UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවි හිමියෙන් වඩමු ගුණ දම්

දිවි හිමියෙන් වඩමු ගුණ දම්

“දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සුව අත් වේවායි” යහපත් වැඩක් කළ හැම විටම සංඝරත්නය ඔබට ආශිර්වාද කරති. මෙකී දේවත්වය ලැබීමට නම් මේ මනුෂ්‍ය ආත්මයේ දී අප කළ යුතු, නොකළ යුතු දේ මොනවා ද? සම්බුදු දහමේ ජීවමාන සංකේතය වූ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කළ උඳුවප් පෝය මෙවැනි පින්වත් සිතිවිලි පහළ කර ගැනීමට හොඳම කාලයයි.

“දිව්‍ය ලෝකය” යනු යස ඉසුරින් හා සැප සම්පතින් පිරි සතුට, සොම්නස නිරතුරුව පිරී ඉතිරී ගිය ලොවක් හැටියට අපි දැක නැතත් අසා ඇත්තෙමු. දිව්‍ය ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත්,අපායත් යන ත්‍රිවිධ ලෝකය ම ඇත්තේ මෙලොව තුළ යයි ඇතැම් විද්වතෙක් විවරණය කරති. ඒ මතය සනාථ කෙරෙන සාධක මේ මිනිස් ලොව තුළම දැකිය හැකි ය.

නිලයෙන්,බලයෙන් ආඪ්‍ය වූ, “දුක” යනු කුමක්දැයි නොදන්නා, සැප සම්පත්වලින් ඉහවහ ගිය මිනිස් ජීවිත මෙලොව තුළදී ම අපට දැකගත හැකි ය.

මිනිසුන් ලෙස ඉපදුණේ වී නමුත් දුක් කම්කටොළුවලින්, අඟහිඟකම් වලින්, ලෙඩදුක් වලින් පිරී ගිය, සමහර විට නිසි අංග පුලාවක් නැති, එසේම අංගවිකල වී දහදුක් විඳින අය අපට මේ මිනිස් ලොව දී ම දැකගත හැකි ය. මෙසේ ජීවිත ගත කරන්නන් අපාගත වූවන් සේය.

දෙව්ලොවටත් නැති, අපායටත් නැති දුක මුහු එසේම සැප මුහු දිවි පෙවෙතක් ගත කරන අය මිනිසුන් ලෙස මනුෂ්‍ය ලෝකයේ කලදවස ගෙවන අය විය හැකි ය.

දෙව්ලොවක් හා දිව්‍ය ආත්මයක් ප්‍රාර්ථනා කරන අය සිය දිවි පෙවෙත හසුරුවා ගැනීමේ දී සදාචාරවත් වීම අත්‍යවශ්‍ය වූවකි. එම සදාචාරවත් ජීවිතයේ දී අනුගමනය කළ යුතු ගුණධර්ම ගණනාවක් වෙයි. ඒවා එකින් එක සවිස්තරව මෙසේ දැක්විය හැකි ය.

දෙසවනට පි‍්‍රය වචන කථා කිරීම

යහපත් වචන භාවිතය නිසා පරිසරය පි‍්‍රයමනාප වෙයි. පි‍්‍රය වචන කියන්නාගේත් අසන්නාගේත් සිත් සතන් සැහැල්ලු වී සතුටින් පිරී යයි. එක් අවස්ථාවක දෙවියන්ගේ නායක සක් දෙවිඳු හා අසුරයන්ගේ නායක “වේපචිත්ති” අතර වාග් සංග්‍රාමයක් ඇතිවිය. මේ විවාදයේ දී ‘බාලයන් මෙල්ල කිරීමට නම් ඔවුන්ට දඬුවම් කළ යුතු යැයි” අසුරේන්ද්‍ර වේපචිත්ති තර්ක කළේ ය. නමුත් මෙහි දී සක් දෙවිඳු පැහැදිලි කළේ බාලයන් කිපී ගිය විට ඔවුන් මෙල්ල කිරීමට නම් තමන් සන්සුන් විය යුතු බවයි. බාලයන් මැඩ පැවැත්වීමේ හොඳම මඟ ඉවසීම යයි සක් දෙවිඳු පැහැදිලි කළ විට ඒ මතය දෙවිවරු විසින් සාධු නාදයෙන් පිළිගත්හ. එම වාග් සංග්‍රාමයෙන් සක් දෙවිඳු ජයගත් බව ධර්මානුගත පොත්වල සඳහන් වේ. “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය” යන කතාවත් අප අතරට පැමිණ ඇත්තේ සක් දෙවියන් පෙන්වා දුන් මේ ගුණදහම නිසා විය යුතු ය.

