UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

අලහේනේගම සුමනරතන නා හිමි

මහාචාර්ය අලහේනේගම සුමනරතන හිමියෝ කුරුණෑගල මහදිශාවේ අභිනව උප ප්‍රධාන සංඝ නායක ධූරයට පත්වූහ.

කොබෙයිගනේ මීගස්වැව ජයන්ති පියරතනාරාමය, ලූලුගස්හේන ශ්‍රී අභිනවාරාමය, ගනේගම මීගස්වැව විහාරය යන විහාරත්‍රයාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘත අධ්‍යයන පීඨයේ මහාචාර්ය ආචාර්ය අලහේනේගම සුමනරතන ස්වාමීන් වහන්සේ පසුගියදා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් කුරුණෑගල මහ දිශාවේ උප ප්‍රධාන සංඝ නායක ධූරයට ධර්මකීර්ති ශ්‍රී දේවමිත්ත පියරතන යන ගෞරව නාම සම්මුතිය සහිතව පත්කරනු ලැබ සිටිති.

1952 ඔක්තෝබර් මස 17 වෙනි දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලහේනේගම ග්‍රාමවරයේ උපත ලබා 1968 ජූනි 27 දින මීගස්වැව ආදී විහාර ගණයේ විහාරාධිපති වේපත්අංගේ ශ්‍රී පියරතන නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් මීගස්වැව ජයන්තිපියරතනාරාමයේ දී පැවිදි භූමියට ඇතුළත් වූහ. අලහේනේගම රජයේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූහ. 1972 ජූනි 14 වෙනි දින ඓතිහාසික පාදෙණිය ගුරු පරපුරට අයත් වේපත් අංගේ පියරතන මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදා ශීලයට පත්වූහ.

1969 වර්ෂයේ සිට කොබෙයිගනේ ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙනට ඇතුළත්ව අග්ගමුවේ සිරිරතනාලංකාර, ගැට දිවුල්වැවේ සිරි හේමාලෝක හිමිවරුන්, පරිවේණාධිපතිවරුන් මඟින් අධ්‍යාපනය ලැබූහ. 1973 වර්ෂයේ සිට පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ වර්තමාන විද්‍යාලංකාර පරිවෙණාධිපති වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමි, වැලිමිටියාවේ ශ්‍රී ධම්මරක්ඛිත නාහිමි, කෝට්ටේ මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි ආදී පණ්ඩිතාචාර්ය හිමිවරුන්ගෙන් ප්‍රාචීන විභාගය හා උසස්පෙළ අධ්‍යාපනය ලැබූහ. 1977 ඔක්තෝබර් 17 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, 1985 දී ශාස්ත්‍රපති උපාධියත්, 1987 දී පශ්චාත් උපාධි අධ්‍යයන ඩිප්ලෝමාවත් ලබාගත්හ. 1989 දී කොළඹ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ජනසන්නිවේදන ඩිප්ලෝමාවක් ලබාගත්හ. 2000 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනශූරී උපාධිය ලබාගත්හ. 2000 දී එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිපාලන හා කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාවත්, 2004 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් කථිකාචාර්ය මණ්ඩල සංවර්ධන පාඨමාලාවත් හැදෑරීය. මූලික උපාධියෙන් පසුව 1982 දී විද්‍යාලංකාර පිරිවෙනේ ශාඛාවක් වූ වීරහේන විද්‍යාරත්න මහපිරිවෙනේ පරිවේණාධිපති ධූරයට පත් වූහ. 1991 දී හැටන් ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකු වූහ. 1998 සිට උපපීඨාධිපති තනතුරෙන් ද ගෞරවයට පත්වූහ. 2002 වර්ෂයේ සිට අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු ලෙස සේවය කළ සුමනරතන ස්වාමීන් වහන්සේ 2009 වර්ෂයේ දී භාෂා හා සංස්කෘත අධ්‍යයන පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරති. 2002 සිට විශ්වවිද්‍යාලයේ විවිධ තනතුරු දරමින් භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති වශයෙනුත්, පාලක සභාවේ සාමාජික තනතුරත් ඉසිලූහ. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙනුත් රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කළේ ය. මීට අමතරව ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සාමාජිකයකු ලෙසත් සේවය කරති.

උන්වහන්සේගේ ආගමික හා සාමාජික සේවාවන් අගයමින් සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් කුරුණෑගල මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක තනතුරට උන්වහන්සේ පත්කිරීම අතිශයින් අගය කළයුත්තකි.

