[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදාචාරවත් සමාජයකට...

සදාචාරවත් සමාජයකට...

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යුගයේ දැඩි අවශ්‍යතාවයක්ව පවතින ඉතා වැදගත් කාර්ය භාරයකට අවතීර්ණ වී තිබේ. ඒ මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන යන සටන ය.

“යුඤ්ජත බුද්ධ ශාසනෙ” යන වදනට අනුව ද මේ සටනට අර්ථයක් ලබා ගන්නට පුළුවන. ශාසනයට එරෙහි, දහමට එරෙහි, සදාචාරයට එරෙහි , බලවේගයකට විරුද්ධව ගෙනයන්නා වූ මේ උත්සාහය අපේ රටට ඉතා සහනදායි වැදගත් පියවරක් ලෙස අපි දකිමු. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඒ කාර්යභාරය ධර්මානුකූල විග්‍රහයකට ලක් කිරීම ය.

සදාචාරය යන සාධකය අමතක කළේ නම් ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ හෝ වේවා, ආර්ථික ක්ෂේත්‍රයේ හෝ වේවා, වෙනයම් කවර හෝ ක්ෂේත්‍රයක වේවා කිසි කලෙකත් දියුණුවක් ලද නොහැකි ය. සදාචාරය පවත්වාගෙන යාමේ පළමු පියවර වන්නේ පුද්ගලයාගේ මානසික තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමයි. නිරවුල් මනසකින් තොරව සාර්ථක ජීවිතයක් ගැන සිතිය නොහැකි ය. ඕනෑම ගැටලුවකට මුහුණ දෙමින් සතුටුදායක ලෙස ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන පළමු සාධකය නිදහස්, නිවහල්, පිවිතුරු, වික්ෂිප්ත නො වූ මනසයි. මනස වික්ෂිප්ත වුවහොත් සියල්ල උඩු යටිකුරු වන්නේ ය. සුරාවෙන්, මත්ද්‍රව්‍යයන්ගෙන් සිදු කෙරෙන්නේ ද, මනස විකෘති වීම ය.

මේ යුගයේ අපේ රට මුහුණ දී සිටින බරපතලම අර්බුදවලින් ප්‍රධානම අර්බුදයව පවතින්නේ මත්ද්‍රව්‍යයි, මද්‍යසාරවලට සමාජය ඇබ්බැහිවීම පිළිබඳ ප්‍රශ්නය යි.

මේ රටේ පවතින්නා වූ විවිධ ප්‍රශ්න අතර මේ ප්‍රශ්නයම ප්‍රධානත්වයෙහිලා ගන්නේ අනෙක් සියලු ප්‍රශ්නවලට එය බලපාන නිසා ය. රටක දියුණුවට බලපාන, සංස්කෘතික පරිසරය, අධ්‍යාපනය, ආර්ථිකය ආදි සියලු දේ විනාශ මුඛයට ඇද දමන ප්‍රධානම සාධකය මත්ද්‍රව්‍ය භාවිතය යි. එය යම් රටක වැඩි දියුණු වෙනවා නම්, පාලනයකින් තොර නම්, නිසැකව ම සෑම අංශයකින් ම පරිහානියට පත් වේ.

සුරාමේරය පානං ච
යො නරො අනුයුඤ්ජති
ඉධෙව මෙසො ලොකස්මිං
මූලං ඛණ්ති අත්තනො

මෙහි සුරාමේරය කියන වචනය තුළ මධ්‍යසාර, මත්ද්‍රව්‍ය අන්තර්ගත ය. මතට, පමාවට,සිහිවිකල් වීමට මත්ද්‍රව්‍ය හේතු සාධක වන්නේ ය. යම් කෙනෙක් මේ සුරාමේරයට ඇබ්බැහි වූයේ නම් ඒ පුද්ගලයාගේ පරිහානිය බවට පත්වන්නේ ද එයම ය.

තමන් පය ගසා සිටින තැන ශක්තිමත් විය යුතු ය. යම් කෙනෙක් තමන් සිටින තැන, මුල,බිම තමන් විසින් ම සාරනවා නම්, සිදුවන්නේ කුමක් ද? තමන් විසින් හාරන ලද වළෙහි තමන්ම වැටීම ය. තමන්ගේ වළ තමන් ම හාරා ගැනීම යනු බරපතළ ඛේදවාචකයකි. සුරාපානය කරන්නෝ ද තමන්ගේ වළ තමන් ම හාරා ගන්නෝ ය. තමාගේ විපත තමන් විසින් ම ළඟා කර ගැනීම අදහාගත නොහැකි, විශ්වාස කළ නොහැකි විපතකි. එය සමස්ත සමාජයටම පොදු ය.

දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රයෙහි සුරාපානය නිසා සමස්ත සමාජයටම බලපාන ආදීනව හයක් සඳහන් කර ඇත.

ධනය විනාශවීම, කලකෝලාහල ආදියට පෙළඹීම, බහුල ලෙස රෝගාබාධයන්ට ගොදුරුවීම, පුද්ගලයාගේ ආත්ම ගරුත්වය පිරිහීම, අපකීර්තිය ඇතිවීම, හොඳ නරක පිළිබඳ විලිබිය නැතිවීම, නුවණ දුබලවීම ආදි වශයෙනි. මේ අප මැනවින් අත්හදා බලා තිබෙන, අවබෝධ කර තිබෙන කරුණු හයකි. අද මේ සමාජයෙහි අපරාධ, සොරකම්, මං පැහැරීම් ආදී මේ සියල්ලම සලකා බලන කල ඒ සඳහා සියයට අනූනවයක් ම හේතු වන්නේ සුරාවට ඇබ්බැහි වීම ය.

