරතුරුව ම ඔබ නිරීක්ෂණය වේ. තුන් දොර මුල් කරගත් ඔබගේ සියලු හැසිරීම් විද්‍යමාන වේ. එබැවින් ඔබගේ අභ්‍යන්තරික පරිවර්තනයක් සිදු වුව හොත් එය වඩා ඉක්මනින් දැනෙන්නට පටන් ගන්නේ ඔබ සමඟ වැඩි වේලාවක් ගත කරන පිරිසට ය. සැබැවින් ම ඔබ සිල්වත් නම් ඔබ සමඟ එකට ජීවත්වන පිරිස පියවරෙන් පියවර ඔබට දක්වන ආදරය, ඇල්ම වැඩි වීමට ද එය හේතුවනු ඇත.

මනුෂ්‍ය ආත්ම භාවය ලැබූ සියල්ලෝම සමාජයේ අන්‍යයන් තමන් වෙත පි‍්‍රය කරනවාට කැමැත්තෝ වෙති. ආහාරපාන ආදි මූලික අවශ්‍යතා අතරට මනුෂ්‍යයා සොයන්නේ ආදරය, පිළිගැනීම, අගය කිරීම, කරුණාව, සෙනහස වැනි අවශ්‍යතාවන් ය. එම මානුෂීය අවශ්‍යතා සියල්ල සම්පිණ්ඩනය කර බලනා විට අපට පැහැදිලි වන්නේ මිනිසා, සෙසු මිනිසුන් තමාට පි‍්‍රයශීලි විය යුතු යැයි අපේක්ෂා කරන බව ය.

බුදු දහමට අනුව සෙසු දේට සේ ම, පි‍්‍රයවීම හෝ අපි‍්‍රය වීම යන්න කෙරෙහි ද කර්මය බලපෑමක් කරන බව මජ්ක්‍ධිම නිකායේ චුලකම්ම විභංග සූත්‍රයේ සුබ මානවකට සිදු කළ පැහැදිලි කිරීම වෙත අවධානය යොමු කිරීමෙන් වටහා ගත හැකි ය. එහෙත් බුදු දහමේ කර්මය යනුවෙන් විග්‍රහ කරන්නේ පුබ්බේකත හේතුවාදයේ සඳහන් කළ සියල්ලම පූර්ව කර්මය අනුව ම ඇතිවන්නේ ය, පවතින්නේ ය. නැති වන්නේ ය යන ධර්මය නොවේ. ජෛන ධර්මය වැනි අනෙක් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වල එන සදාකාලික ආත්මයක් වැනි තත්ත්වයන් සහිත බව බුදු දහම කිසිවිටෙක නො පිළිගනී.

‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’

මහණෙනි, මම චේතනාව ම කර්මය ලෙස වදාරමි යනුවෙන් සිදු කළ බුද්ධ දේශනාව අනුව කර්මය යනු මනුෂ්‍ය සන්තානයේ බලගතුව සැකසෙන චේතනාව මුල් වී, හේතු ප්‍රත්‍ය වී පවතින බව අවබෝධ කරගත යුතු ය. කර්ම විපාක පිළිබඳව විස්තරාත්මක ව ධර්මයෙහි පෙන්වා දී ඇති අතර, දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය ආදී ලෙස මේ භවයේ දී අයහපත් හෝ යහපත් චේතනාවක් මුල් වී කරන ලද කර්මයෙහි ප්‍රතිවිපාකය ලැබීම, එසේ නැතහොත් ආසන්න ආත්ම භවයක දී එම කර්මයේ ප්‍රතිවිපාක ලැබීම හෝ නිවන් අවබෝධ කරගෙන පිරිනිවන්පාන තුරුම කරන ලද කර්ම විපාක ඉදිරිපත් වීම් ද මෙහි දී අවධාරණය වී ඇත.

කෙසේ වෙතත් බුදු දහම සියල්ල පූර්ව කර්මයෙන් සිදුවේ ය යන අන්තයේ හෝ පූර්ව කර්මයේ කිසිම බලපෑමක් නැත යන අන්තයෙහි පිහිටා නො සිටින බව මෙහි දී අවධාරණය කළ යුතු ය.

