[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ

මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් ශාසන කීර්ති ශි‍්‍ර දේශාභිමානි ගෞරව නාම ලබන
කරු ජයසූරිය කථානායකතුමා

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, මෛත්‍රිපාල සේනානායක, ලක්ෂ්මන් ජයකොඩි, ලලිත් ඇතුලත්මුදලි වැනි ජන ප්‍රධානීන්ගේ සභාපතීත්වයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂණ සභාවේ වර්තමාන සභාපතිවරයා වන කරු ජයසූරිය මහතා ස්ව නිකායටත් සම්බුද්ධ ශාසනයටත්, සමස්ත ජාතියටත්, අද්විතීය සේවාවක් කරන අවංක නිහතමානී ජන ප්‍රධානියෙකු හැටියට ඉතාමත් සතුටින් හඳුන්වමි.

වර්තමාන බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීම සඳහා මහත් වූ කැපවීමකින් කටයුතු කරන පාර්ලිමේන්තුවේ කථානායක ධුරන්ධර දේශබන්ධු කරු ජයසූරිය මහතා වෙත ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අති පූජ්‍ය, මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වින්සද් වර්ගික කාරක සංඝ සභාව විසින් “ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි” විශේෂ ගෞරව සම්මානයකින් බුහුමන් දැක්වීම අතිශය සතුටට කරුණකි.

පිදිය යුත්තන් පිදීමත්, ගෞරව කළ යුත්තන්ට ගෞරව කිරීමත්, බුද්ධ කාලයේ සිට ම අඛණ්ඩව පැවත එන්නකි. ඒ අනුව අපේ දේශබන්ධු කරු ජයසූරිය මහතා පිදිය යුත්තෙකි. ගෞරව කළ යුත්තෙකි.

විහාරස්ථාන 2300 කට අධික මහා සංඝයා වහන්සේ 9000 ක් පමණ නියෝජනය වන එකම මහා නායක මාහිමිපාණන් වහන්සේ නමකගෙන් පාලනය වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපතිවරයා ය. දැන් ඔහු අපේ ප්‍රධාන දායකයා ය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, මෛත්‍රිපාල සේනානායක, ලක්ෂ්මන් ජයකොඩි, ලලිත් ඇතුලත්මුදලි වැනි ජන ප්‍රධානීන්ගේ සභාපතීත්වයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂණ සභාවේ වර්තමාන සභාපතිවරයා වන කරු ජයසූරිය මහතා ස්ව නිකායටත් සම්බුද්ධ ශාසනයටත්, සමස්ත ජාතියටත්, අද්විතීය සේවාවක් කරන අවංක නිහතමානී ජන ප්‍රධානියෙකු හැටියට ඉතාමත් සතුටින් හඳුන්වමි. එතුමා ශ්‍රී ලංකාවේ ඇති සියලුම නිකායික මහා සංඝයා වහන්සේගේ හිත දිනාගත් අවංක දායකයෙකි.

හාපිටිගම කෝරළයේ මීරිගම කන්ඩලම ග්‍රාමයේ ප්‍රභූ පවුලකින් උපත ලද මොහු ගමේ පාසලෙන් ‘අ’ යන්න කියවා පසුව බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වන කොළඹ ආනන්ද විද්‍යාලය තම ගුරුකුලය කරගත්තේය.අධ්‍යාපනය හදාරන කාලය තුළ ඔහු ඇසුරු කළ ගුරුහරුකම් ලැබූ මහාචාර්ය කොටගම වාචිස්සර නාහිමි, එල්.එච්. මෙත්තානන්ද යන හිතකාමී ගිහි පැවිදි සම්භාවනීය උතුමන් ගේ ඇසුර කරු ජයසූරිය මහතාගේ ගමන් මගට මහත් ශක්තියක් වූ බව ඔහු විසින් අද ද ඉතාමත් නිහතමානීව සඳහන් කිරීම වැදගත් කරුණකි.

කරු ජයසුරිය මහතා ඉතාමත් විනයගරුක පුද්ගලයෙකි. එයට හේතුපාදකවී ඇත්තේ සිය රැකියාව වශයෙන් ප්‍රථමයෙන් ම හමුදා ක්ෂේත්‍රය තෝරාගැනීම යි. එහිදී ඔහු ලැබූ අත්දැකීම් ඉතා සුවිශාල ය. හමුදා නිලධාරියෙකු වශයෙන් සේවය කිරීමෙන් පසුව ඔහු ව්‍යාපාරික ලෝකයට සම්බන්ධ විය. රාජ්‍ය ව්‍යාපාරික වෘත්තිය අධාපනය එංගලන්තයේ ප්‍රබුද්ධ විශ්ව විද්‍යාලයකින් ලබාගත් අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් කළහ.

එතුමා පුද්ගලික ආයතන 52 ක සභාපති, කළමනාකාර අධ්‍යක්ෂක හා අධ්‍යක්ෂක පදවි දරමින් ව්‍යාපාරික ලෝකයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත්වීම සුවිශේෂී කරුණකි. පසුව ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික භාවය වටහා ගැනීමෙන් පසුව ජර්මන් පෙඩරල් ජනරජය. ඔස්ට්‍රියාව හා ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රදාන තාන්ත්‍රිකයා වශයෙන් එතුමා පත් කළහ.