සතුන්ට හිංසා නොකිරීම

සතුන්ට හිංසා නොකිරීම තවත් දේව ගුණයකි. අනුන්ට කිසිදු ශාරිරික හෝ මානසික පීඩාවක් ඇති නොකර දිවි පෙවෙත හසුරුවා ගැනීම දිව්‍යාත්මයක් ලැබීමේ එක් හේතුවකි. එක් දිනක් අසුරයන් පිරිසක් සක් දෙවිඳුට හිංසා කිරීමේ අරමුණින් සක් දෙවිඳු ලුහු බැන්ඳේ ය. මොවුන් සමඟ යුද වැදුණොත් ජීවිත රැසක් විනාශ වේ යයි සිතූ සක් දෙවිඳු සිය රථයෙන් පලා යන්නට විය. මෙසේ යන අතරමග දී සක් දෙවිඳුන්ගේ රිය ගුරුළු කූඩුවල වැදෙන බව තේරුම් ගත් සක් දෙවිඳු වහාම රිය ආපසු හරවන ලෙස මාතලී දිව්‍ය පුත්‍රයාට අණ කරනු ලැබී ය. ඒ අනුව සක් රිය ආපසු හැරී එද්දි ඉදිරියට පැමිණෙමින් සිටි අසුරයන් සක්දෙවියන් විසින් තමන් ලුහුබඳින්නේ යයි සිතා ආපසු හැරී වහාම පලා ගියහ. සක් දෙවිඳුන්ග් මේ සත් ක්‍රියාව නිසා ගුරුළුන්ගේත් තමා සමඟ සිටි දෙවිවරුන්ගෙත් අසුරයන්ගේත් ජීවිත මරණින් බේරුණි.

සිල්වත් අයට ගරු බුහුමන් කිරීම

සිල්වත් අයට ගරු බුහුමන් කිරීම දේවාත්මයක් ලබා ගැනීමට හේතුවන තවත් කරුණකි. සිල්වත් බවින් පිරුණ දැහැමි සමාජයක් රටකට මහත්ම ආශිර්වාදයකි. සිල්වත් බව නිසා අරගල,අඩදබර, කෝලාහල හීන වෙයි. ජනතාව ඔවුනොවුන් කෙරෙහි සුහදශීලිව අන්‍යෝන්‍ය සමගියෙන්, සාමයෙන් කල දවස ගෙවති. මේ සමාජයට දෙවිවරු කැමැති ය . සිල්වත් අය දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබේ. ඒ නිසා ඔවුන්ට බාහිර කරදර නොපැමිණේ. සක් දෙවිඳු ඇතුළු දෙවිවරු සිල්වතුන්ට ගරු බුහුමන් කරති. සිල්වතුන්ට දෙවිවරු ආචාර කරති. දෙවියන්ට මිනිස් ශරීරය ගඳ සහිත ය. මිනිස් සිරුර අපිරිසුදු ය . නමුත් සිල්වතුන්ගේ සිරුරෙන් හමා එන සුළගට දෙවියෝ ද පි‍්‍රයමනාප වෙති.

සත් ගුණ ධර්මයන් රැකීම

දෙවිවරු මිනිසුන් ලෙස කල දවස ගෙවද්දී ගුණ ධර්ම හතක් නිතර පිළිපදිනු ලැබී ය.

මව්පියන් ජීවත්වන තාක් ඔවුන්ට සිය ඉටු දෙවියන් සේ ගරු බුහුමන් දැක්වීම

දිවි හිමියෙන් වැඩිහිටි සමාජයට ගරු බුහුමන් දැක්වීම, නිරතුරුවම පි‍්‍රය වචන කථා කිරීම, දිවි ඇති තෙක් අනුන් හෙළා දකිමින් කේළාම් නොකීම, දෙන ලද දානය ගැන හෝ පරිත්‍යාගය ගැන පසුව ඇළුම් නොකිරීම, කිසි විටෙක කිසිවෙකුට ක්‍රෝධයෙන් වෛර නොකිරීම

