UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

පොසොන් අව අටවක 2018.07.06

යහපතම පුරුදු කරමු

අනුබුදු මිහිඳු මා හිමියන්ගේ අසිරිමත් ලංකා ගමනය සිහිපත් කරමින් ගෙවුණු පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ මිහින්තලා පුණ්‍ය භූමිය වන්දනාමාන කර ගන්නට ලක්දිව සිව් දෙසින් දහස් ගණනින් බොදු දනෝ එක් රොක් වූහ. දුර බැහැර සිට සපැමිණෙන වන්දනා කරුවන්ගේ සා පිපාසා නිවන්නට තැන තැන ඉදිවූ දන්සල් ය. වෙසෙසින් තම දරු මුණුපුරන්ට බෞද්ධ උරුමයන් පෙන්වීමට, බොදු පින්බිම් වන්දනාමාන කරවීමට වැඩිහිටියන් උනන්දුවක් දැක් වූ බව පෙනෙන්නට තිබුණි. මේ බොදු ප්‍රබෝධයක යහපත් ලකුණු ය. මේ උනන්දුව, කැපවීම අගය කළ යුතුම ය. අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනයත් සමඟ අපට උරුම වූ බෞද්ධ ශිෂ්ටාචාරයේ අභිමානය බාල පරපුරට දැක බලා ගන්නට සැලැස්වීම, එම වටිනාකම් ආරක්ෂා කරගන්නට ඔවුන් තුළ හැඟීමක් ඇති කරවීම වැඩිහිටියන්ගේ යුතුකමකි. එමෙන්ම අනාගතයේ රට භාර ගන්නා බාල පරපුර බුදු දහමෙන් පෝෂිත වූ ගුණ ධර්මයන්ට හුරු කරවීමටද උනන්දුව, උද්‍යෝගය තව තවත් අත්‍යවශ්‍ය ය. සමාජයක අතීත උරුමයන්, වටිනාකම් සුරැකෙන්නේද, සමාජ සාමය, සහජීවනය සුරැකෙන්නේ ද, රටක් සංවර්ධනය වන්නේ ද මිනිසා යහපත් ගුණ ධර්මයන්ගෙන්, සරලව කියනවා නම් මිනිස්කම්වලින් පෝෂණය වූ තරමට වන නිසාය.

අපේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ මිනිසත් බව ලැබීම ඉතාම දුර්ලභ වන බවය . එසේ ලද මිනිසත් බව අර්ථවත් කරගත හැකි වන්නේ ද මිනිසාටම ය. අනර්ථවත් කරගත හැකි වන්නේ ද මිනිසාටම ය. දෙකරුණක් ලෙස සලකා බැලුවේ නම්, අර්ථය සහ අනර්ථය අතර වැඩි බර දෙවැන්නටය. සරල සමාජ සංසිද්ධීන් අතර පවා ඊට බොහෝ නිදර්ශන හමු වන්නේ ය.

බොහෝ වැඩිහිටියන් අතර වැඩි වශයෙන් ද, ළමයින් අතර ටිකෙන් ටික ද වර්ධනය වෙමින් මතුවෙන ලෝභය, ද්වේශය, මෝහය, ඊර්ශ්‍යාව, වෛරය, තරහව ඈ කෙලෙස් මළ, ඒ අනර්ථයන් මෙහෙයවන්නේ ය.

අප ජීවත් වන්නේ ඉතා සුළු කාලයකි. මේ ජීවිතය තත්ත්පරයෙන් තත්ත්පරය සමීප වන්නේ මරණයටය.ජීවිතයට සේ ම මරණයට ද හොඳින් මුහුණ දෙන්නට නම්, සත්පුරුෂයන් ලෙස ජීවත්වීම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා ජීවිතාවබෝධය අත්‍යවශ්‍යය. එනම් අප අසන, දකින, දැනෙන, හැඟෙන සෑම දෙයක් පිළිබඳව ම යථාර්ථවාදීව දකින්නට, ඇත්ත ඇති සැටියෙන් දකින්නනට හැකියාව තිබිය යුතුය. මිනිස් හැසිරීම් යහපත් වන්නේ, අනර්ථකාරී නොවන්නේ ඒ අවබෝධය ඇති තැන ය. එවිට ඔවුනොවුන් අතර ආවේගශීලි බව ආදී විවිධ අර්බුද ඇති වන්නේ ද නැත. තමන් ජීවත්වන පවුල තුළ, සමාජය තුළ නොසන්සුන් බවක් ඇති වන්නේ ද නැත. අපගේ ශාස්තෘන් වහන්සේ, තථාගත බුදුරජාණන් වහන්සේ සෑම මොහොතකම තමන් වහන්සේගේ ජීවිතය කැප කළේ සියලු ලෝක සත්ත්වයන්ගේ හිත සුව පිණිස ය. අනේක දුක් කම්කටොළුවලින් පිරි මේ ඝෝර සසරින් එතෙර කරවනු පිණිස ය. ඒ සඳහා උන්වහන්සේ වේලාව අවේලාව නොබැලූහ. අව් වැසි, සුළං , ගැරහුම් ඉවසූහ. ඒ පරාර්ථකාමී බව අප වෙත ද වර්ධනය කර ගන්නට උත්සාහ කළ යුතුය. අනුන්ට කරදරකාරී වන්නේ ද, පරාර්ථකාමි සිතිවිලි දුරස්වීම නිසා ය.

මිනිසා සියලු සත්ත්වයන් අතර උසස් ය. ඒ විඤ්ඤාණයක් ඇති නිසා ය. සිතන්නට හැකියාවක් ඇති නිසා ය. උසස් මනසක් සහිත මිනිසා පහත් ක්‍රියාවන්ට පෙළඹුණේ නම්, මේ දුර්ලභව ලද මිනිසත් බවින් ඇති ප්‍රයෝජනයක් වේද? තමන් හොඳින් ජීවත්වන අතරම, අන්‍යයන්ද හොඳින් ජීවත් කරවීමට ඇප කැප වීම අගය කළ යුතු යහපත් ගුණාංගයකි. මිනිසත් බවේ අපේක්ෂාව ද එයයි. ගුණදහම් වර්ධනයට නම් ධර්මයට සමීප වීම ද අත්‍යවශ්‍ය ය.

ධර්මය අසා දැන ගත් තරමට අප අයහපතට පොළඹවන කෙලෙස් මළ බැහැර කළ නොහැකි ය. ධර්මය පිළිබඳ දැන උගත්කම අවශ්‍යය. එහෙත් ඒ සමඟම ධර්මය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කරගැනීම අත්‍යවශ්‍ය ය. අගුණ යටපත් වී ගුණ මතු වන්නේ එවිටය. බොදුනුවන් ලෙස ඒ වෙනුවෙන් උනන්දුවීම හා කැපවීම අපගේ වගකීමකි.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]