ක්‍රමයෙන් ඔහු තුළ ඇති වූ ජනතා විශ්වාසය නිසා ම දේශපාලන භූමිකාවට ද එක්විය. නගරාධිපතිවරයෙකු, මන්ත්‍රීවරයෙකු, ඇමැතිවරයෙකු, සභානායකවරයෙකු සහ පක්ෂයේ නියෝජ්‍ය නායකයෙකු ලෙස තම සේවය ලබාදුන් එතුමා පසුව වර්තමානයේ කථානායකවරයා හෙවත් රටේ තුන්වන පුරවැසියා වශයෙන් පත්වීම දෛවෝපගත සිදුවීමකි.

නියම ප්‍රජාතන්ත්‍රවාදී මහත්මා දේශපාලනයේ වර්තමානයේ සිටින මැති ඇමැතිවරුන්ට දේශපාලනඥයින්ට ආදර්ශයට ගත හැකි විශිෂ්ටතම චරිතය කරු ජයසූරිය චරිතය බව නොපැකිලව සඳහන් කළ හැකිය. ඔහුගේ දේශපාලන දිවියේ දැරූ විවිධ අමාත්‍යාංශ හරහා ජන ජීවිතවලට කළ සේවය අමතක කළ නොහැකි ය. විශේෂයෙන්ම විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා වශයෙන් සිටියදී ලද අභියෝගය කිසිවෙකුටත් අමතක කළ නොහැකි ය. දිනකට පැය 2 කට සීමා වූ විදුලිය දින 98 ක් වැනි කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් කිරීම සුවිශේෂි කරුණකි. එය කිසිවෙකුට අමතක කළ නොහැකි ය.

බුද්ධ ශාසන ඇමැතිවරයා වශයෙන් සිටියදී ශාසනයේ ප්‍රගමනය වෙනුවෙන් කළ අප්‍රමාණ වෙහෙස කැපවීම ද අගය කළ යුත්තකි. ශාසනයේ උන්නතියට බලපාන ප්‍රධාන පනත් 3 ක් සකස් කර අනාගතයට සිල්වත්, ගුණවත්, නැණවත් භික්ෂු පරපුරක් ඇති කිරීමට ගත් මෙහෙය සුවිශාල ය. නමුත් එම පනත කාලයාගේ ඇවෑමෙන් පැත්තකට දැමීම ඉතාමත් අවාසනාවන්ත කරුණකි. එම පනත් තුන සම්මත කර ගැනීමට හැකි වූයේ නම් ශාසනයේ ඇතිවන ප්‍රබෝධය මෙසේ සඳහන් කළ නොහැකිය. එතුමා නොදියුණු විහාරස්ථාන දියුණු කිරීම සඳහා අප්‍රමාණ වෙහෙසක් ගෙන කටයුතු කළහ. සියලු ආගම්වලට ගරු කළහ. සියලු ජාතීන්වලට ගරු කළහ. ඒ නිසා සියලු ආගම්වල, සියලු ජාතීන්වල ආගමික නායකයින්ගේ ද බහුමානයට ලක් විය.

මොහු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ප්‍රජාතන්ත්‍ර විරෝධී සෑම ක්‍රියාවලියක ද ීම ඔහු ගත් ක්‍රියාමාර්ග එදාමෙන් අද ද ප්‍රශංසනීය ය. අපවත් වී වදාළ අතිගරු මාදුළුවාවේ සෝභිත නාහිමියන් ආරම්භ කළ පූජ්‍ය ගිරාඹේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ශක්තිය දුන් වර්තමාන යුග පෙරළියට කරු ජයසූරිය මහතා ලබා දුන් සහාය අගය කළ යුතු ය.

මේ සියලු ජාතික, ආගමික, සමාජයීය, දේශපාලන කරුණු ගැන ඉතාමත් ගැඹුරින් කල්පනා කළ ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර කාරක සංඝ සභාව කරු ජයසූරිය මහතාට මෙම 19 වනදා ගෞරව සම්මානයකින් උපහාර දැක්වීම ඉතාමත් අගය කළ යුත්තකි. මෙවැනි කෙටි සටහනකින් එතුමාගේ සේවාව අගය කළ නොහැකි ය. බොහෝ දේ සඳහන් කළ යුතු මුත් කෙටියෙන් මෙසේ හෝ සටහනක් තැබීම ඇති හිතවත්කමට මහත් ධෛර්යයකි.

මේ කරු ජයසූරිය මහතාගේ සේවය ජනතාවට අවශ්‍ය යුගයකි. හිමිදිරියේ තෙරුවන් නැමද දවසේ කටයුතු ආරම්භ කරන කරු ජයසූරීය මහතා ඒ උදාර ප්‍රතිපත්තිය ඔහුගේ ජීවිතය ආලෝකමත් කිරීමට හේතු වී අති බව සිහිපත් කරන අතර තව තවත් ජනතා සේවය සලසන්නට ශක්තියත්, බලයත්, ධෛර්යයත් තුණුරුවන් බෙලෙන් කරු ජයසූරිය මහතාට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

චිරං ජයතු !

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]