කෙසේ වෙතත් කෙනෙකු තව කෙනෙකුට පි‍්‍රයවීම හෝ අපි‍්‍රය වීම කෙරෙහි සාංසාරික ක්‍රියාකාරකම් හි ප්‍රතිවිපාකකම් මෙන් ම මේ ලෝක වශයෙන් යම් පුද්ගලයෙක් සිත කය, වචනය යන තුන් දොරින් කරන ක්‍රියාවන්හි ප්‍රතිඵලය බලපාන බව අවබෝධ කරගත යුතු ය. බුදුදහමට අනුව අනෙකා තමන්ට පි‍්‍රය විය යුතු යැයි, කැමැති විය යුතු යැයි, ආදරය දැක්විය යුතුයැයි, සෙනෙහෙවන්ත විය යුතුයැයි අපේක්ෂා කිරීම ම සතුට අහිමි කරන, දුක උපදවන හේතුවකි.

එබැවින් ජනපි‍්‍රයත්වය පැතීම නම් දුකම පැතීමක් බවකි යන්න අවබෝධ කරගත්තාට වරදක් නැත. කෙසේ වෙතත් මනුෂ්‍යයා යනු සුඛ දෙයෙහි දුක දකින්නෙක් නොව දුක දෙයෙහි පවතින අල්ප ආශ්වාදය මහත් කොට වැළඳ ගන්නට කැමැති සත්ත්වයෙකි. තථාගතයන් වහන්සේ මනුෂ්‍යයා තුළ පවතින, ජනපි‍්‍රයවීමට තිබෙන කැමැත්ත ඉවත්කර ගැනීමට පරමාර්ථ වශයෙන් ස්වකීය දේශනාවන්හි දී මඟ පෙන්වා ඇත ද, ජනපි‍්‍රය වන්නට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා ද ධර්මානුකූල ප්‍රතිපදාවක් පෙන්වා දී ඇත.

සියලු ශ්‍රාවකයා එකම කුසල සම්පත්තියකින්, ප්‍රඥා සම්පත්තියකින් යුක්ත නොවන බව පිළිගන්නා බුදුදහම එකී පුද්ගල වේමත්තතාවය හෙවත් විවිධත්වය අවබෝධ කරගනිමින් ඔවුන් ව විමුක්ති මාර්ගයට යොමු කිරීමට කටයුතු කරයි. නිදසුනක් ලෙස සියලු ලිංගික තෘෂ්ණාවන්ගෙන්, බැඳීම්වලින් වෙන්ව සිටීම හෙවත් බ්‍රහ්මචාරීබව ඉතා ඉහළින් අගය කරන තථාගත දහම එවැනි බ්‍රහ්මචාරි ජීවිතයකට එළඹීමට නොහැකි ශ්‍රාවකයාට යටත් පිරිසෙයින් කාම මිථ්‍යාචාරයෙන් වැළකීමේ ශික්ෂාපදය ආරක්ෂා කර ගැනීම පවා ඉතා උසස් තත්ත්වයක් බව අවධාරණය කරයි.

එලෙසම, ජනපි‍්‍රයත්වයට ද පවතින ලෝලත්වය සපුරා දුරු කර ගැනීමට මග පෙන්වීම බුදු දහමේ මූලික පරමාර්ථ තුළ සිදු වුවද යටත් පිරිසෙයින් නිවැරැදි ප්‍රතිපදාවක් මත ජනපි‍්‍රයත්වය කරා යන සීමාවේ පිහිටීම ද අගය කර ඇති බව මෙහිදී සිහි කළ යුතු ය. ඒ අනුව ශීලය කෙනෙකුට ජනපි‍්‍රයත්වය ලැබීය හැකි ඉතාම උදාර ප්‍රතිපදාවක් ලෙස ධර්මයට අනුගතව පෙන්වා දිය හැකි ය.

