[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

78 වන වියට පා තබන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන

78 වන වියට පා තබන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක

වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නා හිමි

හාරිස්පත්තුව වරකාගොඩ දූල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙණියේ දුග්ගන්නා රාළලාගේ පිංචි අම්මා දම්පතීන්ගේ තෙවන දරුවා ලෙස 1942 මාර්තු 18 වන දා පින්වත්ත කුමරකු උපත ලැබී ය.

එම කුමරුවා දොළොස්වන වියෙහි දී උඩපිටියේ ශ්‍රී සුමංගල, මැදගොඩ පඤ්ඤානන්ද, අළුදෙණියේ රතනපාල හා රඹුක්වැල්ලේ සද්ධානන්ද යන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1955 අප්‍රේල් 07 වන දා අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී එවකට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක යටවත්තේ ධම්මරතන මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට පත් වූහ. ඒ වරකාගොඩ ඤාණරතන හිමි නාමයෙනි.

ශාසනික වත් පිළිවෙත් මැනවින් හදාරා 1962 ජූනි 09 වන දා අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූහ.

බදුල්ල විද්‍යාත්තංස පිරිවෙනෙන් හා වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙන් වෙතින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා අස්ගිරි මහා විහාර පිරිවෙනින් හා පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලබා 1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. ශිෂ්‍ය අවදියේ සිට ම සුපේෂල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි සැමගේ ගෞරවයට පාත්‍ර වූ උන්වහන්සේ ප්‍රාචීන භාෂා අධ්‍යාපනය ලබා ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා පිළිබඳ වියතෙකු වූහ. ස්වකීය ගුරු දේවයන් වහන්සේලා වෙත ගුරු බැතියෙන් කටයුතු කළ දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් වූහ.

1976 දී ගිනිගත්හේන බදුපොල විද්‍යාලයෙන් සිය ගුරු භූමිකාව ආරම්භ කළ වරකාගොඩ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කොත්මලේ මඩකුඹුර විද්‍යාලය, වලල පාතදුම්බර මහා විද්‍යාලය, හා පොල්ගොල්ල මහා විද්‍යාලය යන පාසල්වල විසි පස්වසරක පමණ කාලයක් ගුරු වෘත්තියෙහි නිරත වූහ. ඉන් වැඩි කාලයක් සේවය කළ පොල්ගොල්ල වත්ත විද්‍යාලයට යාබදව භූමිභාගයක් පිරිනැමීම ද සුවිශේෂී වේ. ගුරුවරයෙකු වශයෙන් සේවයෙහි නිරත වෙමින් ශාස්ත්‍රය දානය කිරීමත් සමඟ මහා නා හිමියෝ සමාජ මෙහෙවරෙහි ද නිරත වූහ.

වරකාගොඩ ඤාණරතන මහා නාහිමිපාණන් වහන්සේ ශිෂ්‍ය අවදියේ සිටම වත් පිළිවෙත් මෙන්ම සංඝ සභාවේ කටයුතු පිළිබඳව මනා පුහුණුවක් ද ලැබූහ.

වරකාගොඩ ඤාණරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පාර්ශ්වයට අයත් ශාසනික විවිධ කාර්යයන් හි නිරත වූහ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙහි වැඩි සිටි අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ මඟ පෙන්වීම හා ඇසුර ලබමින් ශාසනික පදවි උසුලන්නට හැකිවීමත් ඊට අදාළ කටයුතු ක්‍රමවත්ව වගකීමෙන් සිදු කිරීමටත් උන්වහන්සේට ශක්තිය ලැබිණි.

ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් තේවා කටයුතුවල නිරතවීමේ භාග්‍ය බුද්ධශ්‍රාවකයන් වහන්සේ නමක් ලබන්නේ නම් එය ඉතා දුර්ලභ අවස්ථාව කි. 1976 දී සිරි දළදා මාළිගාවෙහි තේවාවෙහි නිරතවීමට පත් වූ වරකාගොඩ ඤාණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2004 වර්ෂයේ දී ද ශ්‍රී දළදා වහන්සේ වෙත තේවා කටයුතුවල නිරත වූහ.

පලීපාන ශ්‍රී චන්දානන්ද මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1990 දී වරකාගොඩ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කාරක මහා සංඝ සභාවට පත් කරන ලදහ. උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් 2009 ජ්‍යෙෂ්ඨ කාරක සභික තනතුර පිරිනමන ලද අතර කාරක සංඝ සභාවේ උපාධ්‍යාය ධූරයට 2006 දී උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන් විසින් ම පත් කරන ලදී.

2015 අප්‍රේල් 07 වන දා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරයට පත් වූ වරකාගොඩ ඤාණරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෝක ශාසනික සේවාවෙහි නිරත වූහ. ඓතිහාසික බදුලු මුතියංගන රජ මහා විහාරයේ විහාරාධිපති ධූරයට 2000 දී පමණ පත් වූ උන්වහන්සේ අස්ගිරිය විජය සුන්දරාරාමයේ සහ පොල්ගොල්ල උඩගුන්නෑපාන බෝධිමල්කඩ විහාරයේ විහාරාධිපති ධූරයට පත්ව එම විහාරස්ථානවල ආගමික කටයුතු මැනවින් සිදු කළහ. 1987 දී දඹදිව බුද්ධ භූමිය වන්දනා කරගත් උන්වහන්සේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ගලගම අත්ථදස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ සිංගප්පූරුව සහ බුරුමයට වැඩම කළ අතර 2002 දී තායිලන්තයේ ආගමික උත්සව රැසකට වැඩම කළහ.

ගලගම අත්ථදස්සි මහානායක මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධූරයට පත්වූ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආගමික, ශාසනික, සාමාජික මෙහෙවර අනාගතයට ද සිදුකරගෙන යාමට සමත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා කීප නමක් ද උන්වහන්සේ සසුනට දායාද කළහ. ඒ අතර බදුලු, මුතියංගන රාජ මහා විහාරයේ භාරකාර ශාස්ත්‍රපති මුරුද්දෙනියේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වේ.

ලෝසසුන් වැඩ වඩන්නට වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය හා ධෛර්යය ලැබේවා.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]