UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මනුෂ්‍යත්වයෙන් අධ්‍යාත්මික ප්‍රවේශයක් කරා... : මිනිසා සතු කායික මානසික තීව්‍රතාව

මනුෂ්‍යත්වයෙන් අධ්‍යාත්මික ප්‍රවේශයක් කරා... :

මිනිසා සතු කායික මානසික තීව්‍රතාව

මිනිසා යනු සත්වයන් අතර සුවිශේෂ සත්ත්වයෙක් බව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත් එම සුවිශේෂී බව කුමක්දැයි නිවැරැදිව වටහා ගන්නා තෙක් අපට අපගේ වටිනාකම් නො පෙනෙනු ඇත. අප සතු වටිනාකම් අපගේත්, අන්‍යයන්ගේත් ප්‍රයෝජනයට ගතහැකි වනුයේ ඒවා හඳුනාගන්නා පමණට ය.

මනුෂ්‍යයා යනු ‘මනසින් උසස්’ හෝ ‘මනස උසස් කරගැනීමට හැකි’ හෝ සත්ත්වයෙකි. එම වරප්‍රසාදය හිමි වන්නේ උපතින්ම ය. කුසල විපාක සිතකින් ම මිනිසත් බවෙහි උපත ලැබීම ඊට ප්‍රධාන හේතුවයි. උපතින් අංගවිකල නො වූ, මන්දබුද්ධික නො වූ සෑම මනුෂ්‍යයෙකුම මනුලොව ප්‍රතිසන්ධිය ලබනුයේ ද්විහේතුක හෝ ත්‍රිහේතුක කුසල විපාකයකිනි. අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූල තුනම යෙදුණු කුසලය ත්‍රිහේතුක කුසලයක් ලෙස හැඳින්වෙන අතර එබඳු කුසල විපාකයකින් උපත ලැබීම ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකි. අලෝභය හා අද්වේෂය පමණක් යෙදුණු කුසල් සිතක විපාකයකින් උපත ලැබීම ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකි. අලෝභය හා අදේවේෂය පමණක් යෙදුණු කුසල් සිතක විපාකයෙන් උපත ලැබීම ද්විහේතුක ප්‍රතිසන්ධියකි. එම කුසල විපාක සිත් අකුසලයෙන් තොර බැවින් ප්‍රභාස්වර ය. ශක්තිමත් ය. උපතේ පටන් මරණය දක්වා එම භවය තුළ මනෝද්වාරය ලෙස ක්‍රියා කරනුයේ එම ප්‍රභාස්වර චිත්ත පරම්පරාව ය. මිනිස් සිත සංවර්ධනය කළ හැක්කේ මෙම උප්පත්ති සිතෙහි බලවත් බව නිසා ය.

දෙව්ලොව උපත ලබන්නේ ද කුසල් සිතකිනි. එහෙත් දෙවියන්ට මෙන් ඕලාරික ශරීරයක් නො මැති බැවින් මනසින් වටහා ගන්නා දේ කායික අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි ය. එය අධ්‍යාත්මික සංවර්ධනයට ප්‍රධාන බාධාවකි. සසර දුකින් මිදීම හෙවත් නිර්වාණාවබෝධය සඳහා සංස්කාර ධර්මයන්ගේ ‘ආශ්වාදය, ආදීනවය, නිස්සරණය’ යන කරුණු තුන මැනවින් ප්‍රත්‍යක්ෂ කළ යුතු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති. ඉන්ද්‍රියන්ට ගෝචර වන ආශ්වාදයක් සංස්කාර ධර්මයන්හි ඇති බවත්, එම ආශ්වාදනීය බව නිසාම සත්ත්වයන් කෙලෙසෙන බවත් බුදුරජාණන් වහන්සේ මහාලි නම් ලිච්ඡවී රජුට පැහැදිලි කළහ. එමෙන්ම සත්ත්වයන් වෙහෙසට පමුණුවන, පීඩා ඇති කරන නීරස වූ ආදීනවයක් ද සංස්කාර ධර්මයන්හි ඇති අතර එය ඉන්ද්‍රියන්ගෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු ය. සංස්කාර ධර්මයන්හි මෙම ආශ්වාදය හා ආදීනවය මැනැවින් ප්‍රත්‍යක්ෂ කරන තැනැත්තා ම පමණක් නිස්සරණය හෙවත් නිවන වෙත යොමු වෙයි.