සුරාවට ඇබ්බැහි වූ කෙනා තුළ විළිබිය නැතිවේ. ධර්මය පිළිබඳ ගෞරවය නැතිවේ. පාපයට, නීතියට බිය නැතිවේ. සදාචාරය පිළිබඳව බියක් නැති වේ. ඒ නිසා සිතූ සිතු දේ කරන්නට පටන් ගනී. විශේෂයෙන් ම ගෘහාශි‍්‍රත හිංසනය, හා සමාජගත ලිංගික අපරාධ සම්පූර්ණයෙන්ම පාහේ සිදුවන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ය. එබඳු පුද්ගලයාට මේ අම්මා, තාත්තා, බිරිඳ, දූ දරුවන් ආදි භේද නැත.

මනුෂ්‍යත්වයේ පදනම නම් සිතට නැඟෙන ආවේග පාලනය කර ගැනීම ය. සිතට එන ආවේග ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරන්නට යාම තිරිසන් සත්ත්වයින් සතු සිරිතකි. ආශාව, තරහව, ක්‍රෝධය ආදි ආවේග පාලනය කර ගැනීමට තිරිසන් සත්ත්වයන් නො දනී. එය දන්නේත්. උගන්වන්නේත්, මනුෂ්‍ය සමාජයෙහි පමණි.

මිනිසා උසස් බවට පත්වන්නේ ආවේග පාලනය කිරීමේ හැකියාව අනුව යි. ආවේග පාලනය කරන්නට බැරි තත්ත්වයට පත්වෙනවා කියන්නේ හේ තිරිසන් සතෙක් බවට පත්වීම ය. ඒ අනුව මත්ද්‍රව්‍ය නිසා සිදුවන්නේ මනුෂ්‍යත්වය නැතිවීමයි. සරලවම කියනවා නම්, මිනිසා තිරිසන් බවට පත්වීම යි. එබදු පුද්ගලයෙකුගෙන් සමාජයට වන හානිය බරපතල ය. මේ සමාජගත දුරාචාරය නිසා මේරට මොන තරම් පිරිසක් රෝගාබාධයන්ට ලක්වෙනවාද යන්න වාර්ෂික සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි ය. අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් අකාලයේ මිය යන්නේ බෝ නොවන රෝගාබාධ නිසා ය. එහිදී බලපා ඇති ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ ද සුරාව ය. රටේ ආර්ථිකයෙන් වැඩිම වියදමක් දරන්නේ සෞඛ්‍යය වෙනුවෙන් ය. සෞඛ්‍යය අංශයෙන් විශාල වියදමක් දරන්නට වන්නේ මත්ද්‍රව්‍ය නිසාය යන්න ඒ අනුව තර්කානුකූලව පිළිගත යුතු වේ.

ඒ නිසා රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන යම් රජයක්, පාලකයෙක් වේ නම් ප්‍රධානතම යුතුකමක් වන්නේ මේ මහා භයානක දුරාචාරය නැති කිරීම ය. එම දුරාචාරය දුරුවන විට මිනිසුන් ආර්ථිකමය වශයෙන් දියුණු වේ. සෞඛ්‍ය තත්ත්වය උසස් වේ. මිනිසුන්ගේ ගුණ නුවණ වර්ධනය වේ. ඒ තුළ රට දියුණු වේ. ඒ නිසා දූරදර්ශි දේශපාලන නායකත්වයක් යටතේ ඒ සඳහා පෙරමුණ ගත යුතු ම වේ.

ඕනෑම යහපත් ක්‍රියාවකට ඉදිරිපත් වීමේ දී පුද්ගලයා පළමුව තමා තුළ සදාචාරය ඇතිකර ගත යුතු වේ. එසේ නැතිනම් යුතුකම් ඉටුකළා වන්නේ නැත. නිදසුනක් ලෙස අම්මා, තාත්තා දුරාචාරයේ යෙදෙමින් තම දරුවන්ට මොන තරම් යුතුකම් ඉටු කළත්, දරුවන්ගේ ගෞරවය දිනාගන්නට නොහැකි ය. කවර යුතුකමක් ඉටු කළ ද ඒ ගෞරවය දිනිය නොහැකි ය. වර්තමානයේ මත්ද්‍රව්‍යයට එරෙහි මේ වෙසෙස් කර්තව්‍යයේ දී රාජ්‍ය නායකත්වය සදාචාරය පිළිබඳ එම ආදර්ශය පළමුව ලබා දී තිබේ. එය අගය කළ යුතු වේ. අතීතයේ රාජ්‍ය නායකයා මහා සම්මත, ජනදාස ආදි ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබූයේ සදාචාරවත් සමාජයක් නිර්මාණය කළ නිසා ය. මේ නිසා වර්තමානයේ අප රට තුළ මත්ද්‍රව්‍යයට එරෙහිව ගෙන යන දූර දර්ශී ක්‍රියා කලාපය සාර්ථක කර ගැනීමට මහා සංඝරත්නයේත්, සියලු ආගමික නායකවරුන්ගේත් ආශිර්වාදය හිමිවනු ඇත.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]