UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුද්ගලයෙකු හඳුනා ගැනීම

අද දින මා දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ දෙවන කොටසේ චතුක්ක නිපාතයේ මහා වර්ගට අයිති දෙවැනි දේශනාවයි. ඒ තමයි ඨාන සූත්‍රය. කාරණාව ගැන කියවෙන දේශනාව.

බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ

'චත්තාරිමානි භික්ඛවෙ ඨානානි චතුහි ඨානෙහි වේදිතබ්බානි කතමානි චත්තාරි'

එහිදී උන්වහන්සේ දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් කෙනෙක් හඳුනා ගැනීමට උපකාර වන කරුණු පිළිබඳවයි. “මහණෙනි යම් පුද්ගලයෙකුගේ සීලය දැනගැනීමට නම් එක්ව වාසය කළ යුතුයි. එමෙන්ම බොහෝ කලක් ඇසුරු කළ යුතුයි. සුළු කාලයකින් නොවේ. සීලය ගැන දැන ගැනීමටත් නුවණින් මෙනෙහි කරන්නට ඕනෑ. එය කළ හැකි වන්නේ ඤාණවන්ත පුද්ගලයා ට යි.

'සංවාසෙන භික්ඛවෙ සීලං වේදිතබ්බං තඤ්ච ඛො දීඝෙන අද්ධූනා න ඉත්තරං මනසිකරොතා නො අමනසිකාරා පඤ්ඤවතා හො දුප්පඤ්ඥේන'

ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පුද්ගලයකු සමඟ කතාබස් කිරීමෙන් ඔහුගේ පිරිසුදු බව දැනගන්නට පුළුවන් බව. ඒ සඳහා බොහෝ කාලයක් ඇසුරු කළ යුතුයි. සුළු කාලයක් නොවේ. එය දැනගත හැකි වන්නේ නුවණින් මෙනෙහි කරන තැනැත්තාට යි. නුවණින් මෙනෙහි නොකිරීමෙන් නොවෙයි. එමෙන්ම එය දැනගත හැකි වන්නේ ඤාණවන්ත පුද්ගලයාට යි . නුවණ නැති තැනැත්තාට නොවේ.

'සංවොහාරෙන භික්ඛවෙ සොවෙය්‍යං වෙදිතබ්බං තඤ්ච ඛො දීඝෙන අද්ධූනා හ ඉත්තරං මනසිකරොතා නො අමනසිකාරා පඤ්ඤවතා නො දුප්පඤ්ඥේන' කියල බුදුරජාණන් වහන්සේ ඒ කරුණ ගැන දේශනා කරනවා.

පුද්ගලයකුගේ බලය දැනගත හැකි වන්නේ විපත්තියක දී බව ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා. ඒ සඳහාත් බොහෝ කලක් ඇසුරු කළ යුතුයි. සුළු කාලයකින් නොවේ. එය දැනගත හැකි වන්නේත් නුවණින් මෙනෙහි කරන තැනැත්තාට යි. නුවණින් මෙනෙහි නොකිරීමෙන් නොවේ. එමෙන්ම එය දැනගත හැකි වන්නේ ඤාණවන්ත පුද්ගලයාට යි. නුවණ නැති තැනැත්තාට නොවේ.

ඒ කරුණ උන්වහන්සේ මෙසේ දේශනා කරනවා. 'ආපදාසු භික්ඛවේ ථාමො වෙදිතබ්බො සො ව ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං මනසිකරොතා නො අමනසිකාරා පඤ්ඤවතා නො දුප්පඤ්ඥේන'

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, සාකච්ඡා කිරීමෙන් පුද්ගලයෙකුගේ ප්‍රඥාව දැනගන්න පුළුවන්. ඒ සඳහා බොහෝ කලක් ඇසුරු කළ යුතුයි. සුළු කාලයක් නොවේ. එය දැනගත හැකි වන්නේ නුවණින් මෙනෙහි කිරීමෙන් පමණයි.

නුවණින් මෙනෙහි නොකිරීමෙන් නොවේ. එමෙන්ම එය දැනගත හැකි වන්නේත් ඤාණවන්තයා ට පමණයි. නුවණැති කෙනාට නොවේ කියල උන්වහන්සේ දේශනා කරනවා.

'සාකච්ඡාය භික්ඛවේ පඤ්ඤා වෙදිතබ්බා සාවකො දීඝෙන අද්ධූනා න ඉත්තරං මනසිකරොතා නො අමනසිකාරා පඤ්ඤවතා නො දුප්පඤ්ඥේන'

මෙන්න මේ කරුණු හතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්වා දෙනවා.

පින්වත්නි, පළමු කාරණාව පිළිබඳ උන්වහන්සේ විස්තර කරනවා. යම්කිසි පුද්ගලයෙකුගේ සීලය දැනගත හැකිවෙන්නේ එකට සිටීමෙන්. ඒ සඳහා බොහෝ කාලයක් ඇසුරු කළ යුතුයි. සුළු කාලයකින් නොවේ. ඒ වගේම නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. නුවණින් මෙනෙහි කරන්නේ නැති කෙනාට තේරෙන්නේ නැහැ. එමෙන්ම ඤාණවන්ත පුද්ගලයාට යි මෙය තේරුම් ගන්නට පුළුවන්. ඤාණවන්ත නැති කෙනාට මේක තේරෙන්නේ නැහැ කියල උන්වහන්සේ දේශනා කළා. එය බුදුරජාණන් වහන්සේ තව දුරටත් මෙසේ විස්තර කරනවා.

පුද්ගලයෙකු තව පුද්ගලයෙකු සමඟ එකට ජීවත් වෙනවා. වාසය කරනවා. මේ පුද්ගලයා බොහෝ කාලයක සිට සිල් කඩනවා. සිදුරු වු පැල්ලම් සහිත කැළැල් සහිත, සිල් තියෙන්නේ. නිතර සිල් පවත්වන්නේ නැහැ. මේ පුද්ගලයා දුස්සීලයෙක්, සිල්වතෙක් නොවෙයි කියල දැනගන්නවා.පින්වත්නි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමඟ එකට වාසය කරනකොට ඒ තැනැත්තා ගැන දැනගන්නා ආකාරය ගැන උන්වහන්සේ දේශනා කරනවා.

අපි උදාහරණයක් ගනිමු. පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා සිල්වතෙක් කියලා බාහිරව පෙනෙනවා.නමුත් ඔහු සමීප ව ඇසුරු කළ පසුවයි වැටහෙන්නේ මේ පුද්ගලයාගේ සීලයක් නැහැ කියලා.

නමුත් අපි පුද්ගලයෙකුගේ මිනුම ගන්නේ බාහිරව හැඳ සිටින සිවුර, හිස මුඩු කරලද ඉන්නේ? ඒ වෙලාවට කතා බස් කරන ආකාරය, හැසිරෙන ආකාරය ආදිය අනුවයි. නමුත් යම් පුද්ගලයෙකුගේ සීලය එසේ තීරණය කිරීමට පුළුවන් එකක් නොවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සඳහා දීර්ඝ ඇසුරක් තිබිය යුතුයි.

ඉතිරි කොටස දුරුතු අව අටවක පෝදා (ජනවාරි 27) පත්‍රයේ පළවේ.

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]