UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිත් දේශනාව 15: මෝර පිරිත

මෝර පිරිත

ජාතක පාලියෙහි දුක නිපාතයේ එන මෝර පිරිතෙහි ඇතුළත් වන්නේ රණ මොණරෙකු විසින් උදෑසන කාලයේ දී හා සවස් කාලයේ දී කළ ප්‍රාර්ථනාවකි. උදය කාලයේ දී මොණරා ප්‍රකාශ කරන්නේ ලොව අඳුර දුරු කොට, ලෝ වැස්සන්ට ඇස් පාදා දුන්, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජ වූ, රන්වන් සිරුර ඇති මහ පොළොව බබුළුවන්නා වූ සූර්යයා නැගෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබෙන් ආරක්ෂාව ලබන අප අද දවස සතර ඉරියව්වෙන් යුක්තව සැපසේ වෙසෙමු.

අනතුරුව සකල ක්ලේශයන් දුරු කළ බුදුරජාණන් වහන්සේට ද සියලු දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කළ උන්වහන්සේට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේ ද මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා.උන් වහන්සේලාගේ නව ලොව්තුරා බෝධි ගුණයටද මාගේ නමස්කාරය වේවා යනුවෙන් ප්‍රකාශ කරයි. සවස් කාලයේ දී සූර්යයා බැස යාම අරමුණු කරගෙන මේ පිරිතම සජ්ඣායනය කරයි. පිරිතේ ආරක්ෂාවෙන් රණ මොණරා කිසිදු උපද්‍රවයකට හසු නොවී ජීවිතය පවත්වාගෙන යයි.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන කල්හි උකටලී වූ භික්ෂුවක් අමතා මේ ජාතක කතාව දේශනා කරන ලදී.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරයි. බෝසතාණන් වහන්සේ රන්වන් මොණර රජෙක්ව ඉපිද හිමාල වනයෙහි පිහිටි මහ නුග රුකක වාසය කරයි. රණ මොණරා හිරු උදාවන විට ද, බැස යන විට ද, මෝර පිරිත කියයි. එක්තරා වැද්දෙක් එකී මොණර රජු දැක තම පුතුට ඒ බව පවසා මිය ගියේ ය. බරණැස් රජතුමාගේ අග මෙහෙසිය වූ ඛේමා බිසවට රන්වන් මොණරෙකුගෙන් බණක් ඇසීමට ආසාවක් උපන,ඇය මේ බව රජතුමාට පැවසුවා ය. රජතුමා රන්වන් මොණරකු දුටු කෙනෙක් ඇත්නම් අල්ලා ගෙන එන්නැයි අණබෙර යවන ලදී. මේ බව දැනගත් වැදි පුත්‍රයා මොණරා ඇල්ලීමට උත්සාහ ගත් නමුත් නොහැකි විය. දොළ සන්සිඳුවා ගැනීමට නොහැකි වූ බිසව ද ශෝකයෙන් මිය ගියා ය. මේ පිළිබඳව කෝප වු රජු රණ මොණරාගේ මස් අනුභව කළ කෙනෙක් ඇත්නම් අජරාමර වන්නේ යැයි පොතක ලියා තබා මිය ගියේය. මෙසේ පරම්පරා හයක රජවරු ද, වැද්දෙක් ද, මේ මොණර රජු අල්ලා ගැනීමට කටයුතු කළත් නොහැකි විය.

සත්වෙනියට බලයට පත් රජතුමා විසින් යවන ලද වැද්දා මේ මොණරා අල්වා ගත නොහැක්කේ කුමක් නිසා දැයි කල්පනා කළේ ය. හිමිදිරියේ මොණරා විසින් මෝර පිරිත කියා දවස ආරම්භ කරන බව ද, දවස අවසන් කරන බව ද, වැද්දා දැක්කේ ය. පිරිතෙන් ආරක්ෂාව සලසා ගන්නා නිසා රණ මොණරා අල්ලා ගත නොහැකි බව දැනගත් වැද්දා මොණරාගේ සිත පිරිතෙන් ඈත් කිරීමට උපායක් කල්පනා කළේ ය. වැද්දා සෙබඩක ගෙන ගොස් පර්වතය ආසන්නයේ අත හැරියේ ය. සෙබඩ ශබ්ද නැගුවා ය. මොණරාට කාලයක් යටපත්ව තිබු කාම සිතුවිලි ඉස්මතු විය. සිතේ කෙලෙස් වඩ වඩාත් ඇති විය. එදින පිරිත් කීමට අමතක විය. මේ හේතුව නිසා එදින වැද්දාගේ උගුලට අසුවිණි, මොණරා වැද්දාට පවසන්නේ තමන් නොමරා ජීවග්‍රහයෙන් ගෙන ගොස් රජුට ලබා දී තෑගි බෝග ගන්නා ලෙසයි.

වැද්දා මොණරා රජුට ගෙන ගොස් දුන්නේ ය. රජතුමා මොණරාගේ රන්වන් දැකුම්කළු ස්වභාවය දැක අසුනක් දුන්නේ ය. මොණරා රජතුමාගෙන් තමන් උගුලකට හසුකර අල්ලා ගත්තේ කුමකටදැයි විමසුවේ ය. මොණරාගේ මස් අනුභව කළ කෙනෙක් අමරණීය වන නිසා යැයි රජතුමා පැවසී ය. මා මැරෙනවා නම් මාගේ මස් කන අය අමරණීය වන්නේ කෙසේ දැයි බෝසතාණන් වහන්සේ ඇසූහ. රණ මොණරකු නිසා යැයි රජතුමා පැවසීය. රන්වන් වීමට කාරණා අසන්නයැයි කියා අතීතයේ දී තමන් බරණැස සක්විති රජුව ඉපිද ධාර්මිකව රාජ්‍ය පාලනය කරමින් පන්සිල් රැකි නිසා යැයි පැවසී ය. දෙව්ලොව ඉපිද ඉන් චුත වී අකුසල කර්මයක හේතුවෙන් මොණරෙක්ව උපන් බවත් සිල් බලයෙන් රූමත්ව ඉපදුණු බවයි. රජතුමා එය නො පිළිගත්තේ ය.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]