2018 දෙසැම්බර් 25 දින මහනුවර මල්වතු මහාවිහාරයේ දී ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමූ අතර දෙසැම්බර් 28 දින කොබෙයිගනේ මීගස්වැව ජයන්ති පියරතනාරාමයේ දී සම්භාවනීය ගිහි පැවිදි ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් උපහාර උත්සවය පැවැත්විණි. අභිනව නායක ස්වාමීන්වහන්සේට තෙරුවන් බෙලෙන් නිරෝගී සුව ලැබේවා.

****

කරගම්පිටියේ ශාන්තානන්ද නා හිමි

දෙහිවල කව්ඩානේ ශ්‍රී ශාන්තාරාමාධිපතිව වැඩ විසූ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක කරගම්පිටියේ ශාන්තානන්ද නාහිමියන් අපවත් වී ජනවාරි 18 වැනි දිනට දෙවර්ෂයක් සපිරේ.

දෙහිවල කරගම්පිටිය ග්‍රාමයේ දී පී. ඒ. විල්සන් මහතා සහ ඇම්. සිසිලින් ප්‍රනාන්දු මහත්මිය යන මව්පිය දෙපළගේ 1953 අප්‍රේල්. 15 වෙනි දින මෙලොව එළිය දුටු පින්වත් කුමරා පී.ඒ. රංජිත් නම් විය. එම කුමරුවා කරගම්පිටිය සුමග විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය හදාරන්නට විය.

වයස අවුරුදු 12 දී මොරටුවේ ශ්‍රී ශාන්ත නාහිමියන්ගේ සෙවණ ලබමින් පැවිදි දිවියට අවශ්‍ය පොත් පත් හදාරමින් ගුණ ධර්ම වර්ධනය කර ගත්හ.

වනපොත් කරමින් සිටි කුමරුවා 1965 ජූනි මස 26 වැනි දින දොඩන්දූව ශෛලබිම්බාරාම විහාරස්ථානයේ දී මොරටුවේ භදන්ත ශ්‍රී ශාන්තාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් කරගම්පිටියේ ශාන්තානන්ද නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත්විය. එතැන් සිට තම ගුරුදේවයන් වහන්සේගෙන් බණ දහම් පිළිබඳ දැනුම ලබාගත් ශාන්තානන්ද සාමණේර හිමියන් පිරිවෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය රත්මලානේ භික්ෂු අභ්‍යාස විදුහලින් ලබා ගත්හ.

දක්ෂ ක්‍රියාශීලී හිමිනමක් වූ කරගම්පිටියේ ශාන්තානන්ද හිමිපාණන් 1973 දී දෙවිනුවර අමරසිරි මහානා හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මොරටුවේ භදන්ත ශ්‍රී ශාන්තාභිධාන නා හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාශීලයෙහි පිහිටිය. තම ගුරුදේවයන්වූ ශාන්ත නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු ශාන්තාරාමාධිපති ධූරයට පත් වූ ශාන්තානන්ද නාහිමිපාණන්ගේ නොපසුබට උත්සාහයත්, ක්‍රියාශීලී බවත් නිසා නවතම බුද්ධ මන්දිරය, සංඝාවාසය, ධර්ම ශාලාව, චෛත්‍යරාජයාණන් සහ බෝධි ප්‍රාකාරය ගොඩනංවා දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කරන ලදී.

සියලු ජාතීන් සමග ඉතා කුළුපගව ඇසුරු කළ ශාන්තානන්ද නාහිමියන් ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම වර්ධනය කිරීම සඳහා ශ්‍රී ශාන්ත දහම් පාසල පිහිටුවා මහත් කැපවීමකින් කටයුතු කළහ.

ශ්‍රී කල්‍යාණවංශනිකායික කටයුතුවලදී හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කරන ලද අමරණීය සේවය අගය කරමින් ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක දොඩම්පහළ චන්දසිරි මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව විසින් ශ්‍රී ගුණරතන වංශාවතංශ ධර්ම කීර්ති ශ්‍රී වාගීස්වර විනයාචාර්ය යන ගෞරව නාමය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයට පත්කරන ලදී.

කරගම්පිටියේ ශාන්තානන්ද නා හිමියන් අපවත්වී ජනවාරි 18 වැනිදාට දෙවර්ෂයක් සපිරේ.

