UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් සිරිපා වන්දනා වාරය

අසිරිමත් සිරිපා වන්දනා වාරය

අසිරිමත් සිරිපා වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ඇරැඹේ. එතැන් සිට පුරා අඩ වසරක කාලයක් වූ 2019 වෙසක් පුර පසළොස්වක පෝය දක්වා සිරිපා වන්දනාවට දෙස් විදෙස් සැදැහැවත්හු සහභාගි වෙති.

සබරගමු වැසි වූ සුමන සමන් දෙවිරදුන් ගේ ගෞරවනීය ඇරැයුමෙන් රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනල ගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළහ. එවක් පටන් අද වන තෙක්ම ලොව වෙසෙන මනුෂ්‍යයන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රව ඇති උතුම් ශ්‍රී පාදස්ථානය ලෝක උරුමයන් අතර පූජනීය උරුමයක් වූ පින්බිමක් වේ.

අතිදුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ම ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වයි. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොල, මහනුවර ආදී රාජධානි සමයන්හි රාජ්‍ය පාලනය කළ මහ රජවරුන්ගේ ගෞරවයට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට නොයෙක් පුද පූජා සිදු කර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම, සන්නස් තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ. මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට පැමිණ අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණ සමන් දෙවිරදුන් උදෙසා දෙවොලක් තැනූ බව පැහැදිලි වේ. එදා පටන් සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අදත් සැදැහැවතුන්ගේ ගෞරවයට පාත්‍ර වේ.

අසමසම වූ මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්ත වේ.තථාගතයන් වහන්සේ සමන් දෙව්රදුන්ගේ ඇරැයුමෙන් ඉන්ද්‍රනීලමාණික්‍ය මත සිරිපා පද්මය පිහිටුවා වදාළ සේක. මිස දිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසු කලෙක එය ආවරණය විය.


ශ්‍රී පාදස්ථානාධිපති
බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි

වෙහෙරක කොත් කැරැල්ලක හැඩය ගත් පර්වත මස්තකයක් මුදුනට නැග වන්දනා කරන පුදබිමක් ලොව වෙනත් තැනක තිබේදැයි සිතා බැලිය යුතු වේ. උතුම් ශ්‍රී පාද වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ලොව අන්කිසි තැනකට නොදෙවෙනි සංකේත දෙකක් ද වේ. එකක් නම් මොහඳුරු දුරු කරන පහන් ආලෝකය වූ දොළොස් මහේ පහනයි. අනෙක නම් පැමිණ වන්දනා කළ වාර ගණන සනිටුහන් කරන ඝන්ඨාරයයි. දොළොස් මහේ පහනින් තෙල් බිඳක් රැගෙන ගොස් නොයෙක් ලෙඩ දුක් සුවකර ගැනීමට ද උපයෝගී කරගනු ලැබේ.

අපේ රටේ පමණක් නොව ලොව නන්දෙසින් පැමිණෙන වන්දනාකරුවෝ සිරිපා වන්දනාවාරය පැමිණෙන තෙක් නොඉවසිල්ලිමත්ව බලා සිටිති. ගතට සිතට සහනය සුවය ළඟා කර දෙන සිරිපා වන්දනාවාරයේ දී එදා අපේ මුතුන් මිත්තන් සිරිපා කරුණා කිරීම සඳහා පැමිණීමට පෙර තම දේපළ පවා දරු මුනුබුරන් වෙත පවරා ඒමට තරම් කල්පනාකාරී වූ හ. එහෙත් වර්තමානය වන විට ගමන් විඩාව මහන්සිය හැර වෙනත් කිසිදු බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමේ භාග්‍යය උදා වී ඇත. ඇතැම් විට තම ජීවිතයේ වසරකට එක් වරක් හෝ ඊටත් වඩා ගණනය කළ හැකි තරම් වසරක් පාසා සිරිපා වන්දනා කිරීමට අවස්ථාව සලසා ගත්හ. සමන් දෙවිරදුන්ගේ අඩවියෙහි දී කටවරද්දා ගැනීමෙන් වැළකී වන්දනාවට පැමිණීමට ද වග බලා ගත්හ. අතීතයේ දී අපේ මුතුන් මිත්තෝ දින සති ගණන් ගෙවමින් යන වන්දනා චාරිකා සංවිධානය කළහ. ඊට සිරිපා වන්දනාව ද නිරන්තරයෙන් ඇතුළත් විය.