දහම් අසා දෙව්බඹුන් නිවන් අවබෝධ කළ අවස්ථා ද ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. පූර්ව ජන්මවල මනුලොව ඉපිද සංස්කාර ධර්මයන්ගේ ආශ්වාදය මෙන්ම ආදීනවය මැනවින් ප්‍රත්‍යක්ෂ කොට ප්‍රඥාව අවදි කර ගත් අයෙකුට දෙව්ලොව දී හෝ රූපාවචර බ්‍රහ්ම ලෝකයක දී වුවත් දහම් අසා නිර්වාණාවබෝධය කිරීමට බාධාවක් නැත. නමුත් මනුලොව දී එම අවබෝධය නො ලබන්නේ නම් දෙව්ලොව දී හෝ බඹලොව දී නිවන් අවබෝධ කළ නොහැකි වනු ඇත. ඒ අනුව මනුෂ්‍ය ආත්මභාවය සසර ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

නිවන් දැකීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතු ය. චතුරාර්ය සත්‍යයෙහි පළමු සත්‍යය වන දුක්ඛ සත්‍යය විග්‍රහ කරනුයේ ‘ඉපදීම ද දුකකි, දිරීම දුකකි, ලෙඩවීම ද දුකකි, මරණය දුකකි.....’ ආදී වශයෙනි. එහෙත් දෙව්ලොව දී එම අවස්ථා අත්දැකීම දුෂ්කර ය. කුසල බලයෙන් සියලු අංග ප්‍රත්‍යාංග සහිතව සැනෙකින් පහළවන දෙවියන් ආයු කාලය නිමවා දෙව්ලොවින් චුත වන තුරු ලෙඩ වීමක් හෝ වයස්ගතවීම නිසා ඇස් නො පෙනීම, කන් නෑසීම, අතපය වාරු නැති බව ආදී කායික දුබලතාවක් හෝ මතු නොවන බැවින්, ඉපදීමේ දුක ප්‍රත්‍යක්ෂ කිරීම පහසු නැත. මිනිසුන්ට එම සියලු අවස්ථා ප්‍රකට වනුයේ සංවේදී ඕලාරික කයක් ඇති බැවිනි.

පාරමිතා සම්පාදනය කළ හැක්කේ ද මිනිසා සතු මෙම කායික මානසික තීව්‍රතාව නිසාම ය. ‘පාරමී’ යනු කෙලෙස් නැසීමට අවශ්‍ය මානසික ගුණාංගයන් ය. පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමේ දී ‘පාරමී’, උප පාරමී’, පරමත්ත පාරමී වශයෙන් දස පාරමිතාව, සම තිස් ආකාරයකින් දක්වා තිබේ. එහි පරමත්ත පාරමී යනු ජීවිත පරිත්‍යාගයෙන් දාන, සීල, නෛෂ්ක්‍රම්‍යාදී ගුණ වැඩීම ය. උප පාරමී යනු ඇස්, මස්, ලේ ආදී වශයෙන් අංග ප්‍රත්‍යංග දන් දීම හෝ අංග ප්‍රත්‍යංග අහිමි වුවත් එය නො තකා දාන සීලාදී ගුණ දියුණු කිරීම ය. දාන පාරමී යනු භෞතික සම්පත් දන් දීම හෝ ඒවා අහිමි වුවත් එය නොතකා කෙලෙස් නැසීමට අවශ්‍ය ගුණ දියුණු කිරීම ය. එබඳු ගුණ දියුණු කිරීමට දෙව්ලොව බඹලොව හෝ අවශේෂ ලෝකවල හැකියාව නැත. ඒ සඳහා පූර්ණ හැකියාව ඇත්තේ කායික මානසික දෙපසින්ම ශක්තිමත් මනුෂ්‍යයෙකුට ම පමණි.

දන් දීමේ දී එම කුසලය සම්පූර්ණ වීමට නම් මානසික ක්‍රියාවලිය මෙන්ම භෞතික ක්‍රියාවලියක් ද සම්පූර්ණ විය යුතු ය. දාන චේතනාව සහ ප්‍රතිග්‍රාහකයාගේ යහපත වෙනුවෙන් අදාළ පරිත්‍යාග සිදු කිරීම යන අංශ දෙකම එහි දී වැදගත් වේ.

දෙවියන්ට පුණ්‍ය ශක්තියෙන් දිබ්බ චක්ඛු, දිබ්බ සෝත පහළ වුව ද ඒවා වර්ධනය කිරීමක් කළ නොහැක. මිනිසාට එබඳු අභිඥා උපදවා ගැනීමට මෙන්ම අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් වර්ධනය කිරීම ද කළ හැකි ය. මනුලොව දී ධ්‍යාන පුහුණු කරන කෙනෙකුට දෙව්ලොව ඉපිද ධ්‍යානයට සමවැදීමට හැකි වුවද ඉන් ඉහළ ධ්‍යානවලට පැමිණිය නොහැක. මනුකය සහිත මනුෂ්‍යයෙකුට අවශ්‍ය නම් ප්‍රථම ධ්‍යානයේ පටන් නේවසඤ්ඤාසඤ්ඤායතනය දක්වා අෂ්ටසමාපත්ති වුවද ඉපදවිය හැකි ය.

මෙසේ පාරමිතා කුසල් රැස් කිරීමේ පටන් ධ්‍යාන, අභිඤ්ඤා, මාර්ගඵල, පසේ බුද්ධත්වය, සම්මාසම්බුද්ධත්වය දක්වා සියලු හැකියාවන් මිනිසා සතු වන්නේ සිත ගත දෙකම වැඩිදියුණු කළහැකි නිසාවෙනි. තමන්ට උපතින් ලැබී ඇති එම හැකියාව ප්‍රයෝජනයට ගන්නේ ද නො ගන්නේ ද යන්න මිනිසා සතු කාර්යයකි.

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]