****

උදම්මිට අස්සජිතිස්ස අනු නා හිමි

උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති, ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර ධර්ම විද්‍යාලීය ප්‍රධානාචාර්ය අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ අනුනායක ධුරන්ධර ‘විනය කීර්ති ශ්‍රී ධම්මාලංකාර කවිධජ’ උදම්මිට අස්සජිතිස්ස අනුනාහිමිපාණන් වහන්සේට පසුගිය 29 වන දා සිය 78 වන ජන්ම දිනය සම්පූර්ණ විය.

ගම්පහ දිස්ත්‍රික්කයේ උදම්මිට ග්‍රාමයෙහි විජයමුණි ලෝරන් සොයිසා උපාසක මහතා සහ වෙද සුදු නෝනා උපාසිකා මාතාව දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස 1940 දෙසැම්බර් මස 29 වන දින උපත ලැබීය. සිය මූලික අධ්‍යාපනය රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහලින් ලබාගත්හ.

සුභදාස විජයමුනි සොයිසා කුමරුවන් කන්දේගොඩ අම්බලන්ගොඩ ශ්‍රී නාග පුෂ්පාරාමාධිපති එවකට අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ මහානායක අරියවංසාලංකාර මහෝපාධ්‍යාය උදම්මිට ධම්මරක්ෂිත මහ නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ අනුනායක උදම්මිට ධම්මාලංකාරතිස්ස අනුනාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1951 පෙබරවාරි මස 21 වන දා උදම්මිට අස්සජිතිස්ස යන නමින් උතුම් පැවිදි දිවියට පත්විය.

කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට 1956 දී ඇතුළත් ව මූලික පිරිවෙන් අධ්‍යාපනයෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. 1961 ජූනි මස 20 වෙනි දින සිය ගුරු දේවයන් වහන්සේගේ මඟපෙන්වීමෙන් බලපිටි මෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවූහ. මරදාන මහින්දාශ්‍රමය, ග්‍රෑන්ඩ්පාස් ඉසිපතනාරාමය, ස්ටොක්වත්තේ බෝධිරාජාරාමය යන විහාරස්ථාන වැඩිදියුණු කිරීමට වෙහෙසුණු අතරම, කොළඹ ප්‍රදේශයේ බෞද්ධ පුනර්ජීවනය සඳහා මහත් වැඩ කොටසක් ඉටු කළහ.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද, ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයේ ආරම්භක පුස්තකාලයාධිපති ලෙස ද කටයුතු කළ උන්වහන්සේ ‘බුදුසරණ’ ආදී පුවත්පත්වලට ශාස්ත්‍රීය හා ජාතික වශයෙන් වැදගත් වූ ලිපි රැසක් ලියා පළකලහ.

1979 ඔක්තෝබර් මාසයේ දී තම ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු උත්තමාරාම පුරාණ විහාරස්ථානය ඇතුළු එම විහාර ගණයේ සියලු විහාරස්ථානවල වගකීම හා භාරකාරත්වය පැවරුන අතර බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය හොබවමින් නිකායේ හා සෙසු ශාසනික සේවාවන් සඳහා මූලිකත්වය දුන්හ.

උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ප්‍රධානාචාර්යත්වයෙන් විහාරස්ථ ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර ධර්ම විද්‍යාලය ඉමහත් සාර්ථකත්වයක් ලබා ඇත. සම්බුද්ධ ශාසනයට සිදුකරන ලද මෙහෙවර මෙන්ම අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වය උදෙසා සිදුකළ අමිල මෙහෙවරට කෘතවේදී ගෞරවයක් ලෙසින් උන්වහන්සේ එකී නිකායේ අනුනායක ධූරයෙන් ද පිදුම් ලැබූ අතර ‘විනය කීර්ති ශ්‍රී ධම්මාලංකාර කවිධජ’ යන ගෞරව නාමයෙන් ද පුදනු ලැබූහ.

උන්වහන්සේගේ 78 වන ජන්ම දිනය නිමිති කොටගෙන පින්කම් මාලාවක් සංවිධානය කොට තිබිණි.

පුරා අඩසිය වසකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලෙහි රට, දැය, සමය උදෙසා අමිල මෙහෙයක් ඉටු කරමින් කටයුතු කරන උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති, ශ්‍රී සංඝතිස්ස ධර්ම විද්‍යාලීය ප්‍රධානාචාර්ය අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර ‘විනය කීර්ති ශ්‍රී ධම්මාලංකාර කවිධජ’ උදම්මිට අස්සජිතිස්ස අනුනාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමු.

 

දුරුතු පුර අටවක පෝය


දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]