සීලවන්ත වීම යනු කායික, වාචසික , මානසික ක්‍රියාකරම් හි පවතින චේතනාත්මක නිවැරැදි බවයි. සංවරබවයි. පවිත්‍ර බවයි. කිසිවෙකුගේ ජීවිතයක් තොර නොකරන උතුම් චේතනාව මත ප්‍රාණඝාතයෙන් වළකිනවිට ඔබ තුළ දියුණුවන මෛත්‍රිය, කරුණාව නිසාවෙන් ම ඔබ ‘මනුස්සානං පියොහොති’

‘අමනුස්සානං පියොහොති’
මනුෂ්‍ය සත්ත්වයින්ටද පි‍්‍රයවන,
මනුෂ්‍ය නොවන සත්ත්වයින්ට ද පි‍්‍රයවන
පුද්ගලයෙකු බවට පත් වේ.

තමන්ගේ පැවැත්මට හානි නොකරන්නාට අපගේ යටි සිතින් කැමැත්තක් ඉපදීම අනිවාර්යයෙන් ම සිදුවන කරුණකි. එමෙන් ම අන් සන්තක දේ නොගැනීමේ චේතනාව ඇතුළු දස අකුසලයෙන් වැළකීමට අවශ්‍ය කරන චේතනාත්මක පාරිශුද්ධ බව කායික, වාචසිකවත් දියුණු කර ගන්නා විට සෙසු සත්ත්වයන් තුළ අප නිසා බිය, තැතිගැනීම සැකය, ලොමු දැහැ ගැන්වීම ආදිය නූපදී, එවැනි අභය දානයක් අප කෙරෙන් සෙසු සත්ත්වයාට ප්‍රදානය කෙරෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන උතුම් චෛතසික ධර්මයන් සීලය ආරක්ෂා කරන විට අපගේ මනසෙහි තව තවත් සංවර්ධනය වන බැවිනි.

එකී උතුම් බ්‍රහ්ම විහාරයන් මත පදනම්ව ජීවත්වන සත්ත්වයාට දෙව් මිනිසුන්ගේ පමණක් නොව සතා සිවුපාවුන්ගේ ද, ගහ කොළවල ද වෙනස් ප්‍රතිචාරයක් ලැබෙන්නට පටන් ගැනීම අනිවාර්ය කරුණකි.

සීලා දී ගුණ නිසා ඔබ පළමුව ජනපි‍්‍රය වන්නේ සමාජය තුළ නොව ඔබ ජීවත්වන නිවස තුළ ය. ඔබ සමඟම ජීවත්වන පිරිසට නිරතුරුව ම ඔබ නිරීක්ෂණය වේ. තුන් දොර මුල් කරගත් ඔබගේ සියලු හැසිරීම් විද්‍යමාන වේ. එබැවින් ඔබගේ අභ්‍යන්තරික පරිවර්තනයක් සිදු වුව හොත් එය වඩා ඉක්මනින් දැනෙන්නට පටන් ගන්නේ ඔබ සමඟ වැඩි වේලාවක් ගත කරන පිරිසට ය. සැබැවින් ම ඔබ සිල්වත් නම් ඔබ සමඟ එකට ජීවත්වන පිරිස පියවරෙන් පියවර ඔබට දක්වන ආදරය, ඇල්ම වැඩි වීමට ද එය හේතුවනු ඇත. සීලයෙහි උතුම් ඵලය ලෙස මා දකින්නේ ඔබට ඔබ පි‍්‍රය වීමයි. ඔබගේ හෘදය සාක්ෂිය ඔබ අගය කිරීමට, ඔබට ප්‍රශංසා කිරීමට, ඔබට සැනසීම ලබා දීමට පටන් ගනී. එළියෙන් ලැබෙන ප්‍රශංසා දහස් ගණනකට වඩා ඔබගේ හදවත ඔබ ගැන කියන දෙය ඔබට වඩාත් වැදගත් වනු ඇත. සත්‍ය වශයෙන්ම ඔබ සිල්වතෙක් නම් ලෝකයේ කිසිවෙකුට ඔබ පි‍්‍රය වීමට පෙර ඔබටම ඔබ පි‍්‍රයවනු ඇත. ඔබට ඔබ ගැන ආදරයක් හිතෙනු ඇත. ඔබට ඔබ ගැන ගෞරවයක් උපදිනු ඇත. ඔබට ඔබ ගැන අගයක් දැනෙනු ඇත.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]