සෑම වන්දනා කණ්ඩායමක් ම (නඩය) සංවිධානය කළ ප්‍රධානියෙකු ද විය. ඔහු හෝ ඇය හැඳින්වූයේ (නඩේ ගුරා) කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ය. ජාති, ආගම් ආදී වාද භේද කිසිවක් දක්නට නොලැබෙන සිරිපා වන්දනා කරන බැතිමතුන් ‘වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි.” සිරිපා වන්දනා කර ආපසු පැමිණෙන වන්දනාකරුවන්ට ‘නැගල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. ආදී වශයෙන් ඔවුනොවුන් සිත් පහන් වන අයුරින් කරුණා පෙරදැරිව ආශීර්වාද කිරීම ද සුලභ ය.

ඔවුනොවුන් අන්‍යොන්‍ය වශයෙන්, සුහදත්වයෙන් වන්දනා කරන සුවිශේෂී පුදබිමක් වන ශ්‍රී පාදස්ථානය අසිරිමත් මහ පුදබිමකි. අතීතයේ මුහුදු ගමන් යෙදුණු විදේශිකයන්ට දුර සිට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පද්මය පිහිටි සමන්තකූට පර්වතයයි. දෙස් විදෙස් සැදැහැවතුන්ගේ පමණක් නොව දෙවිවරුන්ගේ ද මහත් පූජාවට ලක්වන අනුහසින් යුත් ස්ථානයකි ශ්‍රී පාදස්ථානය.

අසිරිමත් සම්බුදු පහසින් පවිත්‍ර වූ සිරිලක සරුසාර කොට පෝෂණය කිරීමට ජලධාරා සතරක ආරම්භය සනිටුහන් වීම ද අසිරියකි. ගතට සැනසුම දෙන පරිසරයක් මෙන්ම, ජල සම්පත උදාකරන මෙවන් ස්ථානයක් වෙනත් නොවේ.

පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය, පැල්මඩුලු පුරාණ දාගැබ් රාජ මහා විහාරයන්හි අධිපති සබරගමු රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සිරිපා වන්දනා වාරයේ පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සලසා ඇත.

මෙවර ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරීම සඳහා සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා වහන්සේ වන්දනා සහ ප්‍රදර්ශනය දෙසැම්බර් 20 වනදා ආරම්භ වී පසුදා අලුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ දී සිදු කෙරිණි. අනතුරුව සධාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමා වහන්සේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ සිට මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් ඓතිහාසික ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කෙරිණි.

පළමු පෙරහර හැටන් මාර්ගය ඔස්සේ 21 වන දා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයෙන් පෙරවරුවේ ගමන් ඇරඹීමට නියමිතව තිබිණි. ඒ කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, කරවනැල්ල, හැටන්, මස්කෙළිය, නල්ලතන්ණිය හරහා ය. දෙවන පෙරහර පලාබත්ගල මාර්ගය ඔස්සේ 21 වන දා අලුයම ගමන් අරඹා පැල්මඩුල්ල, ගනේගම, පාතකඩ, ලෙල්ලුපිටිය, සබරගමුව සමන් දේවාලයට ගොස් ගල්කඩ්වමල්වල පාර ඔස්සේ පලාබත්ගල ඔස්සේ ගමන් කිරීමට නියමිතව තිබිණි.

තෙවන පෙරහර බලන්ගොඩ මාර්ගය ඔස්සේ 21 වන දා උදෑසන ආරම්භ කිරීමට නියමිත වූ අතර පැල්මඬුල්ල නගරය ඔස්සේ කාමරංගපිටිය, ඕපනායක, බලන්ගොඩ පින්නවල බගවන්තලාව පාරෙන් මස්කෙළිය හරහා නල්ලතන්ණිය දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි .

22 වන දා උතුම් පූජනීය වස්තූන් ශ්‍රී පාද මළුවට වැඩම කර ශ්‍රී පාද භාර නාහිමියන් ඇතුළු මහ සඟරුවන විසින් ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් නහවා පුද සිරිත් පවත්වා අලුයම 5.20 ට පහන් ආලෝක පූජාව ද පූජනීය වස්තූන් තැන්පත් කිරීම ද සිදුකර ලොවට ආශීර්වාදය පිණිස සිරිපා වන්දනා වාරය ආරම්භ වේ.

 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]