මෙම ගුණාංග හත ජීවිත කාලය පුරාවට පිළිපැදීම දේවත්වයට යාමේ හිණිමගක් සේ ය. මේවාට සත් පුරුෂ ගුණයයි කියති. මව්පිය පෝෂණය උදාර ගුණයකි. තමන්ගේ අතපය නොකඩා, ආහාර දී පෝෂණය කරමින් ඇති දැඩි කොට, ශිල්ප ශාස්ත්‍ර උගන්වා, යහපත් මිනිසෙකු ලෙස සමාජයට දායාද කරන්නේ මව්පියන් විසිනි. මේ නිසාම මව්පියන්ට ඉෂ්ට දේවතාවරු යයි කියති. පරපුරේ වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම, ඔවුන්ගේ මඟ පෙන්වීම අනුකරණය කිරීම සත්පුරුෂ ගුණයකි. පි‍්‍රය වචන කථා කිරීම, කේළාම් නොකීම. ඇත්ත කථා කිරීම සත් පුරුෂ ලක්ෂණයකි. දුන් දෙය ගැන නැවත පසුතැවිලි නොවී තව තවත් පරිත්‍යාග කිරීම උතුම් ගුණයකි.

ක්‍රෝධය හා වෛරය දුර්ගුණයකි. ක්‍රෝධය හා වෛරය නිසා නිරතුරුවම සිත අපිරිසුදු වේ. මේ අවගුණ නිසා කායිකව හා මානසිකව ලෙඩ වෙයි. මේ නිසා ජීවිත කාලය ද කෙටි වී යයි. බාහිර ලෝකය විසින් ඔහු ප්‍රතික්ෂේප කරනු ලබයි. ඔහු නරක මිනිසෙකු හැටියට ගමේ රටේ අපකීර්තිමත් වේ.

ක්‍රෝධය නැති තැන සිත පහන් වේ. මෙත් සිතිවිලි උපදී. තමා අවට සමාජයට පි‍්‍රයමනාප වේ. කායිකව හා මානසිකව සුවපත් වේ. මේ ගුණ ධර්මයන් දෙවිවරු විසින් මිනිස් ආත්මවලදී පිළිපදිනු ලැබී ය. ඔවුන් දේවාත්ම ලැබුයේ ඒ නිසා ය. එක් දිනක් සක් දෙවිදුගේ අසුනේ අසත්පුරුෂ කාලවර්ණ යකෙකු වාඩිවී සිටිනු දුටු දෙවිවරු ඔහුට පරිභව කළහ. නින්දා අපහාස කළහ. තර්ජනය කළහ. දෙවිවරුන්ගේ දැඩි ක්‍රෝධය පළවීමත් සමඟ යක්ෂයා පැහැපත් විය. දැකුම්කළු විය. මොහු සිය අසුන ගෙන ඇති බව දැනගත් සක් දෙවිඳු ඔහු වෙත පැමිණ තමන් සක් දෙවිඳු බව පළ කළේ ය. එවිට යක්ෂයා අතුරුදන් වී ගියේ ය.

“යක්ෂයා” යනු සංකේතයක් පමණි. ක්‍රෝධය සමඟ පුද්ගල සිතට ආවේශ වන ප්‍රතිරූපය යක්ෂයෙකු බඳු ය. ඉවසීම හමුවේ ක්‍රෝධ යක්ෂයන් පළා යයි. ක්‍රෝධය පිළිබඳ දේව වාක්‍යය මෙසේ ය. ක්‍රෝධය විසින් ඔබ යකෙකු බවට පත් නොකෙරේවා. කිපී සිටින්නන් ඉදිරියේ නිහඬ වන්න. ඉවසන්න. ක්‍රෝධ නොකිරීම ද අවිහිංසාව ද සත්පුරුෂ ගුණාංගයකි. දෙවිවරු මිනිස් ආත්මවලදී සත් පුරුෂයන් ලෙස ජීවත් වීම නිසා ඔවුන්ට දේවාත්ම ලැබී ඇත.

මෙසේ යහපත් , ගුණවත් සත් පුරුෂ දිවි පෙවෙතක් ගෙවීමෙන් මිනිසෙකු වුව ද, දෙවියෙකු වුව ද සමාජය තුළ වැදගත් උතුම් කෙනෙකු ලෙස ජීවත්විය හැකි